බල්ලන් නෑවීම – අනුර සූරියබණ්ඩාර

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ”රණවිරු ගාය” යනුවෙන් කළ ප්‍රකාශයක් මේ දිනවල පොහොට්ටුවේ පිරිස් වේදිකාවල තොරොම්බල් කරමින් සිටිති. උන් කියන්නේ ඉහත ප්‍රකාශය රණවිරුවන් වශයෙන් ඔවුන් විසින් නාමකරණය කර සිටින හමුදා සෙබළුන්ට කරනු ලැබූ අපහාසයක් බවයි.

යුද්ධයෙන් ආබාධිත හමුදා සෙබළුන්ට විශේෂ කොට සැලකීම සම්බන්ධයෙන් හෝ යුද්ධයට දායකත්වය දුන් සෙබළුන්ගේ සුභසාධනය ආදිය සම්බන්ධයෙන් යුද්ධය අවසන් වූ පසුව හෝ යුද්ධය පැවැති වකවානුවේ හෝ කිසිවකුත් විරෝධය පෑවේ නැත.

මේ වනවිට රණවිරුවන් වශයෙන් නාමකරණය කර ඇති සොල්දාදුවන් සම්බන්ධව යම් ප්‍රශ්නයක් පැන නැගී ඇත්නම් එයට බලපා ඇත්තේ තමන් බලයේ සිටි සමයේ රාජපක්ෂවරුන් විසින් හමුදා සොල්දාදුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබූ පිළිවෙතය.

නිදර්ශනයක් වශයෙන් රාජපක්ෂ හිතවාදීහු මේ වන විට අත්අඩංගුවට ගනු ලැබ සිටින හමුදා සෙබළුන් සම්බන්ධව තම වේදිකාවල මහත් අභිරුචියෙන් කතා කරමින් සිටිති. සත්‍ය වන්නේ ඉහත ”රණවිරුවන්” ඒ ආකාරයට අත්අඩංගුවට පත්ව සිටින්නේ ඔවුනට නීතියෙන් හිමි නිල හමුදා රාජකාරි ඉටුකළ නිසා හෝ යුද්ධයට සහභාගී වූ නිසා හෝ නොවේ. මිනිස් ඝාතන, අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම් ආදී නීති විරෝධී වන හමුදාමය රාජකාරි නොවන කටයුතු වල යෙදීම හේතුවෙනි. ඔවුන් එසේ නීති විරෝධී කටයුතු වල යොදවනු ලැබුවේ රාජපක්ෂ පාලනය විසින් බව අමුතුවෙන් කිව යුතු නැත. රාජපක්ෂවරුන් තම විරුද්ධවාදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම සඳහා හමුදා සෙබළුන් නොහොත් රණවිරුවන් යොදවා ගෙන තිබේ.

ලසන්ත වික්‍රමතුංග, නිසාම් තාජුදීන්, ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධව කිසියම් හෝ පෞද්ගලික ප්‍රශ්නයක් එම ඝාතනවලට සම්බන්ධ හමුදා පිරිස් වලට තිබුණු බවක් මෙතෙක් හෙළි වී නැත. එම කටයුතු සඳහා ඔවුන් මෙහෙයවනු ලැබුවේ රාජපක්ෂ පාලනය විසිනි. එය කොයි ආකාරයෙන් බැලූවද රටේ හමුදාව අනාචාරයේ යෙදවීමකි.

එකල පැවති තත්වය අනුව රාජපක්ෂ ආණ්ඩුවට අනුගතනොවී කටයුතු කිරීමට කවර හෝ රාජ්‍ය නිලධාරියෙකුට ඉඩක් තිබුණේ නැත. රටේ අගවිනිසුරුවරිය එකල මුහුණ දුන් අත්දැකීම එයට සාක්ෂි වශයෙන් පවතී. අගවිනිසුරුවරියගේ තත්ත්වය එය නම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ව සිටියදී සෙබලෙකු හෝ නිලධරයෙකු ඉහළ අණ නොපිළිපැද්දේ නම් ඔහුට අත්වන ඉරණම වටහාගත හැකිය. ඒ අනුව අද ඇතැම් රණවිරුවන් නීතිය හමුවේ අසරණ භාවයට පත්කර ඇත්තේ රාජපක්ෂවරුන් විසිනි

ඉතා මෑතක දී ආබාධිත සෙබළුන් පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක් ගෙනගියහ. ඒ තමන්ට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප් වෙනුවට රාජකාරි වැටුප ලබා දෙනු යන්න ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමිනි. බැලූ බැල්මට සාධාරණ නොවූ නමුත් රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ඔවුන්ගේ එම ඉල්ලීම් සහ උද්ඝෝෂණය රස කරමින් ප්‍රකාශය කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

යුද්දය අවසන් වූයේ රාජපක්ෂ පාලන කාලය තුළදී ය. ඒ අනුව ගත් කළ වත්මන් ආණ්ඩුව යටතේ කිසිම සොල්දාදුවෙකු යුද්ධය හේතුවෙන් ආබාධිත වී නැත. ඒ අනුව ගත් කල අබාධිත සොල්දාදුවන්ගේ ප්‍රශ්නය යනු මහින්ද රාජපක්ෂ පාලන සමයේත් ඉන් පෙර සිට පැවත එන ප්‍රශ්නයකි. රණවිරුවන් සම්බන්ධයෙන් එතරම් කැක්කුමක් රාජපක්ෂවරුන්ට ඇත්ත වශයෙන්ම තිබුණේ නම් තමන්ගේ ගැටළු වලට උත්තර ඉල්ලා වත්මන් ආණ්ඩුවට කන්නලව් කරන්නට ආබාධිත සෙබළුන්ට සිදුවන්නේ නැත. නමුත් රාජපක්ෂවරුන් අතීතයේ කලේත් දැන් කරමින් ඉන්නේත් රණවිරුවන් වශයෙන් හමුදා සෙබළුන් මුරුංගා අත්තේ තබමින් තමන්ගේ බලය රැක ගැනීමටත් දැන් බලය නැවත ඩැහැ ගැනීමටත් කටයුතු කිරීමයි. අවංක පාලකයෙකු වූයේ මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී කළ යුතුව තිබුණේ ආබාධිත සෙබළුන්ට තැඹිලි වතුර පොවා ගෙදර යැවීම නොව තමන්ගේ පාලන කාලයේ ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් නොදීම සම්බන්ධයෙන් සමාව ගැනීමයි.

රාජපක්ෂ පාලනය යටතේ රණවිරුවන්ට සැලකූ ආකාරය බේබිලාට කාර් රේස් පදින්නට කොළඹ නගරයේ පදික වේදිකා ආරක්ෂිත කරන්නට වැලිකොට්ට ගැසීම සඳහා හමුදා සෙබළුන් යෙදවීමෙන් පැහැදිලිවේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ අයගේ සේවය සඳහා නාවික හමුදා සෙබළුන් සහ සෙබළියන් 64 දෙනෙකු යොදවා සිටියහ. ප්‍රවාහන සහායකයන් වශයෙන් නාවික හමුදාවේ දොළොස් දෙනෙකි. ආහාර සම්බන්ධ කටයුතු සඳහා හමුදාවෙන් 11 දෙනෙකි. ගෙදරදොර කටයුතු සඳහා නාවික සෙබළුන් 26 දෙනෙකි. බල්ලන් බලා ගැනීම සඳහා නාවික හමුදාවෙන් හය දෙනෙකි. වෛද්‍ය සහායක කටයුතු සඳහා 4 දෙනෙකි. ශාරීරික අභ්‍යාස සඳහා 2 දෙනෙකි. බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය පුෂ්පා රාජපක්ෂ මහත්මිය ගේ පෞද්ගලික සහාය සඳහා කාන්තා සෙබලියන් 3 කි. බැසිල් රාජපක්ෂ මහතා යනු ආරක්ෂක අමාත්‍යාංශයට කවර ආකාරයකින්වත් සම්බන්ධ අමාත්‍ය ධුරයක් දැරූ අයෙකු නොවේ. ඔහුගේ නිවසේ සේවයටත් බිරිඳගේ ආවතේව කිරීමටත් හමුදා සෙබල සෙබලියන් යොදවා ගැනීමට ඔහුට කවර ආකාරයක හෝ නෛතික පදනමක් හෝ බලයක් තිබුණේ නැත. ඒ අනුව පෙනෙන්නේ ජනාධිපති අයියගෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මල්ලිගේත් හයිය භාවිතා කරමින් බැසිල් රාජපක්ෂ මහතා නාවික හමුදාව තමන්ගේ ගෘහ සේවයකයන් වශයෙන් යොදාගෙන ඇති බවයි. එපමණක් නොවේ ඉහත සෙබළ සෙබළියන් 64 දෙනාට හමුදා වැටුපට අමතරව ප්‍රභූ රාජකාරි වෙනුවෙන් යැයි පවසමින් මසකට රුපියල් පන්දහසක අමතර දීමනාවක් ද ගෙවා තිබේ. එසේ අවභාවිත කර ඇත්තේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් ය.

බැසිල් රාජපක්ෂ මහතාගේ නිවසේ සේවයට යොදවා සිටි ඇතැම් සෙබළෙකුට පැවරී තිබුණේ ඔහුගේ සුරතල් සුනඛයන් දෙදෙනා නෑවීම, බල්ලන්ගේ සිරුර පීරිම, බල්ලන්ට කෑම දීම, බල්ලන් එන්නත් කිරීම, බල්ලන් මළ මුත්‍ර පහ කරවීම සඳහා රැගෙන යාම, ව්‍යායාම සඳහා රැගෙන යාම ආදී කටයුතු ය. එනම් රාජපක්ෂ යුගයේ වලව්වල බල්ලන් බලා ගැනීමට යොදවා සිටියේත් නාවික හමුදාවය. ඔවුන් රණවිරුවන්ට ගරු කල තරම එයින්ම පැහැදිලි වේ. ඒ කටයුතු සඳහා නාවික හමුදා සෙබළුන්ට අණ දී ඇත්තේ ද බැසිල් මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය විසිනි. ඒ අනුව රාජපක්ෂ නිවසේ සේවය කළ නාවික හමුදාවේ අණදෙන නිලධාරීනිය බැසිල්ගේ ගෙදර පොලිස් පුෂ්පා නෝනා විය.

පුෂ්පා රාජපක්ෂ මහත්මිය ගේ පෞද්ගලික සහාය සඳහා යොදවා සිටි නාවික කාන්තා සෙබලියන් ට නිවසේ පැවරී තිබුණේ ආරක්ෂක රාජකාරි නොවේ. පුෂ්පා මහත්මිය ගමනක් යනවිට සාරි කට්ට ගැසීම, රැගෙන යාමට අවශ්‍ය දේවල් කාර් රථයට පැටවීම, වතුර අවශ්‍ය වූ විට වතුර බෝතලය දීම, මූණ පිසගැනීම ටිෂු කඩදාසි දීම වැනි ආවතේව කටයුතු ය. එනම් ඔවුනට පැවරී තිබුණේ පුෂ්පා රාජපක්ෂ මහත්මිය ගේ සර්වන්ට්ලා වීමටය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හමුදා සෙබළුන් කාණු සුද්ධ කිරීම ආදී කටයුතුවලට යෙදවීම ආදිය ගැනද කතාබස් ඇතිවිය. අද හමුදා සෙබල සෙබලියන් ට තම ආත්ම ගරුත්වය රැකගෙන රාජකාරි කරන්නට ඉඩ සැකසී තිබේ. වලව්වල සේවයට හෝ පාරේ වැඩට සෙබළු යොදවන්නේ නැත.

ඊට අමතරව වත්මන් ආණ්ඩුව යටතේ ත්‍රිවිධ හමුදාවවේ සහ පොලීසියේ වැටුප් විශාල වශයෙන් ඉහළ නංවා තිබේ. දින කිහිපයකට ඉහත දී ද පොලිස් නිලධාරීන්ට බාහිර රාජකාරි සඳහා ගෙවනු ලබන දීමනාව ඉහළ නංවනු ලැබුණි. මින් ඉදිරියට පොලිස් නිලධාරීන්ට හෝටල්වලින් නොමිලේ තේ බිමට හෝ බස්වල පිනට යන්නට අවශ්‍ය නොවනු ඇත.

ළඟ එන තැපැල් ඡන්දයේ දී ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් මහතුන්ට ලබාගත් නිදහස් තවදුරටත් භුක්තිවිදිනවාද නැතහොත් වලව්වල නෝනලාගේ සාරි කටු ගැසීම හෝ වලව්වල බල්ලන් නෑවීම තෝරා ගන්නවාද යන්න තීරණය කළ හැකිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *