|

රනිල් – සජිත් ජනපතිවරණ මෙහෙයුම ; රමේෂ් පතිරණගේ ඇල්පිටිය මෙහෙයුම ; ගම්මන්පිල ඉල්ලු වෛද්‍ය සහතිකෙන් ගෝටාට වැටුණු ලෙඩේ

අගමැති රනිල් හා අපේක්ෂක සජිත් අතර ගොඩනැගී ඇති දැවැන්ත සමගිය හා අන්යෝන්‍ය විශ්වාශවන්තකම තුල එජාපෙ සියළු පක්ෂ නායකයන්ගේ දිරිගැන්වීම හා කැපවීම තුල මැතිවරණ ව්‍යාපාරය මේ වන විට උච්චතම ස්ථානයට ලඟා වෙමින් තිබේ. රනිල් සජිත් මෙන්ම පක්ෂ නායකයින්ගේ හමු දිනපතාම වාගේ උදය වරුවේ අරලියගහ මැදුරේදී සිදුවන අතර දිනකට දුරකතන හරහාද හත් අට වතාවක් සබඳතා පවත්වමින් මෙහෙයුම වඩාත් නිවැරදිව ඉදිරියට ගෙනයාමට පසුබිම සකසා ගැනීම විශේෂත්වයකි.

සජිත් දිනකට දැවැන්ත රැලි 4 ක් හෝ 5 ක් අමතන අතරේ මෙහෙයුමට අදාල සියළු කටයුතු අගමැතිවරයා විසින් සම්බන්ධීකරණය හා මෙහෙයවීම සිදුකරන අතර මේ පණිවිඩය රට පුරා ගමින් ගම පැතිර යාම තුල සජිත්ගේ රැලි වලට පැමිණෙන ජනතාව දෙගුණ තෙගුණ වන තත්වයක් පවතී.

බදාදා අගමැතිවරයා උතුරේ සංවර්ධන කටයුතු රැසක් සඳහා මෙන්ම දේශපාලන කටයුතු කිහිපයක් සඳහා පිටත්ව යාමට සූදානම් වූයේ සජිත් හා එජාපෙ නායකයින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය. පසුව පැමිණ සිටි මැති ඇමතිවරු හා නිළධාරීන් මෙන්ම මාධ්‍ය කරුවන් සමඟද කතාබහ කිරීමට ඔහු අමතක කළේ නැත.

“ඇල්පිටිය අපි අවුරුදු 20 ක් තිස්සේ පරදිනවා. ඒත් ආණ්ඩු බලය තිබිලත් අපි මීට වඩා ඒකට උනන්දු නොවීම අඩුපාඩුවක්” ලක්ෂ්මන් කිරිඇල්ල මුලින්ම කීවේය.

“ඇල්පිටිය ඡන්දය වෙනුවට මැද කොළඹ, නුවර , නුවරඑළිය, මීගමුව වගේ තැනක ඡන්දෙ තිබුණනම් දිනන්නෙ අපි නෙවෙයිද?” චමින්ද විජේසිරි මතුකළ තර්කය කාගේත් පිළිගැනීමට ලක්විය.

“ඇල්පිටිය පොහොට්ටුවට දිනවල තියෙන්නෙ ගීතා කුමාරසිංහ කියලයි සමහරු හිතන් ඉන්නෙ. ඒත් රමේෂ් පතිරණ මූලික වෙලා මොහාන් සිල්වයි පලාත්සභා මන්ත්‍රීල 9 දෙනෙකුයි එකතුවෙලා තමයි ඇල්පිටිය ගොඩ අරන් තියෙන්නෙ කියලයි ආරංචි. බොහෝ රැස්වීම් වලට ඒ අපේක්ෂකයො ගීතට එන්න දීලත් නැතිලු. ආවොත් කට වරද්දගැනීම හා රණ්ඩු ඇතිකර ගන්න නිසා. ඒ අපේක්ෂකයො රමේෂ්ට වැඳල කියල තියනවලු ගීත වෙනුවට ඔබතුමා මේකෙ නායකත්වය අරන් මෙහෙයවන්න කියලා. එහෙම බැලුවම රමේෂ් පතිරණ පොහොට්ටුවට ඉන්න දක්ෂම ඡන්ද දිනවන්නෙක් බව ඔප්පු කරල තියනවා.” හේෂා විතානගේ මෙන්ම මහාචාර්ය ආශු මාරසිංහද සිය ප්‍රතිවාදි තරුණ මන්ත්‍රීවරයෙකු අගයමින් කතාකළේ එලෙසය.

“ඇල්පිටිය ප්‍රතිපලෙන් ජනාධිපතිවරණය කිසිසේත්ම මනින්න බෑ කියල මහින්ද රාජපක්ෂත් ප්‍රසිද්ධියේ පිලිගත්තා.” චමින්ද විජේසිරි කීවේය.

“2015 මහ ඡන්දෙදි වගේම මෛත්‍රීත් එක්ක හිටපු ශ්‍රීලනිප අයට හූ තියන එක මේ පාරත් පටන් අරන්. ඊළඟ මහ ඡන්දෙදි ඔය ඔක්කොම ගෙදර යවන වැඩපිළිවෙල පොහොට්ටුවෙ ලොක්කො දැනටත් ප්ලෑන් කරල ඉවර බව රටටම පැහැදිලියි. අනික පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි නායකයො එකතු වුණාට ගම් මට්ටමේ පක්ෂ දෙකේ මිනිස්සු එකතුවෙන්නෙ නෑ කියන එක ඇල්පිටියෙදි තහවුරු වුණා. ඒ නිසා ජනාධිපතිවරණයෙදි ශ්‍රීලනිප ඡන්ද වලින් අති බහුතරයක් පොහොට්ටුවට යන්නෙ නෑ කියන එක ස්ථිරයි. ශ්‍රීලනිපය විනාශ කරපු එක ගැන ගමේ ශ්‍රීලංකා කාරයො පොහොට්ටුව එක්ක වෛරෙන් ඉන්නෙ.” නවීන් දිසානායක කල විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.

“ලංකාවේ මහපොළවේ යුද්දෙ දිනපු ප්‍රධානියා වූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකයි එදා විදේශ ඇමති හැටියට ජාත්‍යන්තර යුද්ධය අපට දිනාදුන් රෝහිත බෝගොල්ලාගම කියන  දෙන්නම ඉන්නෙ දැන් මාත් එක්කයි. ඒක අපේ ජයග්‍රහණයට බලපාන විශේෂ සාධකයක්.” අපේක්ෂක සජිත් කී විට සියළුදෙනා එය අනුමත කළේය.

“සජිත් දිගටම ජනමාධ්‍ය වලට මුහුණ දුන්නා. අපේක්ෂයො සියළුදෙනා සංවාද කරපු තැනටත් ගියා. ඒත් ගෝඨාභය තමන්ගෙ බැරිකම නිසා ඒ සියල්ල මගහැරියා. අන්තිමේ දිගටම අභියෝග ආපු නිසා ජනමාධ්‍ය සාකච්ඡාවක් තියලා හොඳටම අනාත වුණා. යුද්දෙට හා හමුදාවට නායකත්වය දුන්නේ තමන් හෝ මහින්ද අයියා නොවෙයි එවකට හමුදාපති ෆොන්සේක කියල ලෝකයම ඉදිරියේම පිළිගන්නත් වුණා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ. රණවිරුවන් කරපු යුද්දෙ අයිති කරගත්ත කට්ටියගෙ රෙදි ජනමාධ්‍යවේදීන් ගලවල දැම්මා.” නවීන් දිසානායක කීවේ කාගේත් සිනා මැදය.

“රාජපක්ෂලගෙ හා රටේ ණය මේ ආණ්ඩුව විශාල ලෙස ගෙවමින් තමයි කකුල් මාට්ටු මැදත් මේ තරම් සංවර්ධනයක් කළේ. රටේ ණය ගෙවන හැටි ඇහුවම පොහොට්ටු අපේක්ෂකතුමාට උතුරු දකුණු හොයාගන්න බැරුව අනිත් අය දිහා බලපු විදිය ගැන රටම පුදුම වෙනවා“ අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේය.

“ආර්ථිකයයි ණය ගෙවිල්ලයි ගැන ගෝඨා මහින්ද දිහා බලල උත්තර හෙව්වට ඕව ගැන මහින්ද දන්න දේකුත් නෑ. එයා කතා කරන්නෙත් කවුරුහරි කියලදෙන දෙයක් නේ.” ලක්ෂමන් කිරිඇල්ල කීවේය.

“ලංකාවෙ මුල්වරට කේබල් කාර් ව්‍යාපෘතියක් නුවරඑළියේදි පටන් ගන්න නවීන් ඇමතිතුමා ක්‍රියා කිරීම ඉතා වටිනවා.” රෝහිත බෝගොල්ලාගම කීවේ ප්‍රශංසාත්මකවය.

“ඔව්. ඒක කෝටි 5000 කට අධික ඔස්ට්‍රියානු සමාගමක විශාල ආයෝජනයක්. අපි ගිවිසුම් අත්සන් කරලත් ඉවරයි. ඉක්මනින් වැඩ පටන් ගන්නවා.” නවීන් දිසානායක කීවේය.

“මේ ආණ්ඩුව කරපු වැඩ ගැන ප්‍රචාරය නොගත්තට සමහරු කකුලෙන් අදිද්දිත් කරපු සංවර්ධනය හා ජනතාවට දීපු සහන අති විශාලයි. පාසැල් ගොඩනැගිලි දහස් ගණනක්  අලුතින් තැනීම හෝ අලුත්වැඩියා කිරීම් කළා. රෝහල් දියුණු කරලා බෙහෙත් වර්ග 100ක මිළ අඩුකළා. පාරවල් පාලම් බෝක්කු මාතෘ නිවාස සජිත්ගෙ දහම්පාසැල් හා නිවාස දස දහස් ගණනනක් චම්පිකගෙ නාගරික නිවාස දස දහස් ගණන් අපි හැදුවා. තව අධිවේග මාර්ග උමං මාර්ග කණු උඩ දිවෙන අධිවේගි මාර්ග හා සැහැල්ලු දුම්රිය මාර්ගත් අපි පටන් ගත්තා. මේ බොහෝමයක් ලඟදි විවෘත වෙනවා. පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපල මේ සතියේ විවෘත කරනවා. ඊලඟට මුලින් 10,000 කින් හා පස්සෙ 2500 කින් වැඩි පඩි, සමෘද්ධි, මහපොළ, විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා දෙගුණ කළා. රට උකස් කරපු ණය බර කෝටි දහස් ගණනකින් අපි ගෙවන්න පටන් ගත්තා. තව කියනවනම් පැය ගාණක් කියන්න පුළුවන්.” අගමැතිවරයා පැහැදිලි කළේය.

“විධායක බලතල අඩුකරලා පාර්ලිමේන්තුවට පැවරීමයි, එතෙක් ජනාධිපති තනියම ගත්තු තීන්දු තීරණ ව්‍යවස්ථාදායක සභාවක් හරහා සාධාරණව ලබාගැනීමයි, ඔක්කොටම වඩා රට තුල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස ඇතිකිරීම හා ගෙවුණ වසර 5 දී ආණ්ඩුව අතින් කිසිම මිනිහෙකු ඝාතනය නොවීම අඩු ගානෙ සීරීම් තුවාලයක් හෝ නොසිදුවීම මේ රටේ සියළුදෙනා ලබපු ජයග්‍රහණයක්. අපි ආපස්සට අඳුරට යනවද පවතින ආලෝකය රැකගන්නවද කියල විතරයි මිනිස්සුන්ට හිතන්න තියෙන්නෙ.” නවීන් දිසානායක කල විග්‍රහයට කාගේත් අනුමැතිය ලැබිණ.

“සජිත් ඇමතිතුමාගෙ මානසික සෞඛ්‍ය ගැන දොස්තර උදය ගම්මන්පිල වෛද්‍ය සහතිකයක් ඉල්ලල තිබුණා. සජිත් ඇමතිතුමනි, ඔබතුමා මානසික සෞඛ්‍ය වගේම ශරීර සෞඛ්‍ය ගැනත් පූර්ණ වෛද්‍ය වාර්තාවක් රටට එළි දක්වලා ගෝඨාභයගෙ පූර්ණ වෛද්‍ය සහතිකයත් රටට ඉදිරිපත් කරන්න කියන්න. එතකොට එයාට තියන අට මහ දෝස හා ලෙඩ රෝග ගැන රටට නිවැරැදි අවබෝධයක් ලබාගත හැකියි. සාමාන්‍යයෙන් කෙනෙකුගෙ ලෙඩ රෝග ගැන කතාකරන්න මම කැමති නෑ. ඒත් ගම්මන්පිල සජිත්ට මඩ ගහන්න මේ වගේ පහත් ක්‍රියාමාර්ග ගත්ත නිසයි මම ඒක කිව්වෙ.” අර්ල් ගුණසේකර කීවේ කාගේත් සිනා මැදය.

“රටේ ආරක්ෂාව මේ ආණ්ඩුව උපරිම ලෙස තහවුරු කලා. පහුගිය ආණ්ඩුවේ අය හදපු වඩපු අන්තවාදීන් බෝම්බ පුපුරවල 300 ක් ඝාතනය කළා. ඒ අන්තවාදය දිගටම කරගෙන යන ප්ලෑන් එකක් තිබුණත් ආණ්ඩුවක් හැටියට අපි පැය 24  ක් තුල ඒ සියළු දේ විනාශ කරලා සියළු සැලසුම් අඩපන කරලා අන්තවාදීන් සියල්ල කොටු කරල රට ආරක්ෂාව පැත්තෙන් සුරක්ෂිත කළා. යලිත් මේ රටේ දෙමළ, මුස්ලිම් හෝ සිංහල අන්තවාදීන්ට ත්‍රස්තවාදී වැඩ වලට කිසිම ඉඩක් තියන්නෙ නෑ. ඒත් බොරු බෝම්බ බිය ඇති කරලා තැන තැන බොරු පාර්සල් තියලා පුළුවන්නම් පොඩි පොඩි බෝම්බ දෙක තුනකුත් පුපුරවන්න විපක්ෂයේ පටු අවස්ථාවාදීන් උත්සාහ කරනවා කියලා අපිට වාර්තා වෙලා තියනවා” අගමැතිවරයා කීවේය.

“පත්තර, ටී.වී හා රේඩියෝ චැනල් මෙන්ම ව්‍යාජ සමාජ ජාලා ගිණුම් හා වෙබ් අඩවි හරහාත් මේ බොරු බෝම්බ බිය රටට ගෙනියන්න සැළසුමක් තියන සියළු විස්තර ගැන ආරක්ෂක අංශ වල අය මටත් කියල තියනවා. ඒ නිසා ජනතාව ඇතැම් ජනමාධ්‍ය මවන බොරු බෝම්බ බියට කලබල විය යුතු නෑ. උතුරේ ක්ලේමෝ බෝම්බ වලදාපුව තව ඕන තරම් තියෙන්න පුළුවන්. වෙඩි බෙහෙත් අලෙවි කිරීම සඳහා ඒ වගේ බෝම්බ රහසේ තියා ගෙන ඉන්න බිස්නස් එකකුත් යනව කියල ආරංචියි” අරල් ගුණසේකර කීවේ එවැන්නකි.

“ඒ කතාව හරි. ක්ලේමෝ බෝම්බ 2 ක් සැලසුම් ගතව ලඟදි එලියට දාලා සමහර ජාතික පත්තර හා ජනමාධ්‍ය ප්ලේ කරන දේශපාලන සෙල්ලම නවත්වන්න ඕනෑ. රට අක්‍රිය කරන්න ත්‍රස්තවාදීන්ට වගේම රට බිය කරන්න කිසිම ජනමාධ්‍යකට අපි ඉඩ දෙන්නෙ නෑ. ඔවුන් ගැන තදින් ක්‍රියාකරනවා.” අගමැතිවරයා කීවේ දැඩි ස්ථාවරයක හිදිමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *