බදු නැති අයවැයක් – සී ජේ අමරතුංග

රටට හරියන ජනතාවක්  පත්කර ගත යුතු බව බර්ටොල් බ්‍රෙස්ට් කලාකරුවා ප‍්‍රකාශ කළේ එක්තරා උපහාසයකින් වන්නට ඇත. කෙසේ වෙතත් එහි සත්‍යතාව පිළිබඳවද අපට  ඕනෑ තරම් උදාහරණ ලැබෙන අවස්ථා ඇත. අයවැය ලේඛනය පිළිබඳ මෙරටේ ඇතැම් පිරිස්වල හැසිරීම තුළද අපට දකින්නට ලැබෙන්නේ එබඳු තත්ත්වයකි. ඇතැම්විට පෙනී යන්නේ එම පිරිස්වල හැසිරීම ප‍්‍රශ්නකාරී වුවද ප‍්‍රශ්නය තිබෙන්නේ දිගු කලක් තිස්සේ අප හුරුවු හා අපට හුරු කළ ක‍්‍රමවේද තුළ බවයි. ඒවායින් තම තමන්ට ලැබී තිබූ ඇතැම් වරප‍්‍රසාද අහිමි වන්නට බොහෝ දෙනකු කැමැති නොවීම මෙයට සාධාරණ හේතුවක් බවක්ද පෙනී යයි. එසේ වුවද එම ඇතැම් දේ වෙනස් කිරීම රටේ ඉදිරි ගමනට අවශ්‍ය බවද හොඳින් ප‍්‍රශ්නය සලකා බැලීමේදී පෙනී යනු ඇත. එබැවින් පළමුවෙන්ම තේරුම් ගතයුතු කාරණයක් වන්නේ ආර්ථිකයේ සැබෑ ප‍්‍රශ්න තේරුම් ගැනීමත් ඒවාට විසඳුම් සැපයීමත් කාට හෝ දොස් පවරනවාට වඩා සංකීර්ණ ක‍්‍රියාවලියක් බවයි.

අයවැය ලේඛනය සම්බන්ධයෙන් බොහෝ ප‍්‍රශ්න මතුකර තිබෙන්නේ හා මතුවන්නේ බදු ප‍්‍රශ්න මුල්කරගෙන බව පෙනෙන්නට තිබේ. දුම් සහතික බද්ද, වැඩි කළ වාහන බදු මෙන්ම බදු සහන අහෝසි කිරීමද ප‍්‍රශ්නවලට හේතු වී තිබේ. ඇතැම් බදු අඩුකර ඇති අතර ඒ ගැන එතරම් කතාබහක් නැත. විරෝධතා මතුව ඇත්තේ අලූතින් බදු පැනවීම හා බදු සහන ඉවත් කිරීම ආදිය පිළිබඳවය.

බදු විරෝධය

බරපතළම විරෝධය මතුවුයේ බදු සහන වාහන බලපත් ලබාදීම නවතා දැමීමටය. රජයේ වෛද්‍යවරුන් ඇතූළු ඉහළ නිලධාරීන්ගෙන් මෙම විරෝධතාව මතුවිය. එයට හේතු වූයේ කලක් තිස්සේ ඔවුන්ට තිබූ වරප‍්‍රසාදයක් අහිමි කිරීමයි. තමන්ට වාහන බලපත‍්‍ර නොදෙන්නේ නම් සේවයෙන් ඉවත්වී විදේශ ගත වන බවට වෛද්‍යවරු තර්ජනය කළහ. ප‍්‍රශ්නයට ප‍්‍රවේශ විය හැක්කේ එම ප‍්‍රකාශයද සැලකිල්ලට ගනිමින්ය.
මෙයින් පෙනී යන ප‍්‍රධානම කාරණයක් වන්නේ මෙරට රජයේ සේවයේ ඉහළ නිලධාරීන්ට ප‍්‍රමාණවත් වැටුපක් නොලැබෙන බවයි. වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ හා වෙනත් වෘත්තිකයන්ගේ තත්ත්වය එයයි. එලෙස ඔවුන්ට අඩු වැටුපක් ගෙවන අතර ඔවුන් සේවයේ රඳවා ගන්නේ විවිධ දීමනා, විශ‍්‍රාම වැටුප හා ඊට අමතරව වාහන බලපත් ලබාදීම මගින් බව පැහැදිලිය.

මෙම තත්ත්වය ඇතිවීමට හේතුව ලෙස පෙනෙන්නේ මෙරට මහජනයා රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව දක්වන ආකල්පයයි. ඉහළ හා පහළ ශ්‍රේණි අතර වැටුප් වෙනස විශාලවීමට බොහෝ දෙනා කැමැති නැත. එහිදී බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ වැඩි සමානත්වයකි. එය කලෙක රටේ රජකරමින් තිබූ ”සමාජවාදී” යැයි කියා ගත් ආකල්පවල ප‍්‍රතිඵලයක්ද විය හැකිය. ඒනිසා වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට, ගණකාධිකාරිවරුන්ට ආදී වෘත්තිකයන්ට තරගකාරී හොඳ වැටුප් ගෙවන්නට රජය හා මහජනයාද සුදානම් නැත. ඒ වෙනුවට රට හැරයාම වැළැක්වීමේ දීමනා ආදිය ගැට ගැහුවද එතරම් වැඩක් වූයේ නැත. බදු සහන වාහන බලපත් දෙන්නේ ඒ අඩුව පුරවන්නටය. ඇත්ත කතාව ඒකය. බදු සහන වාහනය නැතිවූවිට වෛද්‍යවරුන්ට මේ තරම් ”ඩෝං” යන්නේ ඒ නිසාය.

වැටුප් ක්‍රමයේ විෂමතාව

මීට වසර කිහිපයකට පෙර එක් අවස්ථාවක අපට දැනගන්නට ලැබුණේ මෙරට මැතිවරණ කොමසාරිස්වරයාගේ වැටුප් රුපියල් තිස් දහසකට අඩු බවයි. එයින් අපට පුදුම සිතුණ නමුත් අප රටේ වැටුප් ප‍්‍රතිපත්තිය අනුව තත්ත්වය ඒකය. විවිධ දීමනා හා බදු සහන බලපත් ලබාදෙන්නේ මේ අඩුව පිරිමහන්නය.

ඇතැම්විට මේ ක‍්‍රමයට වඩාත් කැමැති වන්නේ අපගේ දේශපාලනඥයන් විය හැකිය. ඔවුන් වසර පහකට වරක් සුඛෝපභෝගී වාහන බලපත‍්‍රයක් ලබාගන්නේ කෝටි ගාණකට විකුණා ගන්නටය. රජයේ ඉහළ නිලධාරින්ටත් බදු සහන වාහන බලපත් දුන්විට දේශපාලනඥයන්ගේ ජාවාරම ගැන එතරම් අවධානය යොමු වන්නේ නැත. රජයේ සේවකයන්ටද යතුරුපැදි බදු රහිතව දුන්විට වැඬේ තවදුරටත් ගොඩදාගත හැකිය. එලෙස රටේ ගොඩ නැඟී තිබෙන්නේ වවිධ මට්ටමින් අල්ලස් දීමේ ක‍්‍රමයකි.

දැන් රටත් ජනතාවත් වශයෙන් අප කල්පනා කළ යුතුව තිබෙන්නේ මෙබඳු ක‍්‍රමයක් පවත්වාගෙන යෑම සුදුසුද යන්න පිළිබඳවයි. දේශපාලනඥයන්ට උසස් රාජ්‍ය නිලධාරීන්ට වසර පහකට වරක් වාහන බලපත‍්‍ර දෙන්නේ වාහන මිලදී ගන්නට නොවන බව කවුරුත් දන්නා කාරණයකි. එය ලබාදෙන්නේ විකුණා ගන්නටය. එයින් තවත් පිරිසක්ද ආදායම් ලබති. ඒ වාහන ගෙන්වන බෙදාහරින ව්‍යාපාරික පිරිසයි. බදු සහනයේ විශාල වාසියක් එම ව්‍යාපාරිකයන්ට හිමිවෙයි. ආණ්ඩුව තම ආදායම අහිමි කරගත්තේ මේ ජාවාරම නඩත්තු කරන්නටය. මෙය දුෂිත  ක‍්‍රමයක් නොවේ යැයි කිවහැක්කේ නීතියෙන් තහනම් කොට නැති නිසා පමණකි. අඩුම තරමින් මෙය සදාචාර විරෝධී ක‍්‍රමයකි. මෙබඳු ක‍්‍රමවලට ඉඩදුන් රටක දුෂණ පිටු දැකිය හැකිද යන්න ප‍්‍රශ්නයකි.

මෙයින් ඇතිවන අනෙක් අනිටු ප‍්‍රතිඵලය වන්නේ වැඩි වැඩියෙන් වාහන මහා මාර්ගවලට පැමිණීමයි. දැන් ඇති වී තිබෙන වාහන තදබදය අර්බුදයක් දක්වා වර්ධනය වීමට එයද හේතුවක් විය හැකිය.

එබැවින් ප‍්‍රශ්නයට වඩා සදාචාරවත් විසඳුම වන්නේ වෛද්‍යවරුන්ටත් උසස් නිලධාරින්ටත් ප‍්‍රමාණවත් වැටුප් ක‍්‍රමයක් සැකසීමයි. ඔවුන්ට තම ජීවන මට්ටම පවත්වාගෙන යාමට හැකිවෙන වැටුප් ලබාදිය යුතුයි. එහිදී එබඳු වෘත්තිකයන්ට දේශීය හා විදේශීය වශයෙන් තිබෙන ඉල්ලූමද සැලකිල්ලට ගත යුතුය.

ඉහළ තනතුරු දරන නිලධාරීන්ට ප‍්‍රමාණවත් වැටුප් ක‍්‍රමයක් සැකසීම දුෂණ පිටුදැකීමටද ආධාරයක් විය හැකිය. සිංගප්පුරුවේ ලී ක්වාන් යූ ක‍්‍රියාත්මක කළේ එබඳු ක‍්‍රමයක් බව කියති. එසේ නොකරන තාක් කල් සිදුවන්නේ රටේ ආර්ථිකයට විනයක් වූ දුෂිත ක‍්‍රම වර්ධනය වීම හා පවත්වාගෙන යාමයි.

බදු විරෝධයේ යථාර්තය

අයවැයෙන් ඉදිරිපත් කළ දුම් සහතික බද්ද, වාහන බදු, ජාතිය ගොඩනැඟීමේ බදු හා ව්‍යාපාර පිරිවැටුම් බදු ආදිය ගැනද මැසිවිලි ඇති බව පෙනෙන්නට තිබේ. ඇතැම් බදු ගැන කියන්නේ ඒවා දරාගත නොහැකි බවයි. වසරකට වරක් වාහනයකට ගෙවන රුපියල් පන්දහසේ දුම් සහතික බද්දට එල්ල වී ඇත්තේ බරපතළ විරෝධයකි.

කුඩා මෝටර් රථයක් භාවිතා කරන පහළ මැද පාන්තිකයකුට වාර්ෂිකව දරන්නට සිදුවන වියදම් ගණනාවක් ඇත. වාහන බලපත‍්‍ර ගාස්තු, රක්ෂණ ගාස්තු, දුම් සහතික ගාස්තු ඒ අතර වෙයි. මෙම ගාස්තු වැඩි කිරීම ඔවුන්ට බරපතළ ලෙස දැනෙනවා විය හැකිය. එසේ වුවද අනෙක් අතට සොයා බැලිය යුතු වන්නේ රජය බදු අය කළ යුත්තේ කුමන ක්ෂේත‍්‍රවලින්ද යන්නයි. රටට හා ජනතාවට අවම බර පැටවෙන්නේ කුමන ආකාරයටද යන්නයි. වත්මන් බදු විරෝධය මතුව තිබෙන්නේ එබඳු සොයා බැලීමකින් පසුවද යන්න ප‍්‍රශ්නයකි.
මෙම සාකච්ඡුාව තුළ වෙනත් ආකල්පයක්ද හඳුනාගත හැකිවී තිබේ. එය නම් ආණ්ඩුව ජනතාවගෙන් බදු අය කිරීම වරදක්ය යන ආකල්පයයි. මෙම ආකල්පය පිළිබඳ විවේචනයක් ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවියේ සඳහන්ව තිබිණි.

එම වෙබ් අඩවියේ විවේචනයට ලක්වූයේ ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප‍්‍රකාශයකි. හේරත් මහතා කියා තිබුණේ රජය මහජනයාට සහන දී ඇත්තේ අනෙක් අතට ජනතාවගෙන්ම බදු අය කරමින් බවයි. වෙබ් අඩවියේ විවේචකයා උපහාසයෙන් සඳහන් කර තිබුණේ ”මෙය ජවිපෙය කළ අලූත් සොයාගැනීමක්” බවයි.

හොදම ක්‍රමය බදු ගැනීමයි

එම ලිපියෙන් පෙන්වාදී තිබුණේ රජයක් මහජනයාට සියලූ සහන දෙන්නේ බදු වශයෙන් හෝ වෙනත් ආකාරයෙන් ලබාගන්න මුදලින් බවයි. ඒ සඳහා ක‍්‍රම තුනක් ඇති බව එහි සඳහන්ය. එයින් හොඳම ක‍්‍රමය බදු අය කිරීමයි. අනෙක් ක‍්‍රම දෙක නම් ණය ගැනීම හා මුදල් නෝට්ටු මුද්‍රණයයි. ණය ගැනීම යනු දැන් කරන වියදම් වල බර අනාගත පරපුරට පැටවීමයි. පසුගිය කාලයේ මෙය බරපතළ ලෙස සිදුවිය. එයට දැන් හා හෙට අපට ගෙවන්නට සිදුවෙයි.

මුදල් නෝට්ටු මුද්‍රණය කළ විට සිදුවන්නේ රටේ උද්ධමනය වැඩිවීමයි. එහි ප‍්‍රතිඵලය වන්නේද බඩු මිල වැඩිවීමයි. එයද බදු අය කිරීමට සමානය. එසේ වුවද එය කාටවත් වැඩිපුර පෙනෙන්නේ නැත. පෙනෙන්නේ වෙළෙඳ පොළේ බඩු මිල ඉහළ යාමයි. පසුගිය කාලයේ මේ ක‍්‍රියාවලියද සිදුවූ බව ඉකොනොමි නෙක්ස්ට් කියයි.

ඒ අනුව බලනවිට මහජනයාට කුමන හෝ සහනයක් දීමට රජයට තිබෙන හොඳම ක‍්‍රමය බදු අය කිරීමයි. එය විනිවිද පෙනෙන ක‍්‍රමයක් වන අතර ආර්ථිකයට සිදුවන හානියද අඩුය.

රජයේ අදායම් පිළිබද බොරුව

අපේ ඇතැම් වාමාංශිකයන් වෙනත් තර්ක හදන්නට උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇත. වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ එවැන්නකි. ඔහු කීවේ ආදායම් ලබන ආයතන රජය යටතේ තබා ගතයුතු බවයි. එවිට එම ආදායම්වලින් ජනතාවට සහන සැලසිය හැකි බව ඔහු කියයි. ඉස්කාගාර සංස්ථාව පෞද්ගලිකකරණයද ඔහු දැක තිබුණේ ආදායම් අහිමිකරගැනීමක් වශයෙනි.

මේ තර්කය ඉදිරිපත් කරන උදවිය නොදකින දේ නම් එලෙස රජය ආදායම් ලැබීම යනු ජනතාවගෙන් ඍජු ලෙසම බදු ගැනීමේ ක‍්‍රමයක් වශයෙනි.

ඉස්කාගාර සංස්ථාව ආදායම් ගත්තේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමිනි. මිල නියම කළේ රජයයි. එයට සංස්ථාවේ අකාර්යක්ෂමතාව, දුෂණය සියල්ලට අමතරව තවත් මුදලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුවිය. මෙය බදු යන හැඳින්වීම නැතිව සුපිරි බදු අය කිරීමකි. රජය යටතේ එකල තිබූ පිඟන් සංස්ථාව, ටයර් සංස්ථාව ආදියද ආදායම් ලැබුවේ එහෙමය.

දැන් මෙම නිෂ්පාදන පෞද්ගලික සමාගම් එකකට හෝ ගණනාවකට භාර දී ඇත. ඔවුනට ලාබ ලැබිය හැක්කේ තරගකාරි ලෙස නිෂ්පාදනය කිරීමෙනි. ආණ්ඩුව එයින් බදු අයකර ගනී. නිෂ්පාදන වියදම, ලාභය, බදු සියල්ල පැහැදිලිය. රජයේ ¥ෂණවලට, වංචාවලට, අකාර්යක්ෂමතාවට ගෙවන්නට ජනතාවට සිදුවන්නේ නැත.

බදු නැත්නම් සහනද නැත

ආණ්ඩුව නියමකරන ඇතැම් බදු පිළිබඳව විවාදයක් තිබිය හැකිය. එසේ වුවද දිළිඳු ජනතාවට, ගොවියාට, සහනාධාර දිය යුතු නම් සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැඩිපුර මුදල් ලබාදිය  යුතු නම් එම මුදල් සොයාගත යුත්තේද මහජනයාට බදු පැනවීම මගිනි. ඒ බදු කුමන හෝ ක‍්‍රමයකින් ලබාගත යුතුමය. නැතහොත් සහනාධාර දෙන්න හෝ ආර්ථිකය සංවර්ධනය කරන්නට හෝ වෙන ක‍්‍රමයක් නැත. ණය ගැනීම යනු ගෙවීම අනාගත පරපුරට භාරදීමකි. මුදල් නෝට්ටු මුද්‍රණයද හොරෙන් බදු ගැසීමකි. කෙළින් බදු ගන්නවාට විරුද්ධ වනවිට සිදුවන්නේ හොරෙන් බදු ගැනීමයි. නැතිනම් වක‍්‍ර බදු ගැනීමයි. එවිට වැඩිම බර දරන්නට වන්නේ සාමාන්‍ය ජනතාවටය.

මැද පන්තියට ගහන ඍජු බදු වෙනුවට මහජනයාගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වක‍්‍ර බදු ගැසීමෙන් ආදායම් ලැබිය හැකිය. සීනි ටිකට, කිරිපිටි ටිකට, පරිප්පුවලට බදු සුළු මුදලකින් වැඩි කළ විට ලබාගත හැකි ආදායම් ඉහළය. එවිට එය ගෙවන්නට වන්නේ සාමාන්‍ය දුප්පත් ජනතාවටය. පසුගිය කාලයේ ආණ්ඩු කළේ එයයි. දැන් ආණ්ඩුව කරන්න යන්නේ එම ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමයි. සියයට අසූවක්ව තිබෙන වක‍්‍ර බදු සියයට හැටට අඩු කිරීමේ ඉලක්කයක් ප‍්‍රකාශිතය. ප‍්‍රශ්නය වන්නේ එලෙස බදු අය කරනවිට මාරාන්තික විරෝධයන් පැන නැගීමයි. එය බරපතළ ලෙස මතුවී තිබෙන්නේ මැද පන්තියෙනි.

රජයේ සේවක විශ‍්‍රාම වැටුප් කතාන්දරයද මෙයට සම්බන්ධය. දැන් විශ‍්‍රාම වැටුප් ගෙවන්නේ ඒ සඳහා විශේෂ අරමුදලක් නැතිවය. ඒ සඳහා වාර්ෂික අයවැයෙන් මුදල් වෙන්කළ යුතුය. එම මුදල් සොයාගන්නේ ජනතාවගෙන් ගන්නා බදු මුදලිනි. ආණ්ඩුව කරන්නට හදන්නේ ලබන වසරින් පසුව සේවයට බැඳෙන අයට විශ‍්‍රාම වැටුප් ගෙවීමට සේවකයන්ගේ හා රජයේ දායකත්වයෙන් අරමුදලක් ගොඩනැඟීමයි. එවිට අනාගතයේ විශ‍්‍රාම වැටුප් ගෙවන්නේ එම අරමුදලට ලැබෙන පොලී හා ලාභාංශ ආදායමෙනි. එවිට මහජනයාගේ බදු බර අඩු කළ හැකිය.

විශ්‍රාම වැටුපේ ආරක්ෂාව 

ඇතැම් වෘත්තීය සමිති කියන්නේ මෙතෙක් කළ විධියටම කළ යුතු බවයි. එසේ වුවද එදා මෙදා තුර සිදුවී ඇති වෙනසද සැලකිල්ලට ගත යුතුය. වසර තිහ හතළිකට පෙර උපතේදී ජීවිත අපේක්ෂාව අවුරුදු පනස් පහක් හැටක් තරම්ය. දැන් එය හැත්තෑඅටකි. එහි තේරුම විශ‍්‍රාමිකයන් ප‍්‍රමාණයද වැඩිවීමයි. අනාගතයේ එය තවත් වැඩිවිය හැකිය. ඒ බරට කර ගහන්නට දැන්ම සැලසුම් කළ යුතුය.

ආණ්ඩුවේ නව විශ‍්‍රාම වැටුප් සැලසුමේ ප‍්‍රතිලාභ ලැබෙන්නේ ලබන වසරේ සේවයට බැඳෙන අය විශ‍්‍රාම යනවිටය. ඒ කියන්නේ තව වසර තිහක පමණ කාලයකින් පසුවය. එතෙක් විශ‍්‍රාම යන අයට පවතින ආකාරයටම විශ‍්‍රාම වැටුප් ගෙවිය යුතුය. අනාගතය සඳහා ආණ්ඩුව මේ සැලසුම හදා ඇත්තේ මෑත කාලයේ ශත පහක ලාභයක් නැතිවය. ඒ බව තේරුම් නොගන්නා ඇතැම් වෘත්තීය සමිති මෙය දකින්නේ කුමක් හෝ විශාල කුමන්ත‍්‍රණයක් වශයෙනි. කොරහේ කිඹුලන් දකිනවා කියන්නේ මේකටය.

බදු විරෝධයේ ඇත්ත හේතුව

එසේ වුවද ආණ්ඩුවේ බදු අයකිරීම්වලට මහජනයාගේ විරෝධයක් ඇතිවීමට හේතුවක් ඇති බවද තේරුම් ගත යුතුය. එය නම් තමන් ගෙවන බදුවල ප‍්‍රතිලාභ තමන්ට ලැබෙන්නේද යන්න පිළිබඳ සැකයයි. මෙතෙක් මහජනයාට දකින්නට ලැබී ඇත්තේ දේශපාලනඥයන් මහජන මුදලින් සුරසැප විඳින ආකාරයයි. මහජන මුදල් ගසා කන ආකාරයයි. තමන්ගේ ඥාති මිත‍්‍රාදීන්ගේ මඩි තර කරන ආකාරයයි. එවැනි තත්ත්වයක් දකිනවිට රජයට බදු ගෙවන්නට මහජනයාගෙන් කැමැත්තක් නැතිවීම ස්වාභාවිකය. ඇතැම්විට මේ විරෝධය පැන නඟින්නේ එම අභ්‍යන්තර හැඟීමෙන් විය හැකිය.

එබැවින් මහජන මුදල් ගැන හැඟීමක් මහජනයාට ඇතිවීමටත්, බදු ගෙවන්නේ කුමකට දැයි තේරුම් ගැනීමටත් හැකිවන වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැඟීම අවශ්‍යයි. එය පටන්ගත යුතු වන්නේ දේශපාලනඥයන්ගේ ¥ෂණ, වංචා හා අයුතු වරප‍්‍රසාද පිටු දැකීමෙනි. තමන්ගේ බදු මුදල් සැබෑවින්ම මහජන සේවයට යොදන බව මහජනයාට පෙනෙන්නට තිබිය යුතුය. රටට අවශ්‍ය ධනයත් යහ පාලනයත් ආරම්භ කළ හැක්කේ එබඳු ක‍්‍රියාමාර්ගයකින් පමණකි.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *