එ.ජා.ප. වැඩ පිළිවෙළට ලෙඩ දැමූ මෛත්‍රීගේ ආර්ථික සභාව අහෝසි කරයි

එකසත් ජාතික පක්ෂ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වැඩ සටහන් නවත්වා ආර්ථිකය මෙහෙයවීමට යැයි කියමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිහිටවා තිබු ජාතික ආර්ථික සභාව අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (15දා) තීරණය කළේය.

ආර්ථිකයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හා විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කැබිනට් අනු කමිටුවක් ක්‍රියාත්මක කොට තිබුණද එහි ක්‍රියාකාරිත්වයට  දිගින් දිගටම බාදා කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආර්ථිකය මෙහෙයැවීමට යැයි කියමින් තමා යටතේ ජාතික ආර්ථික සභාව පිහිටුවා ගත්තේය. වසර දෙකක් පමණ තිස්සේ මෙම සභාව ක්‍රියාත්මක වුවද එයින් කිසිදු වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක වුයේ නැත.

වරින්වර ජාතික ආර්ථික සභාව ජනාධිපතිවරයා යටතේ රැස්වීම් කිහිපයක් පැවැත්වු අතර එයට රජයේ විවිධ අමාත්‍යංශවල ඉහළ නිලධාරීන් මෙන්ම මැති ඇමතිවරුද සහභාගි වුහ. එසේ වුවද කෑපි පෙනෙන ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට එයට හැකිවුයේ නැත. ජනාධිපතිතුමාම කීවේ රැස්වීම්වලට එන නිලධාරින් ජංගම දුරකථනවලට කොට කොටා සිටින බවයි. මේ සභාවේ රැස්වීම් කෙතරම් නීරස වීද යන්න හා නිලධාරින් එයට සැලකූ ආකාරයද එමගින් පැහැදිලි වෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිතුමා ජාතික ආර්ථික සභාව මගින් කළ මැදිහත්වීම ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ගවලට අකුල් හෙළීමක් බවට පත්ව තිබිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්‍රාම යාමට තීරණය කිරීමත් සමග ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කළේ සුදු අලියෙක් බවට පත්ව ඇති ජාතික ආර්ථික සභාව අහෝසි කර දැමීමටයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *