|

මහින්දගේ කටින් පැන්න කුමන්ත්‍රණය ; පොහොට්ටුවේ කටකතා මෙහෙයුම ; ගෝටාට එරෙහි ඇමෙරිකාවේ නඩුවෙන් හෙළිවුණු ඇත්ත

රට පුරා රැලි 160 කට ආසන්න සංඛ්‍යාවක් ඇමතීමට එජාපෙ අපේක්ෂක සජිත් සැළසුම්කොට රට වටා දැඩි ජනතා ප්‍රතිචාර මැද යමින් සිටියදී අගමැති රනිල් ඇතුළු එජාපෙ නායකයන් පිරිස කොළඹ සිට එය මෙහෙයවීම හා හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ද එම රැළි වලට එක්වීම මෙවර එජාපෙ මැතිවරණ ව්‍යාපාරය තුල දක්නට ලැබෙන විශේෂත්වයකි. හැකි සෑම අවස්ථාවකම අගමැති හා සජිත් ඇතුලු එජාපෙ නායකයින් කොළඹදී හමුවීම තුලින් මෙන්ම නව තාක්ෂණය ඔස්සේ සබඳතා පැවැත්වීමද තවත් විශේෂත්වයකි. එවැනි බොහෝ හමුවලට සජිත් එක්වනුයේ වාහනයේ ගමන්කරමින් සිටියදීය.

බ්‍රහස්පතින්දා උදයේ අගමැති රනිල් ඇතුළු ප්‍රබලයින් විශේෂ සාකච්ඡාවක් පවත්වා මැතිවරණ ව්‍යාපාරයට අදාල ජනමාධ්‍ය භූමිකාව ගැන විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වූ අතර අපේක්ෂක සජිත්ද ඊට එක්වූයේ තාක්ෂණය හරහාය.

“සමාජ ජාලා කැම්පේන් එක අපේ ඉතා හොදට යනවා. ඒව අපිටත් වඩා රාජපක්ෂවරුන් යලි ආවොත් අපි දිනාදුන් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නැතිවේවි කියන බයට සාමාන්‍ය මිනිස්සුයි අදහස් හා මතවාද පලකරන්නෙ. ඒ අය අතර 60% ක් විතර තරුණ පිරිසක් ඉදීම අපට ඉතා වාසි සහගත දෙයක්” රාජිත සේනාරත්න කීවේය.

“ඒක හරි. ඒත් වයස 60 න් එහා වගේම ඈත ගම් වල මිනිස්සුන්ගෙන් වැඩි පිරිසක් තාම ඉන්නෙ රූපවාහිනි, ගුවන්විදුලි, පත්තර හා පෝස්ටර් බැනර් වගේ සාම්ප්‍රදායික මාධ්‍ය එක්කයි. අපේ පණිවිඩ වගේම ගෝඨ වගේ කෙනෙක් යලි ආවොත් සිදුවෙන විපත් ගැන මේ ජන ස්ථරයට ඇත්ත කියල දෙන්න සාම්ප්‍රදායික මාධ්‍ය අවශ්‍යයි.” අගමැතිවරයා පැහැදිලි කළේය.

“ඒක හරි. ඒත් ඒ ජනමාධ්‍යත් එක්ක අපි ඩීල් කරනව මදි. ඒ ගොල්ලන්ගෙන් වැඩි පිරිසක් රාජපක්ෂවරු හැමදාම බිලිබාගෙනයි හිටියෙ. මේක ඡන්දෙ කාලෙටවත් වෙනස් වෙන්න ඕනෑ. නැත්තම් මේ රට යලිත් කෘරත්වයට ගියොත් ඒ අයට වග කියන්න වේවි.” රවී කරුණානායකගෙ මතය එය විය.

“2015 ට කලින් මාධ්‍ය ප්‍රධානීන් ගෙන්නලා කන්න බොන්න දීලා ඊළඟ මාසෙ කළයුතු දේ ගැන තර්ජන දාලා පොඩි පොඩි වාසි ටිකකුත් දීලා යැව්වා කියන එක  කවුරුත් දන්නවා. පොඩ්ඩ වැරදුනොත් උදේට මාධ්‍ය ප්‍රධානීන් තර්ජන ගර්ජන වලට ලක්වෙච්ච හැටි ඔවුන්ට අමතක වෙන්න විදියක් නෑ. ඒත් පසුගිය අවුරුදු හතර හමාර තුල අපි විශාල නිදහසක් දුන්නා. මේ ජනමාධ්‍ය ඒ කෙලෙහිගුණයවත් දැක්වීම මේ ජනමාධ්‍යවල ජාතික වගකීමක්. කෝටි ප්‍රකෝටි ගණන්වල ආණ්ඩුවේ වෙළඳ දැන්වීම් අපි කිසිම භේදයක් නැතිව ඔය කාටත් දීල තියෙනවා. මොකද අනික මේ සංඛ්‍යාත ජනතාවගේ දේපළයි. මිනිස්සු පත්තර ගන්නේ සල්ලි දීලයි. සත්‍ය මිසක් ජනමාධ්‍යට ඕන දේවල් මිනිස්සුන්ගෙ පිට බලෙන් පටවන්න අයිතියක් නෑ.” කබීර් හෂීම්, අකිල විරාජ් මෙන්ම මලික් සමරවික්‍රමද කීවේ එකම වර්ගයේ අදහසකි.

අවසානයේ අදාල ජනමාධ්‍ය මෙහෙයුම් අධීක්ෂණයට ඇමති රාජිතගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් දියත් කිරීමට තීන්දු කෙරින.

අනතුරුව අරලියගහ මැදුරට පැමිණ සිටි සෙසු මැති ඇමතිවරු සහ නිළධාරීන් සමගද අගමැතිවරයා පිළිසඳරේ යෙදින.

“දෙමළ සංධානය ඉල්ලීම් 13ක් එළියට දාල තියනවා. ඒව අපිට ලැබුණද” ලක්ෂමන් කිරිඇල්ල අගමැතිගෙන් විමසුවේ තීරණාත්මක පැනයකි.

“නෑ. අපිට ලැබිල නෑ. ඒවා ඒ අයගේ ස්ථාවර පමණයි කියලා දෙමළ සංධානය පත්තර වලට කියල තිබුණා.” අගමැති සිය ස්ථාවරය පැහැදිලි කළේය.

“ඔය ඉල්ලීම් හදල තියෙන්නෙ දෙමළ සරසවි ආචාර්යවරුන් පිරිසක්. ඔවුන් තමයි ඕව දෙමළ සංධානයටත් ඉදිරිපත් කරල තියෙන්නෙ කියලයි මට ආරංචි” ලක්ෂමන් කිරිඇල්ල කීවේය.

“2005 ජනපතිවරණදි කොටින්ට රු. දශලක්ෂ 181 ක් කප්පම් දීල ඡන්ද වර්ජනයකට ගිහින් රාජපක්ෂවරු එදා අගමැතිතුමා පරාද කෙරෙව්වා වගේ මෙවරත් විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව හරහා බලපෑම් කරලා ඡන්ද වර්ජනයකට යන්න රාජපක්ෂවරු උත්සාහ කරනවා. ඒක මහින්ද රාජපක්ෂගෙ කටින්ම රැස්වීමකදී එළියට පැන්නා.” චමින්ද විජේසිරි කීවේය.

“එදා කොටින්ගෙ තුවක්කු වලට බයවෙලා දෙමළ මිනිස්සු ඡන්දෙ නොදැම්මට මේ පාර ඒව හරියන්නෙ නෑ. 2015 ඉඳලා සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියළු ජාතීන් භුක්ති විඳපු නිදහස අහිමි කරගෙන හමුදා පාලකයෙකුගෙ යකඩ සපත්තු වලට යටවෙන්න කිසිම ජාතියක ආගමක කුලයක මිනිස්සු සූදානම් නෑ.” අගමැතිවරයා කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.

“මිනිස්සු බය කරන්නයි, නොමඟ යවන්නයි කටකතා 5000 ක් පොහොට්ටුවෙන් සූදානම් කරලු. විශේෂයෙන් බෝම්බ බියක් තිබෙනවාය කියල පැතිරවීම මූලික ඉලක්කයක්ලු. මාතර පැත්තෙ පාසැල් දරුවොයි දෙමව්පියොයි බය කරල ඒක පටන් ගත්ත වගේ පේනවා. මේ වගේ පහත් වැඩ වලට විරුද්ධව දැඩි පියවර ගන්න ඕනෑ.” මහාචාර්ය ආශු මාරසිංහ මෙන්ම හේෂා විතානගේ මතුකළේ එකම විදියේ කරුණුය.

“කතෝලික පල්ලිවල් බෝම්බ පුපුරවලා 300 ක් මරපු සහරාන්ගෙ “ගෝඩ් ෆාදර්” ගෝඨාභය බව දැන් ඔප්පු වෙලා හමාර බව ජනතාව තේරුම් ගන්න් ඕනෑ. සහරාන්ට කොළබින් කාර්‍යාල දීල ඒ සංවිධානයේ විශාල පිරිසකට පඩි දීල ඔවුන් නඩත්තු කළේ ගෝඨාභය හා රාජපක්ෂ ආණ්ඩුව බව මහින්ද රාජපක්ෂත් ගෝඨගෙ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලියත් රට ඉදිරියේ පිළිගත්තා. ඒව රූපවාහිනී වල ප්‍රචාරය වුණා. ඉතින් තව මොන කතාද” අගමැතිවරයා කීවේය.

“රාජ්‍ය ආයතන කිසිම දේක බර භාණ්ඩාගාරෙට දෙන්නෙ නෑ කියල ගෝඨාභය කියනවා. ලයිට් බිල හා වතුර බිල් වලට විතරක් ඒ අනුව ජනතාවට රුපියල් 25,000 කට වඩා මාසෙකට ගෙවන්න වේවි කියලයි ආර්ථික විශේෂඥයන් කියන්නෙ” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේ එවැන්නකි.

“ඒ වගේම ප්‍රායෝගික නොවන තවත් මාර බොරුවක් ගෝඨාභය කියනවා. උසස් පෙළ සමත් සියළු දෙනාටම විශ්ව විද්‍යාල වරම් දෙනවලු. අවුරුදු 70 ක් ගතවෙලත් මේ රටේ සරසවි වරම් ලැබුණේ 25,000 කටයි. මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාරට එය 31,000 ට වැඩි කළා. කටට එන බොරු කියලා මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

“ඒත් සජිත් කියන දේවල් ඉතා ප්‍රායෝගිකයි. නැති බැරි මිනිස්සුන්ට සැලකීම, මධ්‍යම පාන්තිකයන්ගේ ජීවිතය වඩාත් සුවපත් කිරීම, ව්‍යාපාර ප්‍රජාවට අවශ්‍ය වටපිටාව සකසලා  ඔවුන් ආර්ථිකයේ වැඩි පංගුකාරයින් බවට පත්කිරීම, පාතාලය හා කුඩ්ඩන් මර්දනය, කාන්තාවන්ට රැකවරණය දෙන ප්‍රඥප්තිය, තරුණ පරපුරේ උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපන හා සාධාරණ ලෙස රැකියා ලබා දෙනවා වගේ පළල් දැක්මක් සජිත් රටට කියන එක ජනතාව තේරුම් අරන් ඇති කියල මම හිතනවා.” අගමැතිවරයාගෙ විග්‍රහය එය විය.

“වැස්සත් එක්ක පාරවල් කැඩෙන එක හැමදාම වෙනවා. ඒත් පොහොට්ටුවට බලය තියන සභාවල ඔවුන් පාරවල් හදන්නෙත් නෑ. ආණ්ඩුවට ඒක කරන්න දෙන්නෙත් නෑ. ජනතාවගෙන් කරන මේ පලිගැනීම මිනිස්සු තේරුම් ගන්න ඕනෑ.” නවීන් දිසානායක කී දේට අගමැති ඇතුළු කාගේත් දැඩි එකඟත්වය පල විය.

“මැතිවරණ සමීක්ෂණ වල තත්වෙ කොහොමද?” ලක්ෂමන් කිරිඇල්ල විමසීය.

“උතුරු නැගෙනහිර හැර සෙසු ප්‍රදේශවල තමයි සමීක්ෂණ කෙරෙන්නෙ. මුලින් පැහැදිලි ලෙස ඉදිරියෙන් හිටපු ගෝඨා සහ සජිත් අතර දැන් ඇත්තේ කෙස් ගස් කීපයක පරතරයක් කියලයි මට ආරංචි. උතුරු නැගෙනහිරින් සජිත් වගේම රටම බේරේවි කියලයි සමීක්ෂකයින් කියන්නෙ” නවීන් දිසානායක කී එම මතයද අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.

“ගෝඨාභය ඇමරිකන් පුරවැසියෙක්ද? ලංකාවෙ හා ඇමරිකන් කෙනෙක්ද කියලත් තාම රටට පැහැදිලි නෑ. ඊට අදාලව අභියාචනාධිකරණය යම් තීන්දුවක් දුන්නත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කිරීමේ සූදානමක් තිබෙන  බව ආරංචියි. ඒක හොඳ දෙයක්. මොකද ඇමරිකාවේ වහල් කඳවුර බවට ලංකාව පත්වෙන්න ඉඩදෙන්න බෑ.” රංජන් රාමනායක කීවේ එවැන්නකි.

“මාධ්‍යවේදී ලසන්තගෙ ඝාතනයට අදාලව එම දියණිය ඇමරිකාවේ පවරපු නඩුව හරහා එකදෙයක් තහවුරු වුණා. රාජ්‍ය අනුග්‍රහය යටතේ ලංකාවෙ මිනීමැරුම් 2015 ට කලින් සිදු වූ බව එයයි.” රංජන් වැඩිදුරටත් කීවේය.

“ඉන්දියානු අගමැති මෝදි වගේ සජිත් කියන්නෙ ලංකාවෙ පීඩිත පන්තිය හා විශේෂ කුල ඒකක වල ඉතා ප්‍රචලිත චරිතයක් නිසා ඔහු වාර්තාගත ජයග්‍රහණයක් ලබාවි කියලා ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කළ විග්‍රහය මුළු රටේම සියළු ස්ථර වල ජනතාවගේ දැඩි අවධානයට යොමු වීම අපට විශාල බෝනස් එකක්.” නවීන් දිසානායක කීවේ තම දුරකතනය හරහා එකී ප්‍රකාශයට අදාල සමාජ ජාලා පුවත අගමැති ඇතුළු සෙසු අයට පෙන්නුම් කරමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *