ආරක්ෂාව උසාවියට පමණයි – සම්පත් අමරසිංහ

ලලිත් සහ කුගන් යන මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් යාපනය උසාවියේ පැවැත්වෙන නඩු විභාගය සඳහා පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූයේ නැත. එසේ සහභාගි නොවීමට හේතු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් පෙන්වා දී තිබුණේ අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් ගෝඨාභය මහතාට ආරක්ෂාව පිළිබඳ ගැටලූවක් පවතින බවයි.

උසාවියේ පෙනී සිටීමට ආරක්ෂාව නැතැයි කියන ගෝඨාභය මහතා මේ දිනවල රට පුරා දේශපාලන රැස්වීම් සහ වෙනත් උත්සව වලට සහභාගී වෙමින් සිටි. විශාල වශයෙන් ජනතාව රැස්වෙන ස්ථාන වල දේශපාලන රැස්වීම් ඇමතීමටත් වෙනත් උත්සවවලට සහභාගි වීමටත් ආරක්ෂාව පිළිබඳ ගැටලුව ප්‍රශ්නයක් කර නොගන්නා ගෝඨාභය මහතාට යාපනය අධිකරණයේ තමාට විරුද්ධව පවතින නඩු විභාගයට පෙනී සිටීමට පමණක් ආරක්ෂාව ප්‍රශ්නයක් වීම පුදුම සහගතය.

යාපනය අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට තමාට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත යන ගෝඨාභය මහතාගේ ප්‍රකාශය අධිකරණය මඟ හැරීම සඳහා යොදාගත් කූට උපක්‍රමයක් බව ඔප්පු කරන කරුණක් පසුගියදා එළියට පැන්නේය. එය අන් කවරක් නොව ගෝඨාභය මහතාගේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අදාළ දැන්වීමකි. ඉහත දැන්වීම අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඔක්තෝබර් 28 දින උදේ 10.00 ට යාපනයේ මැතිවරණ රැස්වීමකට සහභාගී වීමට නියමිතය. එපමණක් නොවේ ඔක්තෝබර් 28 වන දින ම උදේ 11.00 ට ගෝඨාභය රාජපක්ෂ මහතා වව්නියාවේ පැවැත්වෙන දේශපාලන රැස්වීමකට ද සහභාගි වීමට නියමිතය. ඔක්තෝබර් මස 29 වැනිදා උදේ 10.00 ට ගෝඨාභය රාජපක්ෂ මහතා මඩකලපුවේ රැස්වීමකට සහභාගී වීමට නියමිතය.

යාපනය නගරයේ දේශපාලන රැස්වීමකට සහභාගි වීමට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටීමට ආරක්ෂාව ප්‍රශ්නයක් වන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවකි.

ඉහත දැන්වීමට අනුව ගෝඨාභය මහතා යාපනයේ පමණක් නොව වව්නියාවේ සහ මඩකලපුවේද දේශපාලන රැස්වීම් වලට සහභාගී වන්නට නියමිතය. ඒ අනුව පෙනී යන්නේ යාපනයේ පමණක් නොව වව්නියාව, මඩකලපුව වැනි උතුරු නැගෙනහිර අනෙකුත් ප්‍රදේශවල දේශපාලන ප්‍රචාරක කටයුතුවලදී ආරක්ෂාව ප්‍රශ්නයක් කර නොගන්නා බවය .

දැන් අධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසිය යුතු ප්‍රශ්නය වන්නේ අධිකරණයේ පෙනී සිටීමට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ඔහු යාපනය නගරයේ ම ප්‍රසිද්ධ රැස්වීමකට සහභාගී වන්නේ කෙසේද යන්නයි. එහෙත් අධිකරණය ක්‍රියා කරමින් සිටින ආකාරය අනුව එවැනි ප්‍රශ්නයක් ගෝඨාභය මහතාට පැන නැගෙනු ඇතැයි අනුමාන කරන්නට වත් හැකියාවක් ඇත්තේ නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය ප්‍රශ්න කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මහතා අධිකරණය හමුවට ගිය අවස්ථාවේ දී ද අධිකරණය හැසිරුණු ආකාරය පිළිබඳ ජනතාවට ගැටලු සහගත තත්ත්වයක් තිබේ. එහිදී පෙනී යන්නේ අධිකරණය අවධානය යොමු කර ඇත්තේ තේනුවර මහතා සහ වියන්ගොඩ මහතා මතු කරන ගෝඨාභය මහතා ද්විත්ව පුරවැසිභාවය ලබාගත් කඩිනම් ආකාරය හා සම්බන්ධ අදාළ ලේඛන නොමැතිවීම, ද්විත්ව පුරවැසිභාවය සඳහා ගෝඨාභය මහතා ඉදිරිපත් කරනු ලැබ ඇති ජාතික හැඳුනුම්පත් අංකය ගැටලු සහගත වීම, ද්විත්ව පුරවැසිභාවයට ඉල්ලුම් කිරීමේදී ගෝඨාභය මහතා සිය වෘත්තිය වැරදි ලෙස සඳහන් කර තිබීම ආදිය සම්බන්ධයෙන් නොවේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක්කරන්නට තේනුවර මහතා සහ වියන්ගොඩ මහතා කටයුතු කරන්නට ඇත්තේ කවර හේතුවක් නිසාද යන්නයි. ප්‍රශ්න කිරීමට බලපාන හේතුව අනුව වැරදි නිවැරදි බව තීරණය වන්නේ ද යන ගැටලුව සාමාන්‍ය ජනතාවට මතු වන්නේ ඒ නිසාය.

ඇත්ත වශයෙන් ම සලකා බලන්නේ නම් ගෝඨාභය මහතා මෙරට පුරවැසියෙක් පමණක්ද නැතිනම් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය තවමත් වලංගු ද? ඔහු මේ වන විටත් ද්විත්ව පුරවැසියෙක් ද නැද්ද යන්න ප්‍රශ්නයක් වන්නේ ඔහු ඊළඟ ජනාධිපතිවරණයට මේ වන විට නාම යෝජනා භාර දී ඇති නිසාය. ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට හෝ මැතිවරණයට ඉදිරිපත් වන්නට හැකියාවක් නැතිය යන්න ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධ නඩු විභාගයේ දී අධිකරණය තීරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් පැහැදිලි ලෙස ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් පමණක් නොවේ නම්, එනම් ඔහු ඇමරිකානු පුරවැසිභාවයත් තවමත් දරමින් සිටින්නේ නම් ඔහු ජනාධිපති ධූරයට පත්කර ගැනීම සම්බන්ධයෙන් අන්ත රාජපක්ෂවාදීන්ට කෙසේ වුවත් මධ්‍යස්ථ ජනතාවට දෙගිඩියාවක් තිබීම පුදුමයක් නොවේ.

තමන්ගේ ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට සූදානම් වන තැනැත්තා තමන්ගේ සහෝදරයාගේ බලය පාවිච්චි කරමින් කෙටි හා නීත්‍යානුකූල නොවන මාර්ගයකින් මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්නම් එතන ගැටළුවක් තිබේ. නීතිය ඉක්මවා නීතියට පිටින් ගණුදෙනු කර ඇති තැනැත්තෙකු ජනාධිපතිධූරයට පත් කරගැනීම පුරවැසියෙකුට ප්‍රශ්නයක් විය හැකි බැවිනි. ඉහත ගැටලු සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් වියන්ගොඩ සහ තේනුවර යන මහත්වරුන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේ දී අධිකරණයෙන් පැහැදිලි වූයේ නැත.

ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා කියා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා යනු ජනාධිපතිධුරයට පමණක් නොව ආණ්ඩුවේ කවර හෝ නිලයකට වත් නොගැලපෙන තැනැත්තෙකු බවයි. හේතුව ඔහුට විරුද්ධව අපරාධ චෝදනා රැසක් එල්ල වී තිබීමයි.

ගෝඨාභය මහතාගේ පිළිවෙත වී ඇත්තේ ද තමන්ට විරුද්ධව අධිකරණය ඉදිරියේ ඇති චෝදනාවලට මුහුණ දී තමන්ගේ නිවැරදි භාවය තහවුරු කිරීම නොවේ. ඒ වෙනුවට ඔහු දිගින් දිගටම කරමින් සිටින්නේ විවිධ හේතු දක්වමින් සහ විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින් අධිකරණයට මුහුණ දීමෙන් වැලකී සිටීමය. ඊට හේතුව, නිසි අධිකරණමය ක්‍රියා මාර්ගයකට ලක්ව වුවහොත් තමා වැරදිකරුවෙකු බව ඔප්පු වන බව ගෝඨාභය මහතා දන්න නිසා වන්නට ද පුළුවන. නිවැරදි හෘද සාක්ෂියක් ඇති තැනැත්තෙක් නම් අධිකරණය හමුවේ පෙනී සිටින්නට මේ තරම් බිය විය යුතුද නැත.

යාපනයේ දේශපාලන රැස්වීමකට සහභාගී වන අතර යාපනයේ අධිකරණයට යාමට ආරක්ෂාව නැතැයි කීමෙන්ම ගෝඨාභය මහතාගේ දෙබිඩි පිළිවෙත පැහැදිලි වේ. අධිකරණය කෙසේ වෙතත් ජනතාව ඒ බව තේරුම් ගන්නේ නම් රටේ අනාගතය, අධිකරණයේ ස්වාධීනත්වයට අනාගතයේ එල්ලවිය හැකි තර්ජනය, ජනතාවගේ නිදහසට ඇතිවිය හැකි තර්ජනය ගැන බියවිය යුතු නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *