|

අප කුමන ආගමේ ද? -නිශාන්ත කමලදාස

දෙවියන් වැඩ හිඳින්නේ දේවාලවල නොවේ. කුඹුර කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ ය. බෞද්ධයන් ඉන්නේ ද පන්සල් දේවාල අසපු ආරණ්‍ය ආශ්‍රිතව නොවන්නට ඒ නිසා ම ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන් ඇත්තේ සාමාන්‍ය මහජනයා අතර ය. අනේක දුක් කරදර දරා සිටින කඨෝර දිවි මග තුළ ය. ඔවුන් බොහෝ බෞද්ධයන් මෙන් පිරිත් නූල් දුසිම් භාගයකින් සන්නද්ධ වී නොසිටින්නට පුළුවන.

ලංකාවේ සියයට 70 ක් පමණ බෞද්ධයන් ඉන්නවා යැයි කියන්නේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ය. ඒ නිසා කෙනකුගෙන් කවර ආගමේ දැයි ඇසුවොත් අපි බුද්ධාගමේ යැයි කියන අය රටේ බහුතරයක් විය යුතු ය.

අපි බුද්ධාගමේ යැයි ඔවුන් කියන්නේ ඇයි?

වෙසක් පෝයට කූඩු එල්ලන නිසා ය. බෞද්ධ කොඩියක් නිවස ඉදිරිපිට එල්ලන නිසා ය. පෝයට පන්සල් යන නිසා ය. මල් පහන් පූජා කරන නිසා ය. අතේ පිරිත් නූලක් බඳින නිසා ය. පිරිතකට දානයකට ගියොත් හාමුදුරුවන් පාලියෙන් කියන ගාථාවලට වැඳගෙන ඉන්නා නිසා ය. එය ම නැවත වර නගා කියන නිසා ය. සිවුරු දරන්නන්ට නැමී වඳින නිසා ය. පිළිම ඉදිරියේ දණ්ඩ නමස්කාරය කරන නිසා ය. බෝධියට කිරි වක්කරන නිසා ය. බුද්ධ පූජා පවත්වා නොපෙනෙන බුදු කෙනකුට දන් පිළිගන්වන නිසා ය. ඒ හැම දෙයක් ම ශ්‍රද්ධා සම්පන්නව කරන නිසා ය.

බෝධි පූජා

හොඳින් බැලුවොත් කෙනකු බුද්ධාගමේ යැයි කියන්නට මේ එකකින්වත් නොහැකි ය.

වෙනත් ආගම් අදහන්නන් විසින් ද තමන්ගේ ආගම් අරබයා මේ සියල්ල කරන නිසා ය. මේ චාරිත්‍ර වාරිත්‍රවලට බොහෝ සෙයින් සමාන චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන නිසා ය. ඉන් සමහරකු නිවස ඉදිරිපිට කොඩි එල්ලන එකක් නැත. ඒ ඇතැම් විට එවැනි චාරිත්‍රයක් නැතිකම නිසා ය. ඒ කොඩිය ම ඔවුහු පල්ලිය අබියස තබති. වෙනස ස්වරූපයේ පමණ ය. තවත් අය පිළිම ඉදිරියේ දණ්ඩ නමස්කාරය කරන එකක් නැත. එහෙත් ඔවුන් පල්ලියේ දී එසේ කරනු ඇත්තේ යම් දිසාවක් බලා ගෙන ය. තවත් අය පිරිත් නූල් නොබඳින්නේ වුව කුරුසියක් එල්ලාගෙන ඉන්නෝ ය. ඒ සියල්ල ඔවුන් ද කරන්නේ ශ්‍රද්ධා සම්පන්නව ය. සිය ආගම කෙරෙහි එහි නිර්මාතෘ කෙරෙහි බැතියෙන් යුක්තව ය.

හොඳින් බැලුවොත් දෙගොල්ලන්ම කරන්නේ එක ය. ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම ය.

ආගමේ කියන දහම පිළිපදින අය නැති තරම් ය. එහෙත් ඔවුහු සියල්ලෝ දැඩි ආගම් භක්තිකයෝ ය. ආගම වෙනුවෙන් දිවි දීමට සූදානම් බව කියන අය ය. තම දිවි පුද කිරීම කෙසේවත් අනුන්ගේ දිවි ගන්නට සපථ කරන අය ය.

බුද්ධාගමේ අප ද අන්‍ය ආගමේ ඔවුන් ද මේ සියල්ල කරන්නේ තම මාපියන් විසින් උගන්වනු ලැබීමෙන් මිසක, ඒවා අන්ධ ලෙස අනුගමනය කිරීමට මාපියන් විසින් තමන් හුරු කරනු ලැබූ නිසා මිසක, ඒවායේ එහෙමට අර්ථයක් දැන උගෙන නොවේ.

තමන් විඳින්නේ නැතිනම් විඳවන්නේ පෙර කළ කර්මයන්ගේ විපාක යැයි බුදු දහමේ උගැන්වේ. එසේ උගන්නා ඊනියා බෞද්ධයා බෝධි පූජාවක් කොට විභාගය පාස් කර දෙන්නට ඉල්ලන විට ඔවුන්ගේ බුද්ධාගම බේරෙන්නේ ඔවුන් විසින් ම බෝධි රුකේ එල්ලා ඇති රෙද්ද පල්ලෙන් ය.

තාරකාවලින් කුමන ඵලක් ද? අපේ අනාගතය තීරණය කරනු ලබන්නේ අපගේ ක්‍රියාවලින් – කර්මයෙන් – බව කියන බුදුන්ට පිටු පා නක්ෂත්‍රකරුවන් පස්සේ කෙනකු යන විට ඔහු හෝ ඇය බුද්ධාගමේ යයි කිව හැක්කේ කුමන කටකින් ද?

ඒ නක්ෂත්‍රයත් අමුතුම ආකාරයක බෝධි වන්දනාවත් එක් කරමින් කේතු අපල දුරු කර දෙන්නට පතන, ඒ සඳහා බෝ ගහේ කොඩි එල්ලන මිනිසුන් අදහන්නේ කුමන දර්ශනයක් ද? ඔවුන් උවදෙස් ගන්නේ සූත්‍ර පිටකයේ කුමන තැනකින් ද?

ඒ බෞද්ධයා ම දේවාලයට ගොඩ වැදී දෙවියන්ගේ පිහිට ඉල්ලන විට ඔහු ඉවත දමන්නේ දෙවියන්ට කළ හැකි බක්කක් නැතැයි කී බෞද්ධ ඉගැන්වීම ය. ඔහුම ඒ දේවාලයේ තම හතුරා හැඳි ගෑවී යන්නට යැයි කියමින් මිරිස් අඹරන විට ඇඹරෙන්නේ මෛත්‍රීය දෙසූ බුදුන්ගේ දහම ය. එසේ අනුන්ට මිරිස් අඹරන මිනිසුන් බෞද්ධයින් ද?

පහුගිය දවසක කාටත් දැක ගන්නට ප්‍රදර්ශනය කළ පරිද්දෙන් අපවත් වී වදාළ හිමි නමකගේ දේහය ආදාහනය කිරීම පවා භාවිතා කර අන්‍ය ආගමිකයන්ට රිදවිය හැකි තරමට අප බෞද්ධාගමික ය.

ඒ බෞද්ධයා සෙසු ආගමිකයන් කෙරෙහි සෙසු ජාතිකයන් කෙරෙහි වෛරය පතුරවන විට, ඔවුන් සමග සමගියෙන් සාමාදානයෙන් ජීවත් වීම ප්‍රතික්ෂේප කරන විට, ඇහැට ඇහැක් ඉල්ලන විට, පෙන්නන්නේ තමන් බෞද්ධ වන්නේ නමට පමණක් බව ය. ලෝකෙට පරකාසෙට බව ය.

සිල් ඇත්තෝ

එසේ නම් බුද්ධාගමේ යැයි කිව හැක්කේ කාට ද? ඇතැම් විට ඒ සිල් සමාදන් වූ අයට විය හැකි ය. සිල් සමාදන් වීම ගැන හොඳම උපදේශය අප ලැබූයේ අබරංගේ හාමිනේ ගෙන් ය. ඒ උන්දෑ කියන විදිහට කළ යුත්තේ පන්සල් ගොස් හාමුදුරුවන් කියන්නේ යමක් ද එයම කීම ය. අප අතර සිල් ගන්නා බොහෝ දෙනෙකු පිළිපදින්නේ බුද්ධ ධර්මය නොවේ. අබරංගේ හාමිනේගේ උපදෙස් ය. ඒ නිසා ඒ අය ද බුද්ධාගමේ යැයි හරි හැටි කිව නොහැකි ය.

එසේ සිල් ගත් සිල් ඇත්තන් දානය ලබා ගැනීම උදෙසා නොඉවසිල්ලෙන් පෝලිම පනින විට ද හේත්තු වීම සඳහා බිත්තියක් අල්ලා ගන්නට අනෙකා පරදා හැල්මේ දුවන විට ද ඔවුන්ගේ සිල් බේරෙන්නේ ඇඳ සිටින සිල් රෙද්ද දිගේ ය.

මේ විදිහට අයින් කර ගෙන යන විට සියයට හැත්තෑව සියයට එකකට පල්ලම් බසිනු ඇත. ඒ සියයට එක වන්නේ කවුරුන්ද භාවනාවට යොමු වන අය ය. එහෙම අය ද දැන් වැහි වැහැලා ය. භාවනා පන්ති දැන් ටියුෂන් පන්ති ගණනට ය. ඒවා සමහරකින් සෝවාන් සහතිකයක් ද ඉල්ලා ගත හැකි ය. ඒ නැතත් අඩ ගසා සෝවාන් පදවි පිරිනමන භාවනා පන්ති ගැන මම අසා ඇත්තෙමි. බුදු බව ලබා ගැනීම සඳහා දේපළ විකුණා බුදුමග පන්තිවලට මුදල් බඳින අය ද මේ අතර සිටින්නෝ ය.

එහෙම භාවනා පන්ති යන අය විසින් ම මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩලීමට එල්ලුම් ගස ඉල්ලා සිටින විට ඒ භාවනා පන්ති ගැන ද කිව හැක්කේ අනේ අපොයි කියා ය. බැස ගත හැකි නිගමනය වන්නේ ඒවායේ කුමන භාවනා ඉගැන්නුවත් මෛත්‍රී භාවනාව නම් උගන්නන්නේ නැති බව ය. මෛත්‍රිය නොවඩා බුද්ධාගමේ ඉන්නට අප දන්නා පරිදි නම් හැකියාවක් නැත. ඒ ඉස්සර ය. දැන් වෛරී භාවනාව වඩමින් අබ සරණ පතමින් බුද්ධාගමේ සිටිය හැකි ය. ත්‍රිපිටකය උඩ දමමින් එල්ලුම් ගස් සරණං ගච්චාමී යැයි කියන්නට ද හැකි ය. ඒ ගෞතම බුදුන්ගේ බුද්ධාගමේ නොවේ ය. අප මේ හොයන්නේ ගෞතම බුදුන් අදහන අය ය. ඊට අයිතිවාසිකම් කියන අය බොහෝ වෙතත් බිය සැක නැතිව ඍජුව එලෙස කිව හැක්කේ කීයෙන් කී දෙනාට ද?

කුල භේදය

සමහර විට පන්සල් ඇසුරෙන් එවන් බෞද්ධයන් අපට සොයාගත හැකි ය. මා පන්සල් යැයි කීවේ හාමුදුරුවන් වැඩ වසන්නේ යන අර්ථයෙනි. ඒ කියන්නේ අප සැබෑ බෞද්ධයන් සෙවිය යුත්තේ ශ්‍රමණයින් අතර බව ය. භික්ෂු සංඝයා අතර බව ය. පිරිවෙන් හි අධ්‍යාපනය ලබන ත්‍රිපිටකය කියවා ඇති බෞද්ධ විශ්වවිද්‍යාල ඇසුරු කර ඇති ධර්ම ධර භික්ෂුන් අතර ය.

අවාසනාවකට බණ අහන විට නම් බණ කියන ස්වාමීන්වහන්සේලා දන්නා පිටකයක් නැතැයි සිතෙන්නේ ය. ඔවුන් බණ කියන්නේ ත්‍රිපිටකයෙන් උපුටා ගෙන නම් නොවේ. ඇතැම් විට ජාතක පොත් වහන්සේලා ගෙන් ය. සමහර තැනක මහා වංශය උපුටාගෙන ය. නැතිනම් තමන්ගේ ඔළුවෙ තිබෙන වෙනත් දර්ශනයක් උපුටාගෙන ය. බුදු සරණ, තිසරණ සරණ, වෙනුවට කොහේවත් නැති අබ සරණක් අසන්නට ලැබෙන්නේ ඒ නිසා ය.

විසාකාව මෙන් සන්සුන් ගමනින් යන්නට කාන්තාවන් බණ කියන අල්ල පනල්ලේ ඔවුන් දුවන්නේ සිවුර උස්සාගෙන ය. ඒ චණ්ඩිකම් පාන්නට ය. අඩව් අල්ලන්නට ය. වාචික සංයමය ඇති ධර්ම දෙසිය යුතු ව ඇති සමහර උන්නාන්සේලා ගිරිය පුප්පාගෙන භාවිතා කරන්නේ අප පවා භාවිතා කිරීමට නොහිතන අකමැති හිරිකත පරුෂ වචනය ය.

උපතින් කෙනකු වසලයෙකු වන්නේ නැත. වසලයෙකු වන්නේ ඔහු කරන ක්‍රියාවලින් පමණකි. ඒ බුදු දහම ය. එය ත්‍රිපිටකය තුළ හිර කරන අපේ කාලයේ භික්ෂූන් වහන්සේලා ඔළුව උඩ තියාගෙන ඉන්නේ වැඩවසම් යුගයේ කුල බේදය ය. ක්‍රියාව පරයා ජන්මය ඉහළට අරගනිමින් ය. එය ශාසනය තුළ වෙන කොතැනකටත් වඩා සක්‍රීය ය. එය කොතෙක් ද යත් ඇතැම් ආගමික ස්ථාන ඇතැම් නිකායික භික්ෂූන්ට තහනම් ය. ඇතැම් තැනක ඔවුන්ට ඉඩ විවෘත කරන්නේ වුව ද ආසන පනවන්නේ කුල භේදය ප්‍රකාශයට පත්වන ආකාරයට උස හා මිටි ලෙස ය. නිකායවල පදනම ම කුල භේදය ය. බුදුන් අනුමත නොකළ දෑ එසේ කර උඩ තබා ගෙන ඉන්නා ඒ ස්වාමීන් වහන්සේලා, කකුළුවා උගේ දරුවන්ට දුන් අවවාදය පරිද්දෙන්, අපට කියන්නේ බුදුන් දෙසූ මග යන ලෙස ය.

බුදුන් දෙසුවේ උස් ආසන මහ ආසනවල අසුන් නොගන්නා ලෙස ය. එය අටසිල් පදයක් වුනාට අෂ්ඨ සීලය හාමුදුරුවන්ගේ සිල්වලට ද අයිති ය. කියන කොට එහෙම වුනාට කරන කොට උස් ආසන හා මහා ආසන ම වුවමනා ය. නැත්නම් දායකයන් ඉඳලා හමාර ය.

බුදුන් බණ කිවේ පිහිට පතාගෙන පැමිණි අයට ය. දැන් බණ කියන්නේ අහක බලාගෙන වෙන වැඩ කරන මිනිසුන්ට ඒවා නවත්වා බලහත්කාරයෙන් ය. හැකි නම් කණ ඇතුළට ස්පීකරයක් දමා කන පතුලට ම වදින ලෙස ය.

බුදුන් කාලාමයන් අමතා කීවේ ශාස්තෘන් වහන්සේ කෙනකු කී පමණින් පිළිනොගන්නා ලෙස ය. තමන්ගේ බුද්ධියට ගෝචර වන්නේ නම් පමණක් පිළිගන්නා ලෙස ය. ඒ ගැන වගේ වගක් නැති අපේ යුගයේ ස්වාමීන් වහන්සේලා කියන්නේ චීවරධාරීන් කියන පරිද්දෙන් රට පාලනය කළ යුතු බව ය. සංඝයා වහන්සේගේ උපදෙස් පාලකයන් විසින් පිළිපැදිය යුතු බව ය.

ආරණ්‍ය භික්ෂුව

අසපු ඊට එහා ය. ඒවා තුළ සාකච්ඡා වන්නේ ධර්මය නොවේ. පැලෝපිය නාලය ගැන ය. එහි දිග පළල ගැන ය. ක්‍රියාකාරිත්වය ගැන ය. එය හිටිහැටියේ අක්‍රීය කිරීම ගැන ය.

උපත දුකට හේතුවන බව බුදු දහමේ සඳහන් වුව ද උපාසිකාවන්ට අණ ලැබෙන්නේ වැඩි වැඩියෙන් දරුවන් වදන්නට ය. ඒ තමන්ට අවශ්‍ය දරුවන්ට අමතරව ශාසනයට එකකුත් හමුදාවට එකකුත් හැටියට අර්ථ ගැන්වුනේ ඉස්සර කාලයේ ය. දැන් වැදිය යුත්තේ සෙසු ජාතීන් සමග ඉලක්කම්වලින් තරග වැදීම සඳහා ය. ඔවුන් ගණනින් අප පසු කර යනු ඇතැයි යන කාරණය සිහියේ තබා ගෙන ය.

සිදුහත් කුමරු රට පාලනය කිරීම අත හැර ජන මනස සුවපත් කරනු උදෙසා උන් දුකින් මුදනු උදෙසා පිටත් වුණු බව අමතක කළ අපේ අසපු උන්නාන්සේලා ධර්ම දේශනා කිරීම අතපසු කරමින් පාලකයන් වන්නට සපථ කොට පාර්ලිමේන්තු ගත වූහ. ඔවුන් දැන් ඇමතිවරු අස් කිරීමට ද ආණ්ඩු පලවා හැරීමට ද ආණ්ඩු පිහිටුවීමට ද රජවරුන්ට ඔටුනු පැලැන්දීමට ද ලක ලෑස්ති වී සිටිති.

අසපු පන්සල් වගේ නොවේ ය. ඒවාට ආවාට ගියාට ඇතුළු වන්නට බැරි ය. ආරක්ෂක විධි විධානවලට යටත් විය යුතු ය. කිරිපල්ල අතගා බලද්දී ඉවසීමෙන් සිටිය යුතු ය. ඒ ඒවායේ අපේ ගෙවල් දොරවල්වලට ද වඩා වැඩියෙන්, ඒ කියන්නේ යහමින්, සම්පත් තිබෙන නිසා ය. ධර්මයේ සරණින් පමණක් එවන් වස්තු සම්භාරයක් රැක ගත නොහෙන නිසා නොවේ. ඒ අසපු තුළ රැකවරණය ලැබිය හැකි තරමට ධර්මයක් නැති නිසා ය.

එහෙම බැලුවහම ඉතිරි වන්නේ වනගත ආරණ්‍යවල වෙසෙන සංඝයා වහන්සේලා ය. සියල්ලෙන් අබිනික්මන් කළ සුපේක්ෂ ශීලී සංඝයා වහන්සේලා ය.

උන්වහන්සේලා කැලේ සිටියාට අපේ බැතිමතුන් උන් වහන්සේලාට ඒ කැලෑ තුළ තිබෙන කුටිවලට ලයිට් වතුර සහ වායු සමීකරණ ලබා දී සැප පහසු ගෙවල් ඇතුළත් ටවුමක් හදා දී තිබෙන්නේ ය. ඒවා මැදිහත් සිතින් ඉවසන විට උන් වහන්සේලාත් අවසානයේ නතර වනු ඇත්තේ කොහේදැයි අපට කියන්නට බැරි ය. එහෙම කියන්නට තරම් දේවල් උන්නාන්සේලා කැලේට ම වෙලා ඉන්නා නිසා අප දන්නේ ද නැත. එහෙත් ඒ අතරින් ඇතැම් උන්වහන්සේලාගේ වැඩ පිළිවෙළ ඇල්ලුවේ නැති තරුණ තරුණියන් විසින් කැරලි කාල වකවානුවල එහෙම උන්නාන්සේලා පරලෝ සැපත් කළ බව අසන්නට ලැබෙන විට උන්වහන්සේලා ගැන වුව හරි හමන් සහතිකයක් දෙන්නට අපට බැරි ය.

පසු ගිය දවසක සති අන්ත පුවත් පතක පළ වී තිබුණේ එක් ආරණ්‍ය සේනාසනයක් ආශ්‍රිතව විදුලි බලයෙන් වැඩ කරන කියත් තිබෙන බව ය. කැලෑ කපමින් වඩු මඩුවක් පවත්වා ගෙන යන බව ය.

නොදැක හිටි තරමට සමහර ඒවා හොඳ ය. චිත්‍රයක් වුව ද ලස්සන ඈතට ය. ළං වන විට අඩු පාඩු පෙනෙන්න ගන්නේ ය. ආරණ්‍ය වාසය ද එසේ වන්නට පිළිවන.

බොදු මග යන අය

එසේ වුව ද සැකයේ වාසිය උන්වහන්සේලාට දුන්න ද උන්නාන්සේලා අපේ ජීවිතයෙන් ඈත ය. උන්වහන්සේලා බුද්ධාගමේ වුව ද නැත ද අපට එයින් කිසිවක් සිදු වන්නේ නැත. උන්වහන්සේලා සමග අපට ඇත්තේ දාන මානවලින් සංග්‍රහ කොට පින් ලබා ගැනීමේ කටයුත්ත විතරය. ඒ නිසා අපට අවසානයට බැස ගත හැකි වන්නේ කැලෑවක මිසක මිනිස් වාසයක නම් බෞද්ධයන් සොයා ගැනීම පහසු නොවන බව ය.

මෙය අවසන් කරන්නට අප හිතුවේ ස්වාධීන රූපවාහිනියේ අටපට්ටම ඉදිරිපත් කරන හසන්ත කියන වදනකින් ය. සැබෑ බෞද්ධයකු හමුවුණොත් අටපට්ටමට දන්වන්න, හොඳේ කියා ය. එහෙත් එහෙම ම කියන්නට අපට බැරි ය.

සැබෑ බෞද්ධයින් නැතැයි කියන්නට අපට බැරි ය. එසේ වුව ද ඔවුන් ඇත්තේ අප ඔවුන් සොයන තැන්වල නොවන්නට ඉඩ තිබෙන්නේ ය. අප හොයන ඇත්තන් අතර නොවන්නට ඉඩ තිබෙන්නේ ය.

දෙවියන් වැඩ හිඳින්නේ දේවාලවල නොවේ. කුඹුර කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ ය. බෞද්ධයන් ඉන්නේ ද පන්සල් දේවාල අසපු ආරණ්‍ය ආශ්‍රිතව නොවන්නට ඒ නිසා ම ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන් ඇත්තේ සාමාන්‍ය මහජනයා අතර ය. අනේක දුක් කරදර දරා සිටින කඨෝර දිවි මග තුළ ය.

ඔවුන් බොහෝ බෞද්ධයන් මෙන් පිරිත් නූල් දුසිම් භාගයකින් සන්නද්ධ වී නොසිටින්නට පුළුවන. කිසිදා සිල් රෙද්දක් අල්ලාවත් නැති වෙන්නට පුළුවන. පන්සලකට වැස්සකටවත් ගොඩ වැදිලා නැති වෙන්නට පුළුවන. ඒ සියල්ල පසෙක තිබිය දී ඔවුන් බුදුන් ගිය මග යන්නට උත්සහ කරමින් ඉන්නවා වෙන්නට ද පුළුවන. බුදුන් මෙන් ම අංගුලිමාලලාට අනුකම්පාවෙන් දයාවෙන් කටයුතු කරනවා වෙන්නට පුළුවන. සියලු සත්ත්වයන්ට මෛත්‍රිය වඩනවා වෙන්නට පුළුවන. වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද දයාව දක්වනවා වෙන්නට පුළුවන.

ඔවුන් සොයා ගන්නට බැරි ඔවුන් හැම තැන ම තමන් බෞද්ධයින් බව කිය කිය නොයන නිසා ය. කොඩිසේසත් නොදරන නිසා ය. ගාථා නොමතුරන නිසා ය. ආගම වෙනුවෙන් මැරෙන්නට වුව සූදානම් යැයි නොකියන නිසා ය. කයිවාරුවෙන් නොව කෙරුවාවෙන් ඔවුන් ආගමික ය.

අපට බුද්ධාගමේ කතාව ම වෙනත් ආගම්වලට ද තරමක වෙනස්කම් සහිතව යෙදිය හැකි ය. ඒ ගැන කියන්නට දන්නේ ජන්මයෙන් වෙනත් ආගමකට බැඳී තිබෙන එහෙත් ස්වාධීනව මැදිහත් සිතින් ඒ ආගමේ ක්‍රියාකාරිත්වය විමසන්නට සූදානම් අයට ය.

සෑම ආගමිකයකුම ඊට සූදානම් වන්නේ නම් මේ ලෝකය මීට වඩා ලස්සන තැනක් වනු නොඅනුමාන ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *