කෘෂිකර්ම විනාශය දුමින්දගේ ආගමනය – සිරිසේන රාජපක්ෂ

අනුරාධපුර නගරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැළිය අමතමින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, තමා බලයට පත්වූ වහාම දැනට අත්අඩංගුවේ පසුවන සියලුම හමුදා සෙබළුන් (ඔහුගේ වචනයෙන් රණවිරුවන්) නිදොස් කොට නිදහස් කරන බවයි. පළමු ප්‍රශ්නය වන්නේ කිසියම් සිරකරුවෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නට ජනාධිපතිවරයාට හැකියාව ඇතත් නිදොස්කොට නිදහස් කරන්නට ජනාධිපතිවරයෙකුට හැකියාව තිබේ ද යන්නයි. නිදොස් කොට නිදහස් කළ හැක්කේ අධිකරණයට පමණක් වන බැවිනි.

නිදහස් කරන්නේයැයි ගෝඨාභය මහතා කියන පිරිසට අයත් වන්නේ තාජුදීන් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, වැලිකඩ බන්ධනාගාරයේ සමූලඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තරුණයන් පස් දෙනෙකු ඇතුළුව එකොළොස් දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන ගොස් ඝාතනය කර අතුරුදහන් කිරීමේ සිද්ධිය, රතුපස්වල වෙඩි තැබීම ආදියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෙබළුන් ය. ඒ අනුව පෙනෙන්නේ ගෝඨාභය මහතා ඉහත අපරාධ සිදුවිය යුතු සාධාරණ ඒවා බව සිතන බව ය. එසේම වත්මන් ආණ්ඩුව අධිකරණයට ඇඟිලි ගසන බව කියමින් රට වටේ යන ගෝඨාභය මහතා තමා බලයට පත්වුවහොත් අධිකරණ නිදහසට අතපොවන්නට දැන් සිටම සුදානමින් සිටින බව ය.

ඉහත රැලිය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූයේ පොහොර සහනාධාරය නැවත ලබාදෙන්නට හෙවත් ගොවියාට රසායනික පොහොර නොමිලේ ලබාදීමට ය.

ඒ අතර එම රැලියම අමතමින් අතුරලියේ රතන කියා තිබුණේ අනුරාධපුර නගරයේ වකුගඩු රෝගීන් 50,000 කට වැඩි පිරිසක් සිටින බවයි. අතුරලියේ රතන නිතර කියන්නේ රසායනික පොහොර වකුගඩු රෝගයට හේතුවන බවයි. ඔහු වල් නාශක වෙනුවෙන් මැරෙන්නට වුවද සූදානම්ය. දැන් මතුවන ප්‍රශ්නය වන්නේ ගෝඨා පාලනය යටතේ රතනගේ කාබනික න්‍යායට සිදු වන්නේ කුමක්ද යන්නය. රසායනික පොහොර වපුරන්නට කතා කරන මහින්ද රාජපක්ෂ වරුන්ගේ වේදිකාවක අතුරලියේ රතන සිවුරත් ඇදගෙන ඉන්නේ කෙසේද යන්නය. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුවහොත් අනුරාධපුර නගරයේ 50,000 කට අධික වකුගඩු රෝගීන් සිදුවනු ඇත්තේ කුමක්ද යන්න අතුරලියේ රතන විසින් වහා පැහැදිලි කළ යුතුය.

ඉහත රැළිය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේ වත්මන් ආණ්ඩුව විසින් කෘෂිකර්මාන්තය විනාශ කළ බවයි. කවර හෝ ආණ්ඩුවක් විසින් රටේ කෘෂිකර්මය විනාශ කළේ නම් එම වගකීම භාරගත යුතු තැනැත්තා වන්නේ එම ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා ය.

පසුගිය ඔක්තෝබරයේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය දක්වාම ආණ්ඩුවේ කෘෂිකර්ම විෂය භාරව කටයුතු කරනු ලැබුවේ දුමින්ද දිසානායක මහතාය. වත්මන් ආණ්ඩුව කෘෂිකර්මය විනාශ කළ බව මහින්ද රාජපක්ෂ මහතා කියන විට දුමින්ද දිසානායක මහතා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර රැළියේ වේදිකාව මතය. ඒ අනුව මෙරට කෘෂිකර්මය විනාශ කර ඇත්නම් ඒ සඳහා වගකිව යුතු පුද්ගලයන් මේ වනවිටත් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමගය. කෘෂිකර්මය විනාශ කළ තැනැත්තා තමන්ගේ පිළට එකතු කරගැනීමේ වරදින් දැන් මහින්ද රාජපක්ෂ මහතාට ගැලවෙන්නට හැකියාවක් නැත. මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලි කළ යුතු තවත් කරුණක් වන්නේ යම් හෙයකින් ඔවුන් බලයට පත්වුවහොත් දුමින්ද දිසානායක මහතා සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය ‍ කුමක්ද යන්නයි. කෘෂිකර්මය විනාශ කළ දුමින්දට ඔවුන් යම් ඇමතිකමක් පවරන්නේ ද? එසේ නම් එය කෘෂිකර්මය විනාශ කළ තැනැත්තාට තවත් ආයතනයක් පැවරීමක් නොවන්නේද?

කෘෂිකර්ම අමාත්‍යංශයට ගොඩනැගිල්ලක් ගැනීම සම්බන්ධව පසුගිය කාලය මුළුල්ලේ රාජපක්ෂවාදීහු ආණ්ඩුවට චෝදනා කළහ. එපමණක් නොවේ ඔවුන් ඒ ගැන විශේෂ ජනාධිපති කොමිසමටද පැමිණිලි කළහ. එම ගොඩනැඟිල්ලේ ගනුදෙනුව පිටුපස සිටින්නේ ද දුමින්ද දිසානායක මහතාය. ඒ අනුව පෙනෙන්නේ වැරදිකරුවන් ලෙස එදා රාජපක්ෂවාදීන් විසින් හංවඩු ගසනු ලැබූ පිරිස දැන් ඔවුන් තමන්ගේ සාක්කුවට දමා ගනිමින් සිටින බව ය. ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මහතාගේ කරට අත දමා ගත්තේ අනුරාධපුරයේ දුමින්ද දිසානායක මහතාගේ සැනසුම නිවසටම ගොස්ය.

කෑමට අවශ්‍ය වූ විට කබරගොයා තලගොයා කර ගන්නවා කියන්නේ මෙවැනි කටයුතුවලටය. එකල පොහොට්ටුවේ පස්පඩංගුවේ බැනුමට ලක්වූ සිරිපාලලා, ඩිලාන්ලා, එස්බිලා, රතනලා, දුමින්දලා ඇතුළු පිරිස දැන් රාජපක්ෂලාට මී පැණි මෙන්ය. ගැටලුව වන්නේ මෙවැනි දෙබිඩි රංගන වලට රැවටීමට ජනතාව ඉදිරියටත් සූදානම්ද යන්නය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *