|

ජනාධිපතිවරණ ගනුදෙනුව – නිශාන්ත කමලදාස

අපට ලොකු ප්‍රශ්නවලට උත්තර අවශ්‍ය නම් අප ඒ සඳහා සක්‍රීය ව මැදිහත් විය යුතු ය. ඒ බලයට පත් වූ පසු බලපෑම් ඇති කිරීම හරහා ය. බලයේ ඉන්නේ බාප්පොච්චී වුව ද හරි දේට හරි යැයි ද වැරදි දේට වැරදි යැයි කීම හරහා ය. වැරදි දේ කරන අය වර්ජනය කිරීම හරහා ය. එවැනි සක්‍රීය ජනතාවකට පමණක් රට වෙනස් කළ හැකි ය.

මුළු රටම ජනපතිවරණයට සූදානම් ය. ලස්සන මුහුණුවලින් තාප්ප හැඩ වෙන්නේ ය. රතිඤ්ඤා දැල්වෙන්නේ ය. කන දෙදරවන හඬින් ප්‍රතිඥා ද, සපථ කිරීම් ද ඇසෙන්නේ ය. වියත්තු ද කලා කාරයෝ ද බෙර තම්මැට්ටම් වයමින් නලා පිඹිමින් තම තමන්ගේ තෝරාගැනීම්වලට අදාළ සහතික ද රැගෙන පෙරහරේ යෑමට පටන් ගෙන තිබෙන්නේ ය. පක්ෂ සමාජිකයන් අතර බලාපොරොත්තු ද ඒවාට අනුව දැල්වෙන්නේ ය.

තම තමන්ගේ අපේක්ෂකයන්ගේ අතීත කැරැට්ටු තුළ තිබූ අමිහිරි මතක ඉවත් කරන්නට ද මිහිරි මතක ඔප මට්ටම් කර ඉදිරිපත් කරන්නට ද ඇත්තේ තරගයකි. ප්‍රධාන මාධ්‍යයන් පමණක් නොව සමාජ ජාලා ද වෙන කිසිදු ප්‍රශ්නයක් රටේ නැති ගණනට තම තමන්ගේ අපේක්ෂකයන්ට කඩේ යන මධ්‍යස්ථාන බවට පත් ව තිබේ.

ඒවා දෙස බලන අපට පෙනෙන්නේ, ඉදිරිපත් වී ඇත්තේ කැත නැති ඉතාම වටිනා පූජනීය චරිත බව ය. අප ළඟ නැති සියලු ගුණාංග ඔවුන් ළඟ තියෙන බව ය. ඒ නිසා ම පූජාවට උන් සුදුසු බව ය. ඒ නිසා ම සමහරු මේ චරිත ඉදිරියේ වඳින්නේ දෙකට නැමීගෙන අංශක අනූවට ය. අප කොහොමටත් පුරුදුව ඇත්තේ අප ළඟ නැති ගුණාංග තිබේ යැයි අප කුමක් හෝ හේතුවක් නිසා විශ්වාස කරන මිනිසුන් දේවත්වයට පත් කොට, ඒ මිනිසුන්ට පමණක් නොව ඔවුන් පරිහරණය කළ දේට ද වන්දනා මාන කොට ඒ පිනෙන් අපේ ජීවිත ද ගොඩ දා ගැනීම ය. හොඳ මිනිහෙක් වෙන එක අමාරු ය. එවැන්නකුට වැඳ පින් ලබා ගෙන ඒ හරහා යමක් කර ගැනීම පහසු ය. මේ වෙන මට්ටමට සිදු වන්නේ ද එය ම ය. මේ සංසිද්ධියේ දී පමණක් ඒ පුරුද්දෙන් අපට ගැලවීමට නොහැකි ය.

තමන් ම කුණු දමා විනාශ කරන නගරය නැවත ලස්සන කර ගැනීමට අපට එවන් නායකයකු, “ශක්තිමත්” නායකයකු, අවශ්‍ය ය. අප ම ආරවුල් ඇති කරගෙන ගිනි ලන දේශයට, දෙතුන් දෙනෙකුට පහර දී හෝ අතුරුදහන් කර හෝ වෙනයම් ඕනෑම බලහත්කාරයකින්, “සාමය” ගෙන ඒමට හැකි නායකයකු සමහරුන්ට අවශ්‍ය ය.

එසේ විවිධ අයුරින් එළඹෙන ඡන්දය සඳහා ලක ලෑස්ති වන විට, එහාටත් මෙහාටත් පනින දේශපාලන අවස්ථාවාදීන් කරනු ලබන සන්දර්ශන ද ඒ සමගම එළි දැක්වෙන්නේ ය. ඒ පැනීම්වලින් සමහරක් මුදල් හදල් සමග ද, සමහරක් බලයට පත් වූ පසු ලැබීමට නියමිත තනතුරු සමග ද, ඇතැම් විටක ඒ දෙක සමග ම ද සම්බන්ධ ය.

අලුත් බෝතල්වල පරණ වයින්

ප්‍රධාන ධාරා දෙකේම ඇත්තේ අලුත්ම නොවුණ ද අලුත් යැයි කිව හැකි මුහුණු ය. විකල්ප ධාරාවල ද අලුත් මුහුණු ඇත. අලුත් බෝතල්වල ඇත්තේ පරණ වයින් යැයි කීවාට මිනිසුන් විශ්වාස කරන්නේ නැත. තීන්ත තෙත යැයි කීවාට අල්ලල බලන්නට හිතෙන හිත, මෙතැනදී ඉස්සර වී, නිගමනවලට පනින්නේ නැතිව, බීලා බැලිය යුතු බව මිනිසුන්ට කියන්නේ ය.

අපේක්ෂකයන් සම්බන්ධයෙන් එසේ බලන්නට දිව ගා තොල ගා බැරි ය. බලය දී බැලිය යුතු ය.

හැමදාමත් බලාපොරොත්තු කඩ වූ මුත් හැමදාම මෙන් ම මෙදාත් මෙවර නම් යමක් වේ යැයි විශ්වාස කරන ජනතාව ද බහුතරයකි. ඒ නිසාවෙන් මේ ජනපතිවරණය ද හඳුන්වා දෙනු ඇත්තේ රටේ මෙතෙක් පැවති තීරණාත්මක මැතිවරණය ලෙසිනි.

එසේ සියල්ලන් සැරසෙන්නේ බලයක් නැතැයි කියන ජනපති තනතුරට බලවන්තයකු පත් කර ගැනීමට ය. ඒ හරහා රට්ටු උත්සාහ කරන්නේ රටේ සියලු ප්‍රශ්නවලට උත්තර සොයා ගැනීමට ය. ඒ අතරින් මොළේ “ටිකක්” තියෙන අය උත්සාහ කරන්නේ රටේ ප්‍රශ්නවලට කෙසේ වෙතත් තමන්ගේ ප්‍රශ්නවලට උත්තර සොයා ගන්නට ය.

සිල්ලර ප්‍රාර්ථනා

සමහරුන්ට තියෙන්නේ සිල්ලර ප්‍රශ්න ය. ලොකු පුතාට රස්සාවක්, පොඩි එකාට ජාතික පාසලක්, බිරියට මාරුවක්, තමන්ට ආණ්ඩුවේ ඉඩම් කෑල්ලක්, ගමට බෝක්කුවක් වැනි කාරණා ය.

තවත් අයට තියෙන්නේ ඉහළ තනතුරක් ලබා ගැනිම, සුපිරි ලාබ ලබන ඉන්ධන පිරවුම් හලක්, මත්පැන් හලක්, පාරක් හදන කොන්ත්‍රාත් එකක්, වැනි ව්‍යාපාරික අවස්ථාවක් ලබා ගැනීම, අපරාධ වංචා දූෂණ නඩුවලින් නිදහස ලබා ගැනීම වැනි තරමක් බරපතළ කාරණා ය.

එහෙම බැලුවහම පෙනෙන්නේ මේ කොයි දේත් කරගන්නට හැකියාවක් මේ හරහා ලැබිය හැකි බව ය.

එසේ කටයුතු සිදු වන හැම වතාවකම තව බොහෝ දෙනකුට හිමි විය යුතු නීත්‍යානුකූල අවස්ථා මග හැරෙන්නේ ය. සම්මතයෙන් පිට පනින හැම විටක ම සිදු වන්නේ සම්මතය දුර්වල වීම ය. ක්‍රමය දුර්වල වීම ය. අප රට අද මුහුණ පා තිබෙන ප්‍රශ්න ගණනාවක මුල ක්‍රමයක් නැතිකම ය. වෙන රටවල මෙන් “සිස්ටම්ස්“ නැතිකම ය. තියෙන යම් “සිස්ට්ම්“ එකක්, නැත්නම් ක්‍රමයක්, වේ නම් දේශපාලන බලය ඉදිරියේ කඩා වැටී තිබීම ය.

කරුමය එසේ ක්‍රම බිඳ හෙලීම හා “සිස්ට්ම්” කඩා දැමීම අපේ ද අපේක්ෂාව වීම ය. එසේ කරන බව ප්‍රසිද්ධියේ කියන සමහරු වටා එකතුවීමට සිල්ලර වුවමනාවන් ඇති මිනිසුන් රොද බැඳීම ය.

සිල්ලර අපේක්ෂා ඇති පළමු කට්ටිය පෝස්ටර් ගැසීම, රැස්වීම්වලට යෑම, ඒවාට සෙනඟ ඇදීම යන සිල්ලර වැඩ හරහා, ඒ සඳහා දරදිය අදින අතර වඩා බරපතළ අපේක්ෂා ඇති දෙවැන්නෝ ඒ සඳහා මුදලින් ද වෙනත් ආකාරයන්ගෙන් ද බරපතළ ලෙස මැදිහත් වෙති.

තම තමන්ගේ අපේක්ෂකයනට ඔට්ටු අල්ලන සූදු අන්තුවන් සේ ආයෝජකයන් ද මතු බලාපොරොත්තු ඇතිව මේ සටනට තම දායකත්වය සපයනු ඇත. පක්ෂ අරමුදල්වලට ජනපතිවරණ අරමුදල්වලට දායක වනු ඇත. ඇතැම්හු දෙපැත්තට ම සලකනු ඇත.

අතළොස්සකට ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංහිඳියාව, ජාතික ආරක්ෂාව, ආර්ථිකය ගොඩ නැගීම වැනි ප්‍රශ්න තිබෙන්නට පුළුවන. ඒත් ඒවා වැඩිපුර භාවිතා වන්නේ ඡන්ද ගැනීමටත් කැඩිමටත් අවශ්‍ය ආවරණ ලෙස පමණකි. වැඩි දෙනකුට ඒවා ගැන ලොකු තැකීමක් නැත. තමන්, තමන්ගේ බිරිය හා පොල් මුදලාලි සිටියොත් ඇතැයි සිතන අයට එහෙම ලොකු ප්‍රශ්න පෙනෙන්නේ නැත. පෙනෙන්නට විදිහක් නැත. පොල් මුදලාලි හිටියොත් පොල් ටික විකුණාගෙන ගෙදරට අවශ්‍ය කළමනා ටික ලබා ගැනීමට පුළුවන. බිරිය හිටියොත් ඒවා උයා පිහා ගත හැකි ය. එහෙව් සරල ජීවිතයකට ලොකු ප්‍රශ්න ජීරණය වන්නේ නැත. ලොකු ප්‍රශ්න සෙසු අයට විකිණීමට ය. උන් තමන්ගේ පිල වෙත දිනා ගැනීමට ය. තමන්ට ඒවායින් වැඩක් නැත.

තමන්ගේ අපේක්ෂකයා බලයට පත් වුණු පසු ඔහුට කිට්ටුවන මිනිසුන් තමන්ගේ අපේක්ෂා ඉටු කරන ලෙස ඔහුට බල කරනු ඇත.

එතැනට පත් වීමට මග පෑදු මේ ඉණිමං ටික බලා ගත යුතු ය. නැතිනම් අහගන්නට වෙන්නේ නැගපු ඉණිමගට පයින් ගැසුවේය යන අවලං කතාව ය. ඒ නිසා බලයට පත් වෙන කවුරු කවුරුත් මොළේ කළඳක් තිබෙන්නේ රට බලා ගන්නට ඉස්සර මේ අන්තේවාසිකයන්ගේ ඕනෑ එපාකම් ගැන බලා ගනු ඇත. එක් එක් අපේක්ෂකයා වටේ ඉන්නේ කුමන වර්ගයේ මිනිසුන් දැයි බැලීමෙන් සිදුවිය හැකි දෙය ගැන යම් යම් අනුමාන කළ හැකි ය.

ඉතිරි වූ අප දෙස බැලිය හැක්කේ තමන්ට බලය ලබා දුන් අයගේ ඕනෑ එපාකම් ඉටු කළ පසු ය. එතකොට ඊළග මැතිවරණය එළඹිලා ය.

ජනතාවගේ වගකීම

මේ ගැන බලයට පත් වන අයටවත් ඔවුන්ට බලය ලබා දීම සඳහා කඹුරන අයටවත් කළ හැකි යමක් නැත. ඒ ක්‍රමයේ හැටි ය. මේ ක්‍රමය තියෙන්නේ උදව් කරන අයගේ වුවමනා ඉටු කර දීමට ය. ඒ වුවමනා අතර ඉදිරියෙන් ඇත්තේ වැලි පර්මිට් නම්, බාර් ලයිසන් නම්, ක්‍රමයට ඒ ගැන කළ හැකි දෙයක් නැත. ක්‍රමය, ජනතා වුවමනා සපුරනවා මිස, ජනතාවට තමන් ඇති කර ගත යුත්තේ මෙවැනි වුවමනා යැයි කියා දෙන්නට යන්නේ නැත.

පත් කර ගත යුත්තේ අලුත් ජනතාවකි. මේ ක්‍රමය අනුව අපට ලැබෙන්නේ අපට ගැළපෙන නායකයන් ය. ඒ නිසා නායකයා අප්සෙට් නම් ඒ ගැන ඔහුට දොස් පවරා වැඩක් නැත. එහි වගකීම ඇත්තේ අප අතේ ය. කළ යුත්තේ පාලකයන් පත් කර ගැනීම නොව අලුත් ජනතාවක් පත් කර ගැනීම යැයි සමහරු කියන්නේ ඒ නිසා ය.

මා මේ කරුණු සඳහන් කළේ ලොකු බලාපොරොත්තු ඇති කර ගෙන අවසානයේ පසු තැවිලි වීමට නියමිත අපේ පාඨකයන්ට පිහිට වනු පිණිස ය. මේ ජනපතිවරණයෙන් කවුරුන් පත් වුව ද රටේ ලොකු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැත. ඒ අවබෝධය ඇතුව ඔබ කුමක් කළ ද කම් නැත.

අපට ලොකු ප්‍රශ්නවලට උත්තර අවශ්‍ය නම් අප ඒ සඳහා සක්‍රීය ව මැදිහත් විය යුතු ය. ඒ බලයට පත් වූ පසු බලපෑම් ඇති කිරීම හරහා ය. බලයේ ඉන්නේ බාප්පොච්චී වුව ද හරි දේට හරි යැයි ද වැරදි දේට වැරදි යැයි කීම හරහා ය. වැරදි දේ කරන අය වර්ජනය කිරීම හරහා ය. එවැනි සක්‍රීය ජනතාවකට පමණක් රට වෙනස් කළ හැකි ය. ඡන්දය දීම හා මැතිවරණ හරහා වෙනසක් අපේක්ෂා කරන අයට පව් ය. ඔවුන් අපේක්ෂා කරන වෙනස මේ කපේ දී වෙන්නේ නැත.

ඡන්දය දෙන අය සහතික කළ යුත්තේ එක් දෙයකි. අප මේ කියන ජනතා මැදිහත් වීම් කළ හැකි වාතාවරණයක් දිනා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කිරීම ය. එවැන්නකට ඉඩ හසර ලබා දීමට සූදානම් නැති අපේක්ෂකයන් පරාජය වන බවට වග බලා ගැනීම ය.

කළ හැකිව තිබෙන තව දෙයක් නම් තමන් කඩේ යන අපේක්ෂකයන් ඒ සඳහා කැප වෙන බවට ඔවුන් ලවා හගිස්සවා ගැනීම ය. සපථ කර ගැනීම ය. ප්‍රශ්නයකට ඇත්තේ එවැනි සපථ කිරීම් ද වචනවලට එහා නොයෑමට ඉඩ තිබීම ය. ඒවා එසේ සපථ කරන අය විසින් තුට්ටුවකටවත් නොසැලකීමට ඉඩ තිබීම ය. සපථ කළ දේ කරන බවට බල කිරීමට අන්තිමේ අපට ම සිදු වීම ය.

ඒ වැඩේට කම්මැළි නම් කරන්නට තිබෙන්නේ වෙනදා කළාක් මෙන් ඊළග මැතිවරණයේ දී බොරු කිරීම සම්බන්ධයෙන් පාඩමක් ඉගැන්වීමට බලා සිටීම ය. අප විසින් ම බලයෙන් පහ කරන ලද අනෙකා නැවතත් ගෙනැවිත් සිංහාසනාරූඪ කිරීම ය. නැවතත් සෙක්කුව කර ගහගෙන දිවීමට ය. එය කරන්නට පවා සාධාරණ මැතිවරණයකට ඉඩ ඇති වාතාවරණයක් අවශ්‍ය ය. අසීමිත බලය කෙනකුට පිරිනැමීම ඉදිරියේ එහි අනාගතය ද සැක සහිත ය. ඒ නිසා ද ඡන්දය පරෙස්සමින් භාවි‍ෙ කළ යුතු ය.

ශපථ කළ දේ නොකර මගහැරීම වැළැක්වීමට අපේ දේශපාලනය ජනපතිවරණයට හෝ මැතිවරණයට සීමා කිරීමෙන් අප වැළකී සිටිය යුතු ය. බලයට පත් වන්නේ කවරකු වුව ද ඒ අයට බලපෑම් කරන සැබෑ ජන බලවේගයක් බවට අප පත් විය යුතු ය. ඒ සඳහා ඉඩ හසරක් මැතිවරණයක දි පාදා ගැනිමට කටයුතු කළ යුතු ය.

බලපෑම් කිරීමෙන් අදහස් කරන්නේ අද සිදු වන්නාක් මෙන් පාරට බැස මිනිසුන්ට හිරිහැර කළ යුතු බව නොවේ. තමන්ගේ සේවාලාභීන් අතරමං කර පෞද්ගලික ඉල්ලීම් දිනා ගැනීමට අරගල කිරිම නොවේ. රටේ ආර්ථිකය කඩාකප්පල් කරන ක්‍රියා සංවිධානය කිරීම නොවේ. පොලීසිය සමග යුද්ධ කිරීමට ඉදිරිපත් වීම නොවේ.

එසේ කරන ලද මැදිහත් වීම්වල අරමුණ කුමක් වුව ද ඒ බොහෝමයක් අවසානයේ යොදා ගැනෙන්නේ පවතින රජය අපහසුතාවට පත් කොට වෙනත් පාර්ශ්වයකට බලය උරුම කර දීමට ය.

අප කළ යුත්තේ එක් එක් අයගේ බල ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා හවුල් වීම නොවේ. අපේ පටු අරමුණු දිනා ගැනීමට තනියම සටන් වැදීම නොවේ. රටේ පොදු යහපත පිණිස කරන මැදිහත්වීම් සඳහා බල කිරීමට ජනතාව සමග එක් වීම ය. ඒ සඳහා කරනු ලබන වඩාත් සක්‍රීය මැදිහත් වීම් සාමකාමී තලයක පවත්වාගෙන යෑමට ක්‍රම සම්පාදනය කිරීම ය. නවෝත්පාදනයේ යෙදීම ය.

ජනපතිවරණ හා මැතිවරණ සම්බන්ධයෙන් අප තේරුම් ගත යුතු අනෙත් වැදගත් ම කාරණය නම් “අපේ මිනිහා” බලයට පත් කරන්නට දර දිය අදින්නට ගොස් තමන්ගේ සැබෑ හිතවතා සමග අමනාපකම් ඇති කර නොගැනීමට අප ප්‍රවේසම් විය යුතු බව ය. එසේ කිරීමට දේශපාලකයන් උඩ ගෙඩි දෙතත් ඒ අය එක වල්ලේ පොල් වගේ ඉන්නේ සහෝදරත්වයෙන් ය. අවසානයේ මෝඩ වන්නේ කොහේවත් යන එකෙකු වෙනුවෙන් අපේ හිතවතා සමග විරසක වූ අප ය.

මෙසේ වන්නේ අප කැපවන ජොකියා පැරදුණොත් ඇති වන වස ලජ්ජාව හේතුකොටගෙන ය. බොහෝ දෙනකු ඒ තරමට ම තමන්ගේ ජොකියා වෙනුවෙන් කඩේ යන්නෝ ය. ඔහු සමග අනන්‍ය වන්නෝ ය.

දර්ශනයක් දැක්මක් වෙනුවෙන් පෙනී සිටින අයට එහෙම ප්‍රශ්නයක් නැත. ඒ දර්ශනයේ හෝ දැක්මේ හරි වැරැද්ද ජනතා ඡන්දය අනුව තීරණය නොවන නිසා ය. තමන් පෙනී සිටින දෙය වෙනුවෙන් වෙන කිසිවකු නැතිව වුව ද පෙනී සිටීමට එවැනි අය නිර්භීත ය. ඒ දර්ශනය හෝ දැක්ම වැරදි යැයි පෙනී ගිය කලක එය අත්හැරීම ද ඔවුන්ට ප්‍රශ්නයක් වන්නේ නැත. වහල් බැම්මක්, කිසිවකු සමග හෝ කිසිවක් සමග නැති, ඔවුන් නිදහස් මිනිසුන් ය.

එවැන්නකුට ජනපතිවරණයේ ජය හෝ පරාජය මිතුරන් සමග ගනුදෙනුවේ දී ප්‍රශ්න ඇති කරන්නේ නැත. මිතුරන් අමනාප කර ගැනීමට ඔවුන්ට මිතුරාගේ දේශපාලන පක්ෂපාතිත්වය උඩගෙඩි දෙන්නේ නැත. මිත්‍රත්වය දේශපාලන මතවාදයන්ට ඉදිරියෙන් තබන්නට තරම් ඔවුන් බුද්ධිමත් ය.

බෙදුම් රේඛාව

අපට බෙදී වෙන්වන්නට ඇති තරම් හේතු තිබේ. ජාතිය ආගම හා කුලය මත පදනම් ව බෙදිය හැකි ය. ගැහැනු පිරිමි ලෙස බෙදිය හැකි ය. උගත් පාසල හෝ සරසවිය අනුව බෙදිය හැකි ය. වෘත්තිය අනුව බෙදිය හැකි ය. තරුණ මහලු ලෙස ද උගත් නූගත් ලෙස ද යනාදි වශයෙන් ඇති කර ගත හැකි බෙදීම් විවිධ ය. ඒ අතරට තවත් බෙදීමක් අවශ්‍ය වන්නේ මක්නිසා ද? දේශපාලන නායකයන් නම් කැමති අප හැකිතාක් බෙදී ඉන්නවා නම් ය. ඇත්තටම කළ යුත්තේ සියලු දේශපාලනඥයන් එක පැත්තකට දමා අප අනෙත් පසට වීම ය. බෙදුම් රේඛාව හැකි නම් බලය ඇති හා නැති අය අතරින් පාදා ගැනීම ය. බලයට පත් වන කවරකු වුව කරන නිවැරදි වැඩවලට සහය දැක්වීමටත් වැරදි වැඩවලට විරුද්ධ වීමටත් අප ජනතාව ලෙස අත්වැල් බැඳ ගැනීම ය. අප සැබෑ ජයක් අත් කර ගනු ඇත්තේ එදාට ය.

අප කලින් ද සඳහන් කළ පරිදි සමහරු නම් කියන්නේ මේ ලංකාවේ පවත්වන තීරණාත්මක ම මැතිවරණය බව ය. එසේ කීවේ මේ මැතිවරණය ගැන පමණක් නොවේ. මේ අමුතු රටේ මෙතෙක් පවත්වන ලද සියලු මැතිවරණ සම්බන්ධයෙන් ම මෙසේ කියනු මා අසා ඇත. ඒ නිසා ඒ ගැන ද කලබල විය යුතු නැත.

මට දැනෙන හැටියට තීරණාත්මක වන්නේ අප මැතිවරණයක දී දමන ඡන්දය පමණක් නොවේ. එය අපේ අයිතියක් නිසා එය පාවිච්චි කළ යුතු ය. ඒ හරහා සමාජයට පණිවුඩයක් ද දිය හැකි ය.

වඩාත් තීරණාත්මක වන්නේ මැතිවරණ අතරතුර, අපට දුන් මැතිවරණ පොරොන්දු ඉටු කර ගැනීමට, අප දරන සාමූහික ප්‍රයත්නයන් ය. බෙදී වෙන්වී නොව, එක් වී කරන, සාමූහික ප්‍රයත්නයන් ය. ඒ සඳහා උත්හාහයන් කිරීමට අපේක්ෂා නොකරන අය විසින් දෙනු ලබන ඡන්දයේ, එය කවරකුට දුන්න ද, වටිනාකමක් නැත. ඒ ඡන්ද හොඳ සුබ සිහින දැකිමටත් ප්‍රතිවාදී කඳවුර තෝරාගත් අපේ ම මිත්‍රයාට හා සගයාට උච්ච් උච්චි කීමටත් ය. ඒ ඇරෙන්නට ඒවායේ ගත යුත්තක් නැත.

ජනාධිපතිවරණය සමග ගනුදෙනුව නිසි ලෙස කරගතහොත් අප දිනුම් ය. නැතිනම් කවුරු දිනුව ද අප පරාද ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *