ගෝඨාභයගෙ පරාජය සහතිකයි – අමාත්‍ය වජිර අබේවර්ධන

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලයෙන් ගම්‍ය වන කරුණු, උතුරේ තැනකින් ආයුධ හමුවීම සමඟ ජාතික ආරක්ෂාව සම්බන්ධව මතුවන ගැටලු, පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්වීම ජනාධිපතිවරණයට බලපාන අයුරු, ආදිය පිළිබඳ ඇමැති වජිර අබේවර්ධන මෙසේ අදහස් දක්වයි.

ජනපතිවරණ සටනේ ප්‍රධාන සටන් පාඨයක් බවට ජාතික ආරක්ෂාව පත්වෙලා නේද?

විපක්ෂය ජාතික ආරක්ෂාව කියමින් මැජික් එකක් පෙන්වන්න හදනවා. අවුරුදු 30 ක් යුද්ධයක් තිබුණු රටක්. මේ යුද කාලෙ එක්සත් ජාතික පක්ෂය තමයි ත්‍රස්තවාදය පාලනය කිරීමේ පනත් අටක්ම පාර්ලිමේන්තුවෙ සම්මත කළේ. ඒ පනත්වලින් තමයි හැමෝම යුද්ධ කළේ. යුද්ධය දිනුවෙ. වර්තමාන තත්ත්වය නිසා ත්‍රස්තවාදය පාලනය කරන්න පනතක් ගේනකොට ඒකට අකුල් හෙලුවෙ ඔය කණ්ඩායම තමයි. අයි.එස්. ත්‍රස්තවාදය කොටි ත්‍රස්තවාදයට වඩා වෙනස්. ඒක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්. ඒක පාලනය කරන්න අලුත් තාක්ෂණික ක්‍රම අවශ්‍යයි. ඒ වෙනුවෙන් මේ ආණ්ඩුව වැඩ කරමින් ඉන්නෙ. දැන් අපි නිවැරදි ජාතික හැඳුනුම්පතක් ජනතාවට හඳුන්වා දෙනවා. එතනින් පස්සෙ රට සුරක්ෂිත වෙනවා.

සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ විගස සරත් ෆොන්සේකට ආරක්ෂක අමාත්‍යාංශය ලබාදෙනව කියන්නෙ දැනට තියෙන ආරක්ෂාව ගැන සෑහීමකට පත් නොවන නිසාද?

එතුම කියපු දේ හරි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක බිල්ලෙක් මවමින් ඉන්නෙ. ඔය හැමෝටම වඩා ආරක්ෂක දැනුමක් තියෙන සරත් ෆොන්සේකට රටේ ආරක්ෂාව භාරදීම නිවැරදි වැඩක්.

ආණ්ඩුව මේ දක්වා ආරක්ෂක ඇමැතිකම සරත් ෆොන්සේකට දුන්නෙ නැත්තෙ ඇයි?

හමුදාව පාලනය ගැන අවුරුදු හතළිහක, පනහක අත්දැකීම් තියෙන, වසර තිහක යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්නු ආසියාවෙම ඉන්න පළපුරුදුම නායකය සරත් ෆොන‍්සේකා. එතුමා දැන් වෘත්තීය දේශපාලනඥයෙක්. අවුරුදු දහයකට ආසන්න කාලයක් දේශපාලනය කරපු ඔහු තමයි ආරක්ෂක අමාත්‍යාංශයට නියම සුදුස්ස. යහපාලනය යටතෙ එතුමගෙ නම යෝජනා කළත් ජනාධිපතිතුමාගෙ කැමැත්ත ඒකට ලැබුණෙ නැහැ.

යාපනය, කිළිනොච්චිය ප්‍රදේශවලින් අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය හමුවෙනවා. මේ අවි ආයුධ එල්. ටී. ටී. ඊ. ඒවා බවට ආරක්ෂක අංශ පවසනවා?

අවුරුදු 40 ක් අවි ආයුධ තිබුණු රටක මෙවැනි සොයා ගැනීම් වෙන්න පුළුවන්. තවත් අවි ආයුධ උතුරෙත්, දකුණෙත් පොළොව යට ඇති. මේ නිසා රටේ ආරක්ෂාව නැහැ කියනව නම් ඒක විහිළුවක්.

රාජපක්ෂ ආණ්ඩුවෙ දූෂණ වංචා ගැන ආයෙත් දේශපාලන වේදිකාවල ලොකු කතාබහක් ඇතිවෙලා. මේ චෝදනා ගැන ඔබ මොකද කියන්නෙ?

මේ රටේ තිබුණු මහා දූෂණ වංචා රැල්ලක් ගැන සමාජ මතයක් ගොඩනැගිල තිබුණා. 2015 න් පස්සේ ඒ ගැන හොයල බලන්න ටී-56 පාවිච්චි කළේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව ඒ ගැන හෙව්වා. ඒ දූෂණ වංචා ගැන මේ වෙනකොට අධිකරණමය කටයුතු සිදුවෙනවා. 2015 ජනතාව පත්කළේ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වගේ, බන්ධනාගාරගතව හිටපු සිරකරුවන්ගෙ නම අහල හමුදාව දාල එළියට අරගෙන වෙඩි තියන ආණ්ඩුවක් නෙවෙයි. සිරකරුවන්ගෙත් අයිතිවාසිකම් රකින ආණ්ඩුවක්. සැකකරුවෙක් වෙලා ඉන්න තාක් ඒ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕන. එවැනි ආණ්ඩුවක් එපා කියල හොරුන්ට ඡන්දෙ දෙන එක හොඳයි කියල ජනතාව හිතනව නම් ඒ අයගෙ මොළේ බලවන්න ඕන.

අවුරුදු හතරකට වැඩි කාලයක් ගතවෙලත් ආණ්ඩුව මේ සම්බන්ධව නිසි පරීක්ෂණ කරල නීතිමය කටයුතු නොකළේ ඇයි?

රටේ තියෙන අධිකරණ ක්‍රියාවලිය දේශපාලන ක්‍රියාවලියක් නෙවෙයි. ඒකට දේශපාලනඥයන්ට මැදිහත් වෙන්න බැහැ.

 එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂල එක්ක ඩීල් දැම්මා. දේශපාලන ගේම් ගැහුවා කියන එක ගැන මොකද කියන්නෙ?

මුළු ලෝකෙම, ලංකාවෙත් දේශපාලනය කියන්නෙ ගේම් එකක්.

මේ නඩු සම්බන්ධව ඔබතුමාගෙ නමත් සඳහන් කරමින් විවිධාකාර චෝදනා එල්ල වුණා?

සමාජ මාධ්‍ය ජාලා කියන්නෙ ඕපදූප කියන තැන්. ඒවට මම උත්තර දෙන්නෙ නැහැ. මට චෝදනා තියෙනව නම් නිවැරදිව ඒව ඉදිරිපත් කරන්න මම ඒවට උත්තර දෙන්නම්.

ගෝඨාභය රාජපක්ෂ පළමු රැස්වීමේදීම කියනව සිරගතව ඉන්න රණවිරුවන් නිදහස් කරනව කියල. මේ ප්‍රකාශය ගැන ‍ඔබ මොකද කියන්නෙ?

දේශපාලන සිරකරුවන් එළියට දැමීම වෙනම දෙයක්. අපරාධකරුවන් එළියට දාන්න අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ බලයක් නැහැ. එහෙම දෙයක් කළොත් ඒක ඉතාම දරුණු තත්ත්වයක් වෙයි.

රටේ සම්පත් විකිණීම ගැන මේ ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ල වෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලට හැමදාම මෙහෙම චෝදනා එල්ල වෙනව නේද?

අපි විකුණපු එකක් තියෙනව නම් ඒ විකුණපු ඔප්පුවයි, ලියවිල්ලයි පත්තරේ දාන්න. යුද හමුදා මූලස්ථාන වික්කෙ ඔය චෝදනා කරන කට්ටිය. ත්‍රිවිධ හමුදාව සීසීකඩ කරල දැම්ම ත්‍රිවිධ හමුදාව තැන් තැන්වල හිඟන්නො වගේ බදු ගෙවමින් හිටියෙ. අපි ඒක කළා නම් ගෝල්ෆේස් එක වික්ක කියල කියයි. එයාල වික්ක අපි බේරගත්තා.

පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් අතිවිශිෂ්ට ජයක් ලැබුවා. මේ ජයග්‍රහණය ඔවුන්ගෙ ජනපති සටනට ලොකු උත්තේජනයක් නේද?

එතන කිසිම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් නැහැ. මම ඇමැතිකම කරන්නෙත්, අතිගරු ජනාධිපති සිරිසේන මහත්තය ජනාධිපතිකම කරන්නෙත්, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල වගේ දිස්ත්‍රික්ක 12 ක් පැරදිලා. යාපනය, මන්නාරම, වව්නියාව, කිළිනොච්චිය, මුලතිව්, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, නුවර, නුවරඑළිය, කොළඹ, මාතලේ වගේ දිස්ත්‍රික්ක 13 ක් අපි දිනනවා. දිනපු හැම දිස්ත්‍රික්කයක්ම අපි 75% කට වැඩි ප්‍රතිශතයක් ගන්නවා. ගාල්ල ඇල්පිටිය ප්‍රතිඵලය ඒ අයගෙ ජනාධිපති ප්‍රතිඵලය හැටියට බලාගත්තොත් හොඳයි. සිංහල බෞද්ධ ප්‍රදේශයක 56% ඒ අය ගත්තේ. ඒ කියන්නෙ ගෝඨාභයගෙ පරාජය සහතිකයි.

ගමට වැඩ කළා කියපු ආණ්ඩුවට මෙවැනි පරාජයක් අත්වෙන්න හේතු මොනවද?

සෑම ග්‍රාම සේවා වසමකටම අඩුම ගානෙ රුපියල් කෝටි තුන හතරක වැඩක් මේ ආණ්ඩුවෙන් කළා. ඇල්පිටියේදී අපිට ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිදුවුණා. නඩුවක් නිසා ඇල්පිටියෙ ඡන්ද ප්‍රමාද වුණා. ඒ වෙනකොට ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා ඉදිරිපත් කරපු ලයිස්තුවෙ හිටපු අපේක්ෂකයො සමහර දෙනෙක් මිය ගිහින්. සමහරු ප්‍රදේශය හැර ගිහින්. නඩුවක් එක්ක ජනතාවගෙ උනන්දුව අඩුවුණා. ලංකාවෙ මේ මැතිවරණ නීති සංශෝධනය වෙන්න ඕන. මැතිවරණ කොමිසමේ නීතිවලට අනුව රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැරදියි. ඒ නිසා මේ නීති වෙනස් විය යුතුයි. පාලන යන්ත්‍රය සුරකින්න නව නීති රීති අවශ්‍යයි.

ස්වාධීන කොමිසන් සභා මැතිවරණ කොමිසම අලුත් නීති මේව ගේන්නෙ වත්මන් ආණ්ඩුව යටතෙ නේද? 

දැන් ඒවයෙ යම් යම් අඩුපාඩු අපි දකිනවා. ඒව සංශෝධනය වෙන්න ඕන.

තොණ්ඩමන්, පිල්ලෙයාන්, කරුණා අම්මාන් වගේ අයගෙ සහාය ගෝඨාභය රාජපක්ෂට ලැබෙන බවක් කියනවා. මේ තත්ත්වය සජිත් ප්‍රේමදාසගෙ මැතිවරණ කටයුතුවලට බලපෑමක් නේද?

ඔය තුන්දෙනාම 2015 හිටියෙත් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක.

පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්වීමෙන්, එජාප කඳවුරට දැඩි බලපෑමක් එල්ලවිය හැකියි නේද?

කොහෙද එකතු වෙන්නෙ. කොහොමද බලපෑමක් වෙන්නෙ. එකතු වෙනව නම් ඇල්පිටියෙදී එකතු වෙන්න එපැයි. ඒගොල්ල එකතුවුණා. ඇල්පිටියෙදී ජනතාව වෙන්වෙල පෙන්නුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 13% ක් ගත්තා.

ඒත් මේ 13% දිනාගන්න එක්සත් ජාතික පෙරමුණට වැඩපිළිවෙළක් නැහැ නේද?

ඒක අපි බලාගන්නම්. ඔයාගෙ පත්තරේට ඒක කියල වැඩක් නැහැනෙ. දේශපාලන උපක්‍රම අපි එළියට දාන්නෙ නැහැ. හැබැයි ඔබ එකක් මතක තියාගන්න. ඔය දෙගොල්ලන්වම එකට තියලයි අපි 2015 දී පරාජය කළේ.

සජිත් දිනවන්න කියනකොට, ජනතාව දිනවන්න තියෙන වැඩපිළිවෙල මොකක්ද?

මේ ර‍ෙට් පීඩිත, පෑගෙන, දුක්විඳින පන්තිය වෙනුවෙන් නායකයො බිහිකළේ එක්සත් ජාතික පක්ෂය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බිහිකළේ එක්සත් ජාතික පක්ෂය. අවුරුදු 70 ක් ගතවෙලත් පීඩිත පන්තියෙ කෙනෙක් රටේ නායකත්වයට ගේන්න මේ රටේ වාමාංශිකයන්ට බැරි වුණා. අපි ඒක කළා. එක්සත් ජාතික පක්ෂයෙ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහත්තය පීඩිත පන්තිය වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත්තා. මේ රටේ වලව්වලට, හාමුලට එරෙහිව සජිත් ප්‍රේමදාස මහත්තයව ගෙනාවා.

ඔබ කියන පීඩිත පන්තියෙ නායකයා ජනාධිපතිවරණයට එන්න ලොකු සටනක් කළා නේද?

මාධ්‍යයට ඕන වෙලාවට අපේ නායකයන්ව එළිදක්වන්නෙ නැහැ. දේශපාලන උපක්‍රම අනුව නියම වෙලාවට අපි ඒක කළා. නොවැම්බර් 16 වැනිදට සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙනවා.

dinamina – දුමින්ද සම්පත්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *