ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා වෙන්න කලින් වීරයා දැන් පහුබැහැලා – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, කේ.ඩී. ලාල් කාන්ත

ජනතාවගේ ඡන්දයෙන් අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටියාම විශ්‍රාම වැටුපක් ලැබෙනවා. රජයේ සේවකයෙක් විශ්‍රාම වැටුප ලබන්න අවුරුදු කීයක් වැඩ කරන්න ඕනද? අවුරුදු 30ක් වත් ඕන. මන්ත්‍රීවරුන්ට අවුරුදු 5යි. ජනතාවගේ මුදල් මේ විදිහට දේශපාලනඥයන්ට කප්පම්දීලා මේ රට ගොඩනඟන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික ලාල් කාන්ත මහතා එසේ ප්‍රකාශ කළේ පසුගිය දා (19) මාළඹේ පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැලියක් අමතමිනි. තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීවේය.

ඔබ මෙතනට එකතුවෙලා අනෝරා වැස්ස නොතකා එකතුවෙලා ඉන්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කර වන්න. ඒ තුළින් අපි හැමෝගෙම ජයග්‍රහණයත් අත්පත්කර ගන්නයි. එදා 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති බලය තියාගෙන, පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තියාගෙන, පළාත් සභාවල සම්පූර්ණ බලය තියාගෙන, ප්‍රාදේශීය සභාවලට බලතල තියාගෙන ඉදිරිපත් වූ රජතුමාව පරද්දන්න, මේ රටේ ජනතාවට පුළුවන් වුණා. මේ මැතිවරණයට ඇවිත් ඉන්නේ රජතුමාගේ දොරටුපාලයා. එයා පරද්දන එක මේ රටේ ජනතාවට මහලොකු කජ්ජක් නොවෙයි.

එයා ජනාධිපති අපේක්ෂකයා වෙන්න කලින් හිතාගෙන හිටියේ දිනලා කියලා. අපේක්ෂකයා වුණාට පස්සේ ටිකක් බැස්සා. රැස්වීම්වල කතාකරන්න ගත්තහම කතා කරන්න බැරිබව ජනතාව දැනගෙන තවටිකක් බැස්සා. එක ආයතනයක් අපේ රටට යහපත් දේශපාලන සංස්කෘතියක් හදලදෙන්න මේ අපේක්ෂකයෝ හැමදෙනාම සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ එකම වේදිකාවට ගේන්න හැදුවා. ඒකට ගෝඨාභය රාජපක්ෂ ගියේ නැහැ. තවත් පහළටම වැටිලා, කතාකර ගන්න බැහැ කියලා ජනතාව තහවුරුකර ගත්තා. අපේක්ෂකයා වෙන්න කලින් වීරයා. දැන් පහුබැහැලා, පහුබැහැලා, මේ වෙනකොට කාණු පල්ලටම වැටිලා ඉවරයි.

ගියපාර රාජපක්ෂලා, වේදිකාවෙන් බැස්සුවාට ජනතාව දිනුවේ නැහැ. මේ පාර ජනතාව දිනන ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට අත්කර ගන්න ඕන. අපිට මේ දක්වා ජනතාව පවරලා තිබුණේ, විපක්ෂයේ කාර්ය භාරය. ඒ කියන්නේ ආණ්ඩුව කරන හොඳ වැඩවලට හොඳයි කියන එකත්, වැරදි වැඩ විවේචනය කරන එකත්. පසුගිය කාලයේ මේ දෙගොල්ලෝම කරන හොරකම්, ජඩකම්, තත්කඩිකම් අපි ඉතා හොඳින් හෙළිදරව් කළා. ජනතාව පවරපු ඒ කාර්ය භාරයට විපක්ෂයේ ප්‍රතාපවත් යෝධයෙක් වගේ අනුර සහෝදරයා කැපවිමෙන් ක්‍රියාකළා. මේ රටේ ජනතාවගේ ඇස්පාදන වගකීම ඔහු මහා දැවැන්ත විදිහට ඉටුකළා. හරියට තිතට ජනතාව තමන්ට පවරපු කාර්ය භාරය කළා.

මේ මැතිවරණ ව්‍යාපාරයේ මුල ඉඳලාම විවේචනය කිරීමේ අයිතිය අපි තියාගෙනම රට හදන ප්‍රතිපත්තිය පැහැදිලි කරගෙන යනවා. එතකොට සමහර අය විවේචනය නොකරන බවටත්, චෝදනා කරනවා. නමුත් අපි, රට හදන හැටි පැහැදිලිවම ජනතාවට අවබෝධ කරගෙන යනවා. පසුගිය දවසක සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට අනුර සහෝදරයා ගියා. චන්දන සූරිය බණ්ඩාර, ශ්‍රී රංගා, ශ්‍රීපාල් වන්නිආරච්චි සහ තවත් විද්වතුන් දෙදෙනෙක් විවිධ ප්‍රශ්න අනුර සහෝදරයාගෙන් ඇහුවා. අනුර සහෝදරයා ප්‍රතිපත්ති විග්‍රහ කරමින්, රට හදන හැටි හරියටම තිතට විග්‍රහ කළා. අහන ප්‍රශ්නයට උත්තරේ කෙලින්ම හයේ පාරක්. හැමෝම අහපු ප්‍රශ්නවලට දීපු උත්තර ඒ වගේ. මෙතෙක් සජීවී වැඩසටහන්වලට ආපු දේශපාලඥයෝ කිසිවෙක් උත්තර නොදීපු ආකාරයට මේ රට ගොඩනඟන ප්‍රතිපත්ති පැහැදිලි කළා. අහන අහන හැම ප්‍රශ්නයකටම උත්තරය හයේ පාරක්. හරිම පැතිරුණු සාකච්ඡාවක් එදා තිබුණේ.

මෙහෙම ප්‍රශ්න අහලා ඔන්න එක තැනකට ආවා. මං හිතන්නේ රටත් දැන් ඒ තැනට ඇවිත් තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ  ඇතුළු ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මේ රට ගොඩනගන්න සමත් ඒවා බව අද කවුරුත් පිළිඅරගෙන ඉවරයි. අන්තිමට දැන් ඇවිත් තියෙන තැන තමයි “රට ගොඩනඟන්න ඔයගොල්ලන්ට ටීම් එකක් නෑනෙ” කියන තැන. හැබැයි අපි ආඩම්බර වෙනවා මේ රටේ ජනතාවත් ජන මාධ්‍යයත් අපේ ටීම් එක කෝ කියලා අහන තැනට ඇවිත් ඉන්න එක ගැන. තමන්ට පෞද්ගලික ප්‍රතිලාභ කිසිවක් නොතකා ස්වේච්ඡාවෙන් වැඩකරන්න සූදානම් අපේ පිරිස අපේ වේදිකා දිහා බැලුවහම හොඳට බලාගන්න පුළුවන්. එහෙම පේන්නේ නැත්නම්, එකම වේදිකාවට ගෙනල්ලා, පෙන්වන්න අපි ලෑස්තියි.

මේ රට ගොඩනඟන්න පළමුවෙන්ම කරන්න ඕනෑ නාස්තිය නවත්වන එක. ඒ වෙනුවෙන් වියදමක් වැය වෙන්නේ නැහැ. නාස්තිය පිටුපස දේශපාලනය වසන්ගතයක් බවට පත්වෙලා. නායකත්වය දෙන්නේ ඒ වසංගත දේශපාලනයෙන්. අපි නොවැම්බර් 18 වැනිදා ඉඳලාම ඒක නවත්වන්න පටන් ගන්නවා. කරන්න පුළුවන් දෙයක් ඒක. නාස්තිය සහ දූෂණය නැවැත්වීම පටන් ගන්න ඕන ජනාධිපතිවරයාගෙන්. අපේ අනුර දිසානායක සහෝදරයා මාලිමාව ලකුණින් නායකත්වය දෙන්නේ ඒ රට දිනවීමේ මුල්ම අදියරයටයි. ජනාධිපති වැය ශීර්ෂයෙන් 90%ක් කපා හරින බව අනුර සහෝදරයා ප්‍රකාශ කරලා ඉවරයි. ඒ ඉතිරිකරන සල්ලි මුළුමනින්ම යොදවන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒක කරන්න පුළුවන් වැඩක්. සජිත් ප්‍රේමදාසට එහෙම කියන්න පුළුවන් ද? අපි සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා එහෙම කියන්න කියලා. ජනතාවට ඒ බව දැනගන්න ඕන. මේ රට හදන්න නම්, පළමුව දේශපාලනඥයන්ගේ වරදාන, වරප්‍රසාද, නාස්තිය, දූෂණය නැතිකරන්න ඕන. අපි මුලින්ම අත තියන්නේ එතනට. ආදර්ශමත් දේශපාලන නායකත්වයක් ඉදිරිපත් කරලයි, අපි වැඩ පටන් ගන්නේ.

දැන් දීලා තියෙන වරදානවලින් මහජන මුදල් නාස්තිකරන හැටි අනුර සහෝදරයා හෙළිකරමින් යනවා. රට පුරාම ජනාධිපති මන්දිර තියෙනවා. අවුරුද්දට එක දවසක්වත් ඒවයේ ඉඳලා නැහැ. හෙළිකොප්ටරයෙන් යනවා, එනවා විතරයි. හැබැයි ඒ මන්දිරවල කාර්ය මණ්ඩලයට විශාල පිරිසක් පත්කර ඉන්නවා. විශාල වියදමක් දරනවා. කිසිම ප්‍රතිඵලයක් නැතිදේකට යොදවන මේ මුදල් නතර කරන බව අනුර සහෝදරයා පැහැදිලි කරනවා. ඔය ජනාධිපති මන්දිර සියල්ලම ජනතාවට ප්‍රයෝජනවත්, සංස්කෘතික මධ්‍යස්ථාන කරන බව දැනටමත් ප්‍රකාශ කරලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට එහෙම කියන්න පුළුවන් ද? සජිත් ප්‍රේමදාසට එහෙම කියන්න පුළුවන්ද? ගෙවිච්ච අවුරුදු 71 ඇතුලේ තිබුණේ මේ රට හදන්න බැරිකම නොවෙයි. මුන්ටික හදන්න බැරිකමයි තිබුණේ. ඒ නිසා මේ දෙගොල්ලෝම දේශපාලනයෙන් පලවා හැරලා, රට හදන්න ප්‍රගතිශීලී ජනතාවගේ බලය වෙච්ච ජාතික ජන බලවේගය දිනවන්න ඕන. ඒක දිනවන්න කියලා ඉල්ලා සිටිනවා.

සමහර අය කියනවා, දෙගොල්ලගෙන් එක කට්ටියක් හදාගමු කියලා. එහෙම හදාගන්න දෙයක් නැහැ. ඉවත් කරන්න විතරයි තියෙන්නේ. මම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. මට ලැබෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා ජනතාව ඉස්සරහා ප්‍රතිඥා දෙනවා. ජනතාවගේ ඡන්දයෙන් අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටියාම විශ්‍රාම වැටුපක් ලැබෙනවා. රජයේ සේවකයෙක් විශ්‍රාම වැටුප ලබන්න අවුරුදු කීයක් වැඩ කරන්න ඕනද? අවුරුදු 30ක් වත් ඕන. මන්ත්‍රීවරුන්ට අවුරුදු 5යි. ජනතාවගේ මුදල් මේ විදිහට දේශපාලනඥයන්ට කප්පම්දීලා මේ රට ගොඩනඟන්න බැහැ. මන්ත්‍රීට අවුරුදු 5කින් විශ්‍රාම වැටුප් දෙනවා කියන එකේ සැඟවෙච්ච බොරුවකුත් තියෙනවා. මේ වේදිකාවේ ඉන්න හිටපු විගණකාධිපති මායාදුන්නේ මහත්තයා, ඒක ඉතා පැහැදිලිව දන්නවා.

මන්ත්‍රීවරයෙක් මාස තුනකට දවසක් පාර්ලිමේන්තු ගියාම, ඇති. ඊට වඩා නොගිහින් ඉන්නවා නම්, මෙඩිකල් එකක් දෙන්න ඕන. මාස තුනකට එක දවසක් ගොඩවෙලා ආයෙත් මාස තුනකින් ගියාම මන්ත්‍රී ධුරය වංලගුයි. එහෙම නම් අවුරුද්දකට යන්න ඕන දවස් හතරයි. අවුරුද්දකට දවස් හතර ගානේ අවුරුදු 5කට දවස් විස්සයි. දවස් විස්සක් පාර්ලිමේන්තුවට ගොඩවෙලා ආවාම ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ජනතාවගේ බදු මුදල්වලින් ජීවත්වෙන්න ඔවුන් වරප්‍රසාදය හදාගෙන ඉන්නවා. ඒක හරිද, සාධාරණයි ද, යුක්තිසහගතයි ද?, ඇත්තටම ගත්තොත් දවස් විස්සක් යන්නෙත් නැහැ. එක  දවසක් ගිහින් නම ලකුණුකරගෙන ආපහු හැරිලා ආවත් ඇති. අන්න එහෙම වරප්‍රසාද තියෙන වරදාන තියෙන ඒවා රැකගන්න පොරබදන පිරිසක් තමයි, ඔය හංසයාගේත් පොහොට්ටුවේත් ඉන්නේ. ඇත්තටම මෙතන තියෙන්නේ හංස පූට්ටුව වගේ හංස පොහොට්ටුවක්. කතිරය ගන්න බලාගෙන ඉන්න අය කල්පනා කරනවා ජනතාවගේ බදු මුදල්වලින් ගන්න මේ වරදාන ටික රැකගන්න.

අපිට තියෙන අභියෝගය ජනතාව මේ මුලාවෙන් මුදාගන්නේ කොහොමද කියන එක. අපිට වෙන අභියෝගයක් නැහැ. ජාතික ජන බලවේගය මේ රටේ පාලනය බලය ගත් වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරලා මුල්ම ආදර්ශය දෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් මේ තොරතුරු හෙළිකරනකම් ජනතාව ඒවා දන්නේ නැහැ. සජිත්ගේ අම්මව බලාගන්න සජිත්ට බැරිද? ජනතාවගේ බදු මුදල්වලින් විශ්‍රාමික ජනාධිපතිගේ වැන්දඹුවට කප්පම් දෙන්න ඕනෑද? චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපති විදිහට මේ කප්පම් ගන්නවා. මහින්ද රාජපක්ෂත් එහෙමයි. ලබන 18 වෙනිදා ඉඳලා වර්තමාන ජනාධිපතිත් එහෙමයි. ජාතික ජන බලවේගයේ මාලිමා ලකුණ ඉදිරියේ කතිරය ගහලා අනුර දිසානායක සහෝදරයාව ජනාධිපති කරලා දෙන්න. ඔය කියපු අයගේ සියලු වරප්‍රසාදවලට ජනතාවගේ බදු මුදල් යොදවන එක නවත්වනවා.

ඒකට එක්සත් ජාතික පක්ෂයේ වටේ ඉන්න අය, පොහොට්ටුව වටේ ඉන්න අය කැමතිද? ජීවත්වෙන්න විදිහක් නැත්නම් පිං පඩියක් දෙන්න පුළුවන්. මොකුත් කරගන්න බැරි ජනතාවට ලබාදෙන ආධාරය අපි පිංපඩි කියන්නේ නැහැ. මේ අයට දෙන එක ඇත්තට පිං පඩියක්. ඔවුන් දැනට ගන්නෙත් පිං පඩි. මාලිගා දීලා, වරප්‍රසාද දීලා තියෙන්නේ ජනතාව මත පටවලා තියෙන බදු බරෙන්. බලයට ආවාම පොළොන්නරුවේ ඉඳලා රට පාලනය කරනවා කියපු මෛත්‍රීපාල මහත්තයා, බලය නැතිවත් පොළොන්නරු යන්න ලැහැස්ති නැහැ. දැන් නතර වෙලා ඉන්න කොළඹ හතේ ගෙදර එයාට ලබාදෙන විදිහට කැබිනට් අනුමැතිය අරගෙන ඉවරයි. කුරුඳු වත්තේ මාලිගාවකම ඉන්න ඕන වෙලා. මේ කාගේ සල්ලිද? අවුරුද් 71ක් රට පාලනය කළ මේ දෙගොල්ල, ජනතාවගේ සල්ලි නාස්ති කළේ මෙන්න මේ විදිහට. මේ නාස්තිය නවත්වන්න ඕන. අපි ඒක නවත්වනවා.

මෙහෙම ප්‍රතිපත්ති තියෙද්දිත් ජනතාව බලය දෙන්නේ නැත්තේ ඇයි කියලා, මාධ්‍යයෙන් අහනවා. මෙතන තියෙන රූපවාහිනී චැනල් කැමතිද අපි මේ කියන පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න. රට ගොඩනගන්න ජනතාවගේ අවබෝධය පුළුල්කරන්න මැදිහත් වෙන්න මේ නාලිකා ලෑස්ති නැහැ. කට්ටියක් පොහොට්ටුවට කඬේ යනවා. කට්ටියක් හංසයාට කඬේ යනවා. දැන් තියෙන හංස, පොහොට්ටු එකතුවෙන් එළියට රට ගෙනියන්න මේ මාධ්‍ය අයිතිකාරයෝ සූදානම් නැහැ. ඒ ගොල්ලන්ට මේ ක්‍රමය හොඳයි. ඒ ගොල්ලන්ට ගෝඨාභය, සජිත් හොඳයි. ඒනිසා උදේ ඉඳලා රෑවෙනකල් කඬේ යනවා. අන්තිමට අපෙන් අහනවා “ජනතාව ඡන්දය දෙන්නේ නැත්තේ මොකද?” කියා. මේ බාධක මැද්දේ මාලිමාවට ඡන්දය දෙන්න පෙළ ගැහෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ඔවුන් අපේ ඉල්ලීමට ඇහුම්කන් දෙමින් පෙළ ගැහෙනවා.

මේ ජනාධිපතිවරණය ගැන තාමත් ජනතාවට හරිහැටි අවබෝධයක් නැහැ. ඒ නිසා අපි හැමෝගෙම වගකීමක් තියෙනවා ජනතාව අතරට ගිහිල්ලා අවබෝධය හදන්න. මම උදාහරණ දෙක, තුනක් කියන්නම්. උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයා අයිටීඑන් නාලිකාවේදී කිව්වා අපේ අනුර සහෝදරයාට ඡන්දය දෙනවා කියලා. ඒ විතරක් නොවෙයි ඡන්ද ලක්ෂ දෙකක් හදනවා කියලා. එතුමා ගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලුවාට ඒ පක්ෂයේ සාමාජිකයෙක්වත්, ජේවීපී කාරයෙක්වත් වෙන පක්ෂයක සාමාජිකයෙක්වත් නොවෙයි. වෙනම කොලිටියක්. බාහිරින් ඉඳලා එහෙම ඡන්ද හදන වැඩක් යනවා. මෙතනට රැස්වෙලා ඉන්න හැමදෙනාටත් එහෙම වැඩක් තියෙනවා.

ඉන්දික තොටවත්ත කියලා තවත් මහත්තයෙක් ඉන්නවා. එයාගෙන් ජන මාධ්‍ය අහනවා, ඡන්දෙ ගැන. “වෙන මොනවා කරන්නද? මාව පිළිගන්න හැමෝටම කියන්නේ ජාතික ජන බලවේගය දිනවන්න” කියලා. ඒකත් වෙනම කොලිටියක්. ඊළඟට ලයනල් බෝපගේ මහත්තයා වෙනම වාමාංශික කණ්ඩායමක් අමතන කෙනෙක්. එතුමාත් කියනවා “ජාතික ජන බලවේගය හැර ඡන්දය දෙන්න වෙන කවුරුත් නැහැ” කියලා. මම ගත්තේ පොඩි උදාහරණ තුනක්. මේ එක්කෙනෙක්වත් ජාතික ජන බලවේගයට සම්බන්ධ නැහැ. මේ ගොල්ලෝ එක්කෙනෙක්වත්ත ජනතා විමුක්ති පෙරමුණටත් සම්බන්ධත් නැහැ. ජාතික ජන බලවේගය ගොඩනැගිලා අනුර සහෝදරයා අපේක්ෂකයා කරනකොට ඒගොල්ලෝ  ඊට පිටින්. අද ඉන්නෙත් පිටින්.

එහෙම ඉඳලත් මේ බලවේගය ජයග්‍රහණය කරවන්න සැලකිය යුතු වැඩකොටසක් කරනවා. ඔබ, අප හැමටම තියෙන්නෙත් වෙනසක් හොයන තේරුම් ගන්න පුළුවන් අය එක්ක කතා කරන්න. කරුණු පැහැදිලි කරලා දෙන්න. ඒ සඳහා මැදිහත් වෙමු. ජනතාව එක්ක කතා කරගෙන යමු. අපි මාලිමාව ඉදිරියේ කතිරය ගහලා, මේ රටේ අනාගත යුග පෙරළිය කරන්න පෙළ ගැහෙමු. ලෝකෙන් උතුම් රට කියලා කියපු මේ පාලකයන් විනාශ කරපු රට, යළිත් ඒ තැනට පත්කරන්න මැදිහත් වෙන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා.

මනෝජ් රූපසිංහ

ස්තුතිය – ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකයට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *