මෛත්‍රී – මහින්ද දේශපාලන කුමන්ත්‍රණයට වසරයි !

නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කර ඊට මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් නීත්‍යානුකූල ආණ්ඩුව පෙරළා දැමූ දේශපාලන කුමන්ත්‍රණයට අදට (26) වසරක් සපිරෙයි. 

දේශපාලන ලෝකය උඩුයටිකුරු කරමින් 2018 ඔක්තෝබර් 26 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය තනතුරට මහින්ද රාජපක්ෂ මහතාව පත් කරමින් ඇරඹුණු මෙම ඓතිහාසික දේශපාලන කුමන්ත්‍රණය දින 52ක් පුරා දිවුණි. 

ආණ්ඩු පෙරළියට මූලික හේතුව ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ තමන්ව සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ මෙහෙයවීමෙන් කුමන්ත්‍රණයක් දියත් වී ඇතිය යන්නයි. එම චෝදනාව මාධ්‍ය හරහා එල්ල කළේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය කළ, හමුදාවෙන් පළාගිය සහ කූඨ ලේඛන සකස් කළ ප්‍රශ්නකාරී ඉතිහාසයක් ඇති නාමල් කුමාර නමැත්තෙකු විසිනි. 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ද අත් අඩංගුවට ගනිමින් දියත් කෙරුණු මහා ඝාතන කුමන්ත්‍රණ නාටකය කෙළවර වූයේ එවන් කිසිදු කුමන්ත්‍රණයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව හෙළිදරව් වීමෙනි. චෝදනා කළ නාමල් කුමාර නමැත්තා දැනට වෙනත් හේතුවක් මත බන්ධනාගාරගතව සිටී. 

මෙම දේශපාලන කුමන්ත්‍රණය ආරම්භයේ පටන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදාචාර විරෝධී ලෙස මෙන්ම නීතිවිරෝධී ලෙස ද තම විධායක බලතල අවභාවිතා කළේය. එය අධිකරණය ඉදිරියේ පවා ඔප්පු වූ පසුව කුමන්ත්‍රණය හකුළා ගැනීමට සිදුවිය. 

කුමන්ත්‍රණයෙන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වූයේ ඊළඟ ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂගේ සහාය ඇතිව තමන්ම ඉදිරිපත් වන්නටය. එහෙත් අද වනවිට ජනාධිපතිවරණය කැඳවා ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතා පැත්තකටම විසිවී මහින්ද රාජපක්ෂ මහතාගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටී. 

දින 52ක කුමන්ත්‍රණ කාලය තුළ රටේ ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වූ අතර ඉන් සිදුවූ පාඩුව රුපියල් බිලියන 100කට අධික බව කියවෙතත් මෙතෙක් නිවැරදි ගණනය කිරීමක් ද සිදුකර නැත. 

කුමන්ත්‍රණයේ නිර්මාතෘවරුන් වූ එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතරින් එස්.බී. සෘජුවම රාජපක්ෂ කඳවුරට එක්වූ අතර තිලංග ශ්‍රීලනිපය තුළම සිටිමින් රාජපක්ෂ කඳවුරට සේවය කරයි. සමස්ත ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමත් මේ වනවිට රාජපක්ෂ කඳවුර සමඟ එක්ව සිටින අතර ශ්‍රීලනිප බිම්මට්ටමේ සංවිධායකයින් ජනාධිපතිවරයාගේ පතුරු අරිමින් සිටී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතිරි වූයේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ලැබුණු දැවැන්ත අපවාදය පමණි. 

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *