FCID හිටපු ප්‍රධානී රවී වෛද්‍යාලංකාර ගෝඨාගේ වේදිකාවේ

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) ස්වාධීනව කටයුතු කළ නොහැකි වන අයුරින් දේශපාලන බලපෑම් එල්ල වූ බවත් රාජපක්ෂ පාලන සමය පමණක් ඉලක්ක කරගනිමින් සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වෙතම බරපතළ චෝදනා එල්ල කරමින් දූෂණ විමර්ශන කාර්යාංශය තමන් වෙත පැමිණිලි එවූ ආකාරය අනුවම එය එක් කොටසක් පමණක් ඉලක්ක කරගත් ආයතනයක්ය යන්න පැහැදිලි වන බවත් මෙන්ම ප්‍රශ්නගත මිග් වංචාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්දෝෂී බවත් FCID හිටපු ප්‍රධානී, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ මෙහෙයුම භාරව සිටින දෙරණ මාධ්‍ය ආයතනය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඊයේ (25) ප්‍රකාශ කර තිබිණි. 

හිටපු FCID ප්‍රධානියා ද මින් ඉදිරියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ජාලය සමඟ සම්බන්ධ වෙමින් මාධ්‍ය හමු පවත්වමින් රාජපක්ෂලාට හුණු ගෑමේ සේවාව කරගෙන යනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ඇත්තෙන්ම මේවා වියයුතු දේවල්ය. පසුගිය වසර හතර හමාරක් පුරා රාජපක්ෂලා සහ වෛද්‍යාලංකාරලා හැංගී හැංගී කළ මේ පෙම්කෙළිය දැන්වත් එළියට ඒම හොඳය. 

FCIDයෙන් සිදුවන්නේ රාජපක්ෂලා ඇතුළු පසුගිය රජයේ නීලකාස හොරුන් අධිකරණය හරහාම නිදොස් කරවීමේ ක්‍රියාවලිය බවත් ඔවුන්ගේ විමර්ශන ලිපිගොනු ගෙඩි පිටින්ම චූදිත පාර්ශ්ව අතට පත්ව ඇතුවා මෙන්ම අධිකරණයේදී ඉතා පහසුවෙන් බිඳ හෙළිය හැකිවන පරිදි එම නඩු ගොනු කිරීමේදී සාක්ෂි පරස්පරතා ඇතුළු තාක්ෂණික දෝෂ ඇති කර තිබුණු බවත් ලංකා නිව්ස් වෙබ් අපි පසුගිය වසර හතර හමාර පුරාම පුන පුනා කීවෙමු. එම ආයතනයේ දූෂිත නිලධාරීන් චූදිත පාර්ශ්වයන්ගෙන් මුදල්, වරදාන ලබා ගනිමින් එම ආයතන තමන්ගේ සුඛ විහරණය සඳහා ඉල්ලමක් කරගෙන සිටි බවත් අපි පෙන්වා දුනිමු. 

අනෙක් අතට ලැබුණු පැමිණිලි අතරින් සාතිශය බහුතරයක් විමර්ශන අතරමග නවතා යට ගසා තිබුණු බව ද අපි නොයෙක්වර පැවසුවෙමු. 

දැන් එහි හිටපු ප්‍රධානියාම එහි විමර්ශනයට ලක්වූ ප්‍රධාන පාර්ශ්වය වන රාජපක්ෂ පවුලේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සමඟ එළිපිට  එක්ව සිටී. ලැබුණු පැමිණිලි 300ක් අතරින් වසර හතර හමාරක් තුළ විමර්ශන අවසන් කළේ 50ක පමණ බවත් ඒ අතරිනුත් නඩු පැවරුවේ 15කට පමණ බවත් ඔහුම පවසයි. 

යහපාලන රජය අසාර්ථක වූ බවට මූලික තර්කයක් වන්නේම එම රජය රාජපක්ෂ පාලන සමයේ සිදු කෙරුණු හොරකම් සඳහා දඬුවම් දීමට අසමත් වීය යන්නයි. 

ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරණ සමය අඩක් ගත්වෙද්දීම හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතියට එක්වෙමින් ප්‍රසිද්ධියේ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට පොලිසියට ඉඩනොදී වළක්වාලූයේ තමන් බවකි. දැන් එකී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියා ද ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතියට එක්වෙමින් ගෝඨා නිර්දෝෂී බව කියයි. තවත් එක් අයෙකු ද මීට එක්වන ලකුණු පහළ වී තිබේ. 

මේ අනුව යහපාලන රජය ඇරඹූ දින සිටම රජයේ ඉහළ බලධාරීන්, රජයේ ඉහළ නිලධාරීන් ඇතුළු සැලකිය යුතු පිරිසක් රාජපක්ෂලාගේ සාක්කුවේ සිටිමින් රාජපක්ෂලාව ආරක්ෂා කර ඇති බව පැහැදිලිව පෙනේ. එදා සිට හැංගි හැංගී වෙස් බැන්ද ඔවුන් දැන් තීරණාත්මක මොහොතේ එළියේම නටන්නට පටන්ගෙන ඇත. 

පොලිස් දෙපාර්තමේන්තුව තුළ රවී වෛද්‍යාලංකාර මහතාව හැඳින්වුණේ “කොම්බුවා” යන අන්වර්ථ නාමයෙනි. එවකට පොලිසියේ ජනප්‍රිය කතාවක් වූයේ FCIDයේ තේමා පාඨය “නැති බැරි කොම්බුවාට ඉසුරුබර හෙටක්” යන්න විය යුතු බවය. 

රවී වෛද්‍යාලංකාරට ඇත්තේ ද සුළුපටු චෝදනා ගණනක් නොවේ. කුප්‍රකට දූෂිතයින් තම කඳවුරෙන් සටනට එවන වාරයක් වාරයක් පාසා හෙළිවන්නේ තමන්ගේම නිරුවත බව රාජපක්ෂලා කවදාවත් තේරුම් ගන්නේ නැත. අපට කියන්නට ඇත්තේ “ඔහොම යං” කියා තමාය. 

[LNW]

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *