ඇල්පිටියේ පාඩම – අනුර සූරියබණ්ඩාර

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කෙළවර වූයේ පොහොට්ටු පක්ෂය හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය අත්කර දෙමිනි. එහිදී පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23,372 කී. එම පක්ෂයට හිමි වූ ආසන සංඛ්‍යාව 17 ක් වේ. එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද 10,113 කි. හිමිකරගෙන ඇති ආසන සංඛ්‍යාව 7කි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 5273 කි. ආසන සංඛ්‍යාව 3 කි. ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2435 කි. ආසන ගණන 2 ක් වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය ගැන අදහස් දක්වමින් පොදුජන පෙරමුණ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ඉදිරි ජනාධිපතිවරණයේදී රටේම ප්‍රතිපලය වනු ඇති බවයි. මහින්ද රාජපක්ෂ මහතාට ඒ ආකාරයෙන් ඡන්ද ප්‍රතිඵලය අර්ථකථනය කිරීමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේම ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඇති පක්ෂයක නායකයෙකුගෙන්, ආසන්න මැතිවරණයකදී තම පක්ෂය ජයග්‍රහණය කර ඇති විටෙක ඊට වඩා වෙනස් ප්‍රකාශයක් බලාපොරොත්තු වන්නට ද හැකියාවක් නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකායන බලාපොරොත්තුව වනු ඇත්තේද ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ජයගත් ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයේ දී තම බාල සහෝදරයා ජය ගනු ඇතිය යන්නය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය ගැන අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා තිබුණේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය අනුව රටේ සමස්ත ඡන්ද ප්‍රතිඵල අර්ථ දැක්විය නොහැකි බවයි. තර්කානුකූලවද එම ප්‍රකාශයේ සත්‍යයක් තිබේ.

ජනාධිපතිවරණය යනු අපේක්ෂකයන් කිහිප දෙනෙකු සඳහා වන රටේ සමස්ථ ඡන්දදායකයින්ගේ මනාපය සලකා බැලෙන මැතිවරණයකි. විශේෂයෙන්ම මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය විමසා බලන විට පෙනී යන කරුණක් වන්නේ ජනාධිපතිවරුන්ගේ තෝරා පත් වීම කෙරෙහි, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද හැසිරීම තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති කරනු ලබන බවය. 2015 ජනාධිපතිවරණයේ දී වුව ජයග්‍රහණය මෛත්‍රීපාල සිරිසේන මහතා දෙසට දෝලනය වූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන්නට පටන් ගැනුනා ට පසුවය. එතෙක් ජයග්‍රහණයේ වැඩි බර පැවතියේ මහින්ද රාජපක්ෂ මහතාටය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රගතිශීලී කණ්ඩායම් වල අවධානයට යොමු විය යුතු කරුණක් තිබේ. එය නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23,372 ක් ලබා ගන්නා විට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ යන සියලු පක්ෂවල ඡන්ද සංඛ්‍යාව වීඇත්තේ 17821 කි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ලබාගන්නා ලද ඡන්ද සංඛ්‍යාවට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ඡන්ද 5551ක් ලබාගෙන තිබේ. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව තරග කිරීමට මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිවිසුමකට එළඹ ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ඇල්පිටිය ආසනයෙන් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට එම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණු ඡන්ද සියල්ලම හෝ යම් ප්‍රතිශතයක් හෝ එකතු වන බවට සැකයක් නැත. ඒ අනුව ගත්කල ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටියේදී ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව 23,372 ඉක්මවා යනු ඇති බවට සැකයක් නැත.

2015 ජනාධිපතිවරණයට පෙර පැවැති පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ වලදී ඡන්දය හැසිරුණු ආකාරය අනුව පෙනෙන්නට තිබුණු විශේෂ ලක්ෂණයක් වූයේ, එම මැතිවරණ වලින් මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ජයග්‍රහණය කළා වුවද එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ආදී ප්‍රතිවිරුද්ධ පාර්ශව ලබාගත් ඡන්ද සංඛ්‍යාව එකතුකළ විට මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි වූ බවයි. නමුත් මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ යන කණ්ඩායම් තුනම එකතු කළ ද ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ට වඩා ඡන්ද 5551 ක් අඩුවෙනි. ඉහත කරුණ සුළුකොට සලකන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය එතරම් පහසු නො වනු ඇති බව සිතන්නට පුළුවන.

ආණ්ඩු බලය අතැති ව යම් දේශපාලන පක්ෂයකට මැතිවරණයකට යාම විපක්ෂයේ සිටිමින් මැතිවරණයකට ඉදිරිපත් වනවාට වඩා කොයි ලෙසින් ගත්තා වුවද අවාසි සහගතය. කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී වුවද කොයිතරම් ජනතාවාදී වුවද ආණ්ඩුවක් කෙරෙහි එල්ල කළහැකි විවේචන විපක්ෂයට තිබේ. එම විවේචන බලපානු ලබන්නේ ආණ්ඩුවේ අවාසිය සඳහාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු නැති වැරදි පවා හුවාදක්වමින් ආණ්ඩුවට විවේචන එල්ල කිරීමේ දක්ෂතාවය ඇති කණ්ඩායමකි. සුවසැරිය ගිලන් රථ සේවය, මිලේනියම් චැලේන්ජ්, ඇක්සා, සෝෆා ආදී ප්‍රශ්න වලදී ඔවුන් අනුගමනය කළ දෙබිඩි පිළිවෙත ඒ සඳහා නිදසුනක් වශයෙන් පවතී.

එකී හේතු අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මහින්ද විරෝධී සියලු කණ්ඩායම් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ වැඩි අවධානයකින් සහ වැඩි පරීක්ෂාකාරී බවකින් යුතුව කටයුතු කළ යුතුව ඇත. මක්නිසාදයත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හේතුවෙන් මහින්දවාදී පිරිස ට උත්තේජනයකුත්, මහින්ද විරෝධීන්ට උදාසීන බවකුත් ඇතිවීමට ඉඩකඩ පවතින බැවිනි.

ජනතා විමුක්ති පෙරමුණටද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අනුව අවබෝධ කරගන්නට සත්‍යයක් තිබේ. එය නම් ජනාධිපතිවරණයේ දී ඔවුනට බලාපොරොත්තුවන ඉලක්කයට එනම් ජනාධිපතිවරණය ජය ගැනීමට තබා ජනාධිපතිවරණයේ දී සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට පවා නොහැකි වනු ඇති බවයි. එසේම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තරගය වඩාත් පහසු කරවනු ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණය සැලකිය යුතු වන්නේ 2015 ජනවාරි මාසයේ ලබාගන්නා ලද ජයග්‍රහණය වැඩි වර්ධනය කර ගනිමින් කෙසේ වෙතත් දැනට පවතින තත්වයෙන්වත් ඉදිරියට ගෙන යනවාද? නැතහොත් 2015 දී තිබුණු තැනට එහා තැනකට කරකවනවාද යන්නයි. ‍ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්ම අපේක්ෂා කරන පිරිස් එක්ව සටන් වදින්නේ නම් නැවත හිස ඔසවන්නට තැත් කරන හිට්ලර් වාදය පරාජය කළ හැකිවනවා ඇත. නැතහොත් වන්නේ අසල්වැසි නිවසට හොරු එනවා දැක තමන්ගේ නිවස ආරක්ෂා කර ගෙන සිටි තැනැත්තාට සිදු වූ විපතටත් වඩා දරුණු විපතකට රටටම මුහුණ දීමට සිදු වීමය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *