විදෙස් මාධ්‍ය හමුවේ ගෝඨාභය රණවිරුවන් පාවා දුන්නා – සජිත්

යුද ක්‍රියාදාමයන් ගැන විදෙස් මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්න හමුවේ පසුබසිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මුළු හමුදාවම පාවා දුන් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වගකීම් භාර ගැනීමට බිය වීම නායකත්වයේ ලක්ෂණයක් නොවන බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා රටට අවශ්‍ය අයෝමය නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බවද සඳහන් කළේය.

යුද්ධය පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලදී දනගහපු, මාධ්‍ය ඉදිරියේදී කඩාවැටුණු, අසරණ වුණු ගෝඨාභයට මෙන් නොව රට ජාතිය, රණවිරුවන් වෙනුවෙන් පෙනීසිටීමට, රට වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ නායකත්වය දීමට තමන්ට අයෝමය (යකඩ) ශක්තියක් ඇති බව ද ප්‍රේමදාස මහතා පැවසීය.

වසර දහයක් තිස්සේ යුද ජයග්‍රහණයේ සින්නක්කර අයිතිය ලියාතබාගත් ප්‍රතිවාදියා, විදෙස් මාධ්‍යවේදිනියකගේ ප්‍රශ්නයක් හමුවේ සිය දේශප්‍රේමීත්වය මුළු ලෝකයටම පෙන්වාදෙමින් යුද්ධය කළේ තමාවත්, අයියාවත් නොව හමුදාපති බව පැවසීම නිවට බියගුළු ක්‍රියාවක් බව ද කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මෙන් තමන් වෙළඳ දැන්වීම්වලින් සවිය ශක්තිය නොපෙන්වන බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපති පොරපිටියේ සවිය ශක්තිය ප්‍රායෝගිකව පෙන්වන බව ද පැවසීය.

දඹදෙණිය හා වාරියපොළ ජනහමු දෙකක් අමතමින් ප්‍රේමදාස මහතා මෙම අදහස් ඉදිරිපත් කළේය.

සමස්ත රටවැසියාගේ අනාගත වගකීම බාරගන්නා බව පැවසූ ‍ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.

ජනතාවගේ කනට ඇසෙන, ඇසට පෙනෙන, පපුවට දැනෙන සංවර්ධනයක් ක්‍රියාත්මක ක‍ළ යුතුයි.

ජනතාව මත තිබෙන මහා බදු බර ඉවත් කරවන්න ක්‍රියාකරනවා. පරිසරය ආරක්ෂා කළ යුතුයි, නමුත් කාබන් බද්ද හේතුවෙන් ජනතාව පීඩනයට පත්වෙන නිසා එය ඉවත් කිරීමට කටයුතු කරනවා.

රට දැය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇස්, ඉස්, මස්, ලේ, නහර දන්දුන් රණවිරුවන්ව අපි කවදාකවත් පාවා දෙන‍්නේ නෑ. රණවිරුවන් විදුලි පුටුවට යවන්නේ නෑ. අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාස එතැනට යන්න සූදානම් බව ද එහිදී වැඩිදුරටත් පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *