පසුගිය කාලෙ ආරක්ෂක අමාත්‍යාංශයේ මුදල්වලින් එක විට සිංහල සහ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් පෝෂණය කළා – ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

මේ ජන කොට්ඨාසයන් ඇතුළෙ කිසිදු අන්තවාදී කණ්ඩායමකට වර්ධනය වෙන්න, ඔවුන්ට අන්තවාදී කටයුතුවල නියැලෙන්න ඉඩ කඩ නොදෙන එක තමයි, ආරක්ෂාවේ තර්ජනය නැති කරන්න තියෙන පළමු ක්‍රියාමාර්ගය. ඒක ජාතික සමගිය දක්වාම අරගෙන යන එක තමයි දිගු කාලීන විසඳුම වෙන්නෙ.  ඒත් පසුගිය කාලෙ ආරක්ෂක අමාත්‍යාංශයේ මුදල්වලින් එක විට සිංහල සහ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් පෝෂණය කළා. ඇත්ත විසඳුම වෙනුවට ගැටුම් වර්ධනය කරලා, ඒ ගැටුම් පෙන්වා බලය පවත්වාගැනීමට හෝ බලය ලබා ගැනීමට කටයුතු කිරීම තමයි මේ අය කළේ. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ  2019.10.12 වැනි දින තලවතුගොඩ ග්‍රෑන්ඞ් මොනාක් හෝටලයේ පැවති නීතිවේදීන්ගේ හමුවේදී  කතාවක් පවත්වමිනි. තවදුරටත් කතා කළ අනුර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

නීති ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි අනෙකුත් හැම ක්ෂේත්‍රයකම අද ප්‍රශ්න ඕනෑ තරම් මතු වෙලා තියෙනවා. ඒවත් හිතන තරම් සරල ප්‍රශ්න නෙමෙයි, විශාල ඛේදවාචකයන්. අපි හිතනවා ඒ ඛේදවාචකයන්ගෙන් ඒ ඒ ක්ෂේත්‍රයන් මුදවා ගැනීමත් අපේ මැදිහත්වීමේම කොටසක් කියලා. අපිට ආර්ථිකය පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විවාද තියෙන්න පුළුවන්. අපිට රාජ්‍ය අංශයේ පවත්වාගෙන යන්නෙ මොනවද කියන එක ගැන විවාද තියෙන්න පුළුවන්. ඒත් කාටවත් විවාද නොතිබිය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි නීතියේ විධානයේ ආධිපත්‍යය. අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය අද තියෙන්නෙ කොතැනද? ඒක අද තියෙන්නෙ ධනවත්, සහ බලවත් අයට නීතිය ක්‍රියාත්මක නොවෙන, දුප්පත්, දුබල අයට නීතිය හොඳින්ම ක්‍රියාත්මක වෙන තැනක. ඒ නිසා අපේ රට ගොඩනගනවානම් ධනවත්ද, බලවත් ද, දුප්පත්ද, දුබලද කියන එක නොසලකා නීතිය ක්‍රියාත්මක වෙන තත්වයක් ඇති කරන්න ඕනෑ. රටේ හැම දෙනාම නීතියට යටින් සිටිය යුතුයි. ඒත් ඉතිහාසය පුරාම නීතියට යටින් සිටින පිරිසක් වගේම නීතියට උඩින් සිටින පිරිසකුත් හිටියා. පසුගිය කාලයේ මේ රටේ සිදු වුණු ආන්දෝලනාත්මක සිදුවීම් හැම එකක්ම දිහා බැලුවම ඒක තේරුම් ගන්න පුළුවන්. යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් පර්යේෂණ කරන ආයතනවලින් හෝ නඩු ගොනු කරන ආයතනවලින් හෝ ඒවා විභාගයට ලක් කරන ආයතනවලින් ගැලවීමට හැකි තත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. මේ ස්ථාන තුනේම දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒත් ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න බැරි තත්වයට දේශපාලන බලපෑම්වලට නතු වෙලා. ඒ නිසා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්නනම් මේ ආයතන තුනම විධිමත් ප්‍රතිස්ංස්කරණයට ලක් කළ යුතුයි.

දෙවෙනි එක තමයි වංචාව, දූෂණය සහ නාස්තිය නතර කිරීම නැත්නම් අවම කිරීම. මම මේ කතාකරන්නෙ පොලිසියෙ මහත්තය පාරෙ ඉන්නකොට ගන්න රුපියල් පන්සීය ගැන නෙමෙයි. ලිපිකරු මහත්තය ගෙදර එනකොට අරගෙන එන හාෆ්ෂීට් දෙක ගැන නෙමෙයි. මම ඒක සාධාරණීකරණය කරනව නෙමෙයි. ඒත් ඔවුන්ගේ වැටුපෙන් විශාල පංගුවක් ණයවලට කැපෙනවා. ඔවුන්ට ජීවත් වෙන්නවත් ඒ ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ. කෙනෙක්ට නිල ඇඳුමක් ඇඳගෙන, තරු පටි ගහගෙන රුපියල් පන්සීයක් ඉල්ලන එක ලේසි වැඩක් නෙමෙයි. ආණ්ඩුවෙ කාර්යාලයකින් වැඩක් කරල දෙන්න රුපියල් දෙසීයක් ඉල්ලන එක ලිපිකරු මහත්තයෙක්ට ලේසි වැඩක් නෙමෙයි. ඒත් ඔවුන් ඒක කරන්නෙ ජීවත් වෙන්න බැරි නිසා. හැබැයි ඉහළින් වෙන වංචා සිද්ධ වෙන්නෙ ජීවත් වෙන්න බැරි නිසා නෙමෙයි. රවී කරුණානායකල, බැසිල් රාජපක්ෂල හොරකම් කරන්නෙ ජීවත් වෙන්න බැරි නිසා නෙමෙයි. ඒ වගේම දේශපාලකයන් නඩත්තු කරන්නත්, ජනාධිපතිවරුන්ගේ සිට මැති ඇමතිවරුන් විශ්‍රාම ගිය පසු ඔවුන් නඩත්තුව සඳහාත් කරන වියදම්. අති විශාල නාස්තියක් ඒක. ඒ නිසා අපේ රට ගොඩනගන්නනම් වංචාව සහ දූෂණයත් හොරකම සහ නාස්තියත් නතර කරන්න ඕනෑ.

තුන් වැනි එක තමයි, මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය. රටක ආරක්ෂාවට ඇති විය හැකි තර්ජන දෙකක් තියනවා. එකක් තමයි අභ්‍යන්තරව ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන. අභ්‍යන්තරව ඇති විය හැකි ගැටුම් සහ කෝලහාල තත්වයන් හේතුවෙන් මෙවැනි තත්වයන් ඇති වෙනවා. දෙවෙනි එක තමයි විදේශීය ආක්‍රමණයන් නිසා රටට එල්ල විය හැකි තර්ජන. ඒ අතුරින් මෑත කාලීනව පේන්න තියෙන දේ තමයි, විදේශීය සන්නද්ධ හමුදා තර්ජනයක් එල්ල විය හැකි තත්වයක් නැහැ කියන එක. ඒ නිසා අපි මුහුණ දීල තියෙන්නෙ අභ්‍යන්තරික තර්ජනයක් පිළිබඳ අවදානමක් විතරයි. අභ්‍යන්තර ආරක්ෂාවේ තර්ජනයත් මොන මට්ටමේද තියෙන්නෙ? එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වෙන කාලෙ ඔවුන් සංවිධානය වූ සන්නද්ධ හමුදාවක් හැටියට කටයුතු කළා. ඔවුන් රජයේ හමුදා එක්ක මුහුණට මුහුණ සටන් කළා. ඒක අභ්‍යන්තර ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙලා තිබුණා. ඒත් නැවතත් මේ මෑත යුගයේ එවැනි සන්නද්ධ කණ්ඩායමක තර්ජනයක් ඇති වෙයි කියල හිතන්න බැහැ. කවුරුහරි හිතනවනම් උතුරේ නැවත එවැනි හමුදාවක් ගොඩනැගෙයි කියලා, ඒක හිතළුවක් විතරයි. උතුරෙ අම්ම තාත්ත දරුවො හදන්නෙ යුද්දෙට නෙමෙයි. ඒ අම්ම තාත්තටත් තියෙන්නෙ දකුණෙ අම්ම තාත්තට තියෙන බලාපොරොත්තුමයි. දරුවන්ට උගන්වන්න, ඔවුන් හොඳ රැකියාවක් කරනවා බලන්න, ඔවුන් හොඳ ජීවිතයක් ගෙවනවා දකින්න තමයි ඔවුන්ටත් ඕනෑ. ඒත් දකුණෙ මිනිස්සුන් තුළ ප්‍රශ්නයක් හදනව, උතුරෙ අම්ම තාත්ත දරුවො හදන්නෙ යුද්දෙට කියලා. ඒක බොරුවක්. දකුණෙ යුද්දෙකට තියන වුවමනාවවත් දැන් උතුරෙ ජනතාවට නැහැ. එහෙනම් දැන් කොතැනද අපේ ආරක්ෂාවට තර්ජනයක් තියෙන්නෙ?

විශේෂයෙන් අප්‍රේල් විසි එක ප්‍රහාරයෙන් පස්සෙ මාර්ග බාධක යෙදුනෙ ඉස්කෝල ළඟ නැත්නම් රෝහල් ළඟ. සිංහල, මුස්ලිම් ගම්මාන වෙන් වෙන සීමාවන්වල. එහෙනම් දැන් තියෙන තර්ජනය මොකක්ද? මේ රටේ ජන කොට්ඨාස අතර ඉන්න අන්තවාදී කණ්ඩායම්වලින් එක් ජන කොට්ඨාශයක් විසින් තවත් ජන කොට්ඨාසයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරයි කියන තර්ජනය. එතැන තමයි අද ආරක්ෂාවේ තර්ජනය ස්ථානගත වෙලා තියෙන්නෙ. මේ ආරක්ෂාවට මොනවද තියෙන විසඳුම්? ගම්මාන ජාතිකත්වයන් අනුව බෙදල වෙන් කරලා, ඒ ගම්මාන වෙන් වෙන තැන්වලදි ජනතාව පරීක්ෂාවට ලක් කරලා, සන්නද්ධ හමුදාව සහ සන්නද්ධ රථ දවස පුරාම පාරෙ ගමන් කරලා ඇති කරන්න හදන ආරක්ෂාව. හැබැයි ඒක ආරක්ෂාවද? ඒකෙන් කියන්නෙ රට අනාරක්ෂිතයි කියන එක නෙමෙයිද? අපි ආරක්ෂාව කියන්නෙ ඒකට නෙමෙයි. මේ ජන කොට්ඨාසයන් ඇතුළෙ කිසිදු අන්තවාදී කණ්ඩායමකට වර්ධනය වෙන්න, ඔවුන්ට අන්තවාදී කටයුතුවල නියැලෙන්න ඉඩ කඩ නොදෙන එක තමයි, ආරක්ෂාවේ තර්ජනය නැති කරන්න තියෙන පළමු ක්‍රියාමාර්ගය. ඒක ජාතික සමගිය දක්වාම අරගෙන යන එක තමයි දිගු කාලීන විසඳුම වෙන්නෙ.  ඒත් පසුගිය කාලෙ ආරක්ෂක අමාත්‍යාංශයේ මුදල්වලින් එක විට සිංහල සහ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් පෝෂණය කළා. ඇත්ත විසඳුම වෙනුවට ගැටුම් වර්ධනය කරලා, ඒ ගැටුම් පෙන්වා බලය පවත්වාගැනීමට හෝ බලය ලබා ගැනීමට කටයුතු කිරීම තමයි මේ අය කළේ.

ඒක නිසා, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමත්, වංචාව, දූෂණය, හොරකම සහ නාස්තිය නතර කිරීමත්, මහජන ආරක්ෂාව තහවුරු කර ජාතික සමගිය ගොඩනැගීමත් තමයි මේ මොහොතේ රට ගොඩනගන්නනම් සිදු කළ යුතු මූලිකම කටයුතු වෙන්නෙ. ඒ පදනම් මත ගොඩනැගෙන ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද, අධ්‍යාපන සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති මොනවද, විදෙස් ප්‍රතිපත්ති මොනවද වගේ දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්.

මනෝජ් රූපසිංහ

ස්තූතිය – ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකයට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *