අභයාරාම පාර්ශවයේ වැඩවර්ජනය කොට උඩ- මහින්ද රත්නායක

වැඩකරන ජනතාවට අයහපත් ලෙස බලපෑ හැකි කාරණා කිහිපයක් පිළිබඳව සැළකිල්ලක් නොදැක්වීම හේතු කොටගෙන වත්මන් ආණ්ඩුවේ මංගල අයවැයට එරෙහිව වැඩකරන පංතියේ නොසන්සුන්තාවයක් ඇති විය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බැලූ රාජපක්ෂවාදී රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සහ ලංකා බැංකු සේවක සංගමය වැඩ වර්ජනයකට අර ඇන්දේ ය. වැඩකරන ජනතාව නොසන්සුන්ව සිටිහෙයින් වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙසුනු වෘත්තිය සමිතිවලට ද මෙයින් මිදෙන්නට හැකියාවක් තිබුණේ නැත. ඒ අනුව සමස්ථ වෘත්තිය සමිති ව්‍යාපාරයම ආණ්ඩුවේ අයවැය යෝජනාවලට එරෙහිව වැඩකරන ජනතාව පෙළගස්වා ගැනීමට රාජපක්ෂවාදි වෘත්තිය සමිතිවලට හැකිවිය. තමන්ව බලයට පත්කිරීමට වෙහෙස වූ වෘත්තිය සමිති ද මෙයට එක්වී සිටි බව දුටු අගමැති රනිල් වික්‍රමසිංහට මෙය නොසළකා හරින්නට හැකිදෙයක් වූයේ නැත. ඒ නිසාම වෘත්තිය සමිති නායකයින් සමග තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට ඔහුට සිදුවි ය. කෙසේ නමුත් 14වෙනිදා පස්වරුව වෙනතුරු ආණ්ඩුවට සහ වෘත්තිය සමිති නායකයින්ට එකගතාවයකට පැමිණිමට හැකිවූයේ නැත.
මේ නිසා 15වෙනිදා පැවැත්වීමට නියමිත මහා සංකේත වර්ජනය කෙරෙහි දෙපාර්ශවයක් උද්ධාමයෙන් සිටිය හ. ඉන් ප්‍රධාන පාර්ශවය වූයේ විපක්ෂයේ අභයාරාම පාර්ශවය වේ. එතරම් සැලකිල්ලක් දැක්විය යුතුනැති අනික් පාර්ශවය වන්නේ වැඩවර්ජනය තුළින් කම්කරු පංති විප්ලවය කිරීමට සිතා සිටි නන්නත්තාරවාදින් ය. කෙසේ නමුත් 14 වෙනිදා වනවිට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට දේශපාලන ආර්ථික විද්‍යා ඥාණය පහළ වූ බවක් පෙනේ. ඒ අනුව වැඩකරන ජනතාව අතර මතභේදයට තුඩුදුන් යෝජනා සැළකිල්ලට ගත්බව පවසමින් අගමැතිවරයා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළේ ය. මේ සමගම අගමැතිවරයාගේ සංශෝධන පිළිගත්, ආණ්ඩුව බලයට පත්කරන්නට වෙහෙසුනු වෘත්තිය සමිති වර්ජනය අත්හැර දැමූ හ. ඒ සමගම අභයාරාම පාර්ශවයේ නායකත්වයෙන් 15වෙනි දින දියත්කරන්නට ගිය එක්දින මහා සංකේත වැඩවර්ජනය ලොප් වී ගියේ ය.
බලාපොරෙත්තුව කඩවීමෙන් පාර්ශව කිහිපයක් දැන් කෝපයට පත්වී සිටිති. මහින්ද රාජපක්ෂගේ කම්කරු සමිති උපදේශකයා මෙන්ම රාජ්‍යසේවා වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් ඩබ්ලියූ. එච් පියදාය එයින් එක් අයෙකි. යහපාලන ආණ්ඩුවට හිතවත් සමිති නායකයන් සටන පාවාදුන් බවට ඔහු කළ මාධ්‍ය ප්‍රකාශයෙන් ඒ බව පැහැදිළි ය. රාජපක්ෂගේ ආණ්ඩුවට ඔහු කොදරම් කඬේ ගියාද කිවහොත් රාජපක්ෂගේ පාලන කාලය තුළ පවා කොමියුනිස්ට් පක්ෂයේ කම්කරුවන් මධ්‍යම කාරක සභාවෙන් ද ඔහු පලවා හැරිය හ. වැඩවර්ජනය තුළින් කම්කරු පංතියට බලය ලබාගතහැකි යැයි සිහින මැව් නන්නත්තාරවාදීහු ද මේ කථාවම දැන් කියති. රාජපක්ෂ ගේ ෆැසිස්ට් මාදිළියේ පාලනයට එරෙහිව කෙසේ වෙතත් වෙනත් සාධාරණ වෘත්තිය අරගලයකට හෝ සහයක් නොදැක් වූ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය දැන් ආණ්ඩුවට එරෙහිව ජිනීවා යන කථාවක් පවසා තිබේ. වැඩවර්ජනයේ යෙදී ඇති වෘත්තිය සමිතියක් වන්නේ ලංකා බැංකු සේවක සංගමයයි. ඉතා ශක්තිමත් වෘත්තිය සමිතියක් වූ ලංකා බැංකු සේවක සංගමය මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටිය දී දෙකට කැඩුවේ ය. තමන්ට තර්ජනයක් වේය යන බියෙන් රාජපක්ෂට හිතවත් බැංකුවේම සේවකයින් කොටසක් ලවා ලංකා බැංකුවේ වෘත්තිය සමිති මූලස්ථානයට බෝම්බ ගැස්ස වූ බව ද එකළ වාර්තා විය. බැංකු සේවකයින් වැඩවර්ජනයකට තල්ලු කළේ රාජපක්ෂට කඬේගිය එකි පිරිස බව දැනගන්නට ඇත.
කෙසේ නමුත් වෘත්තිය සමිති සමග මේ ආරවුල ඇතිවූයේ මෛත්‍රි-රනිල් ආණ්ඩුවට දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ මෙලොව අවබෝධයක් නොමැතිවීම හේතු කොටගෙන. එසේ නොවන්නේ නම් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යෑවීමට පළවෙනි වෙඩි මුරය පත්තු කළ මතභේදාත්මක ඊ. පී. එෆ්. ප්‍රශ්නය මංගල අයවැයේ දීම නැවතත් ගෙන එන්නේ මොන මෝඩයා ද? මීට පෙර ලිපියකින් පෙන්වා දුන් පරිදි දිගටම පවතින 15%ක්ව පවතින සෘජු බද්ධ වැඩිකර ගැනීමට කටයුතු නොකර අව වරප්‍රසාදිත ජනතාවගේ අයකරන වක්‍රබදු වැඩි කරන්නේ මොන මෝඩයා ද? කෙසේ නමුත් ආණ්ඩුව කප්පාදු කිරීමට සැරසුනු වැඩකරන ජනතාවගේ සහන දැන් ආරක්ෂා කර ඇත. කෙසේ නමුත් අය වැය ඇස්තමේන්තු වලට අනුව වෙනත් ක්‍රමයකින් එම මුදල් ආණ්ඩුව දැන් උපයාගත යුතුව තිබේ. එය කෙසේ උපයා ගැනීමට ආණ්ඩුව කල්පනා කරන්නේ දැයි අපි නොදනිමු. වෙනත් පැත්තකින් නැවතත් එය පොදු ජනතාවගෙන් අය කරගැනීමට උත්සාහ දරන්නේ නම් නැවතත් අව වරප්‍රසාදිත කොටස් වලින් විරෝධය මතුවීමට ඉඩ තිබේ. එහෙයින් එම හිගය වරප්‍රසාදිත කොටස් වලින් අයකරගැනීමට ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එය ආණ්ඩුවේ සෞඛ්‍යට ගුණදායක ය.
මේ රටේ හැබෑ සංවර්ධනයක් ඇතිකර ගැනීමට නම් පවතින ආර්ථික ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස්කළ යුතුව ඇත. එය සිදු කළහැක්කේ ධනවාදි ක්‍රමය තුළ බව ද බැහැර කළ නොහැක සත්‍යයකි. එහෙත් ඒ ව්‍යුහාත්ම වෙනස කරන විට ආණ්ඩුවක් සැළකිලිමත් විය යුතු ය. ප්‍රධාන කරුණක් වන්නේ ආණ්ඩුව බලයට පත්කළ සමාජ බලවේගය සතුරන් බවට පත් නොකර ගැනීම ය. වර්තමානයේ අමිහිරි වියහැකි හා ජනප්‍රිය නොව නමුත් අනාගත යහපතපත තකා ආණ්ඩුවකට තීරණ ගන්නට සිදුවේ. එම සෑම තීරණයක්ම එකවැර නොගැනීම ඉතා වැදගත් ය. ඒවා පියවරෙන් පියවර ගැනීමෙන් ආණ්ඩුවේ පැවැත්මට හානියක් නොවනවා මෙන්ම හැබෑ තත්ත්වය අවබෝධවන ප්‍රමාණයට ජනතාවගේ අනුමැතිය ඒවාට ලැබෙන්නේ ය.
15 වෙනිදා වැඩවර්ජනයෙන් කම්කරු පංතියට බලය ලබාගැනීමට අමුඩ ගැසූ නන්නත්තාර විප්ලවවාදීන්ගේ අභිප්‍රාය එයම ද යන්න සැක සහිත ය. පසුගිය දා ලැබු ග්‍රීසියේ අත්දැකීම් වලට අනුව තනි රටක වාමාංශික විකල්ප වැඩපිළිවෙලකට ඉඩක් නැති බව පැහැදිළි ය. ලතින් ඇමෙරිකාවේ වාමාංශික ආණ්ඩුවල පරාජයන් පෝලිමෙන් ද කියාපාන්නේ එයම ය. එසේ තිබිය දී ත්, මොවුන් මේ උත්සාහ දරන්නේ වමේ වැඩ පිළිවෙලකට ද නැතිනම් නැවතත් රාජපක්ෂව බලයට ගෙන එන්නට දැයි යන්න අපිට අසන්නට සිදුවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *