යාපනය ගුවන් තොටුපොළේ වියදම් වසරකින් උපයා ගන්නවා – අගමැති

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ කටයුතු වසරක් තුළ නිම කොට කලාපය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17දා) යාපනයේ දී පැවසීය.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වැය නොකළ බවත් ඒ සඳහා වැය වූ මුදල් වසරක් තුළ උපයා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (17දා) පෙරවරුවේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කලාපීය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පැවැති මෙම උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 “යාපනයට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලබාදීම පිළිබඳව වසර 20 – 30 ක් පමණ සාකච්ඡා කළා. එම සාකච්ඡා සියල්ල වචනයට පමණක් සීමාවී තිබූ බව කිව යුතුයි. නමුත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සම්බන්ධව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී සාකච්ඡා කිරීමට අපට හැකි වුණා.

ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු, මැයි මාසයේ දී මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ රටේ පැවැති තත්ත්වය සමග මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකි දැයි  ඇතැම් අය ප්‍රශ්න කළා. කෙසේ හෝ මෙම කටයුත්ත සිදු කිරීමට අප තීරණය කළා. ඒ අනුව මාස 6 ක් ගත වීමට පෙර ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලබාදීමට අපට හැකි වුණා.

අද අප විවෘත කළේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පළමු අදියර පමණයි. විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළ පරිදි තවත් අදියර කිහිපයක් ආරම්භ කිරීමට තිබෙනවා. මෙහි දෙවැනි අදියර යටතේ ගුවන් පථය තවත් දිගු කිරීමෙන් පසු ඒ 320 වර්ගයේ ගුවන් යානා ගොඩබෑමට අපට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවලින් ද යාපනයට ගුවන් යානා පැමිණීමට අවස්ථාව උදා වන බව කිව යුතුයි.

මෙම ගුවන් තොටුපොළ සහ එහි ගොඩනැගිලි ඉදිකිරීමට වෙනුවෙන් මහා පරිමාණයෙන් මුදල් වැය කළේ නැහැ. මාස කිහිපයක් ඇතුළත මේ ගොඩනැගිල්ල ඉදිකිරීමට අපට හැකි වුණා. ඒ සඳහා වැය වූ මුදල් වසරක් තුළ නැවත උපයා ගත හැකියි.”

අද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *