ජෝන් සෙනවිරත්නට පොහොට්ටුවෙන් “හූ” සංග්‍රහයක්

පසුගියදා ඇහැළියගොඩදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිය ඇමතීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 

රැළිය ඇමතීම සඳහා ජෝන් සෙනවිරත්න මහතා වේදිකාවට ගොඩ වූ සැණින් “හූ” කීම ඇරඹුණු අතර ඒ මහතා සිය කතාව ආරම්භ නොකර හූව නවතින තුරු බලා සිටියත් එය නතර වන පාටක් නොපෙනුණු හෙයින් හූ කීම මැදම ඔහු සිය කතාව ආරම්භ කළේය. 

මේ අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වාසුදේව නානායක්කාර මහතා මැදිහත් වෙමින් පාක්ෂිකයින් සන්සුන් කිරීමට උත්සාහයක් දැරුව ද එය සාර්ථක වූයේ නැත. 

එහෙයින් කතාව නවත්වා හූ හඬ මැදම වේදිකාවෙන් බැස යාමට අවසානයේ ජෝන් සෙනවිරත්න මහතාට සිදුවිය. 

අනුරාධපුරයේ පැවති පොහොට්ටුවේ මංගල ජනරැළිය ඇමතූ ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට ද පොහොට්ටු සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන ආකාරය මීට පෙර දැකගත හැකි විය. 

ඒ අනුව ශ්‍රීලනිපය පොහොට්ටුව හා සන්ධානගත වුවත් ඉදිරි මහමැතිවරණයකදී එම ලැයිස්තුවෙන් තරගවදින්නේ නම් ඔවුන්ට මනාප නොදී පරාජය කරවීමට පොහොට්ටු සාමාජිකයින් අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇති බවට පෙරනිමිති දැන්ම පෙන්නුම් කර තිබෙන බව පෙනේ. මෙය මහින්ද පිල සමඟ එක්ව තරග කළ 2015 මහමැතිවරණයේදී ද සිදුවූ අතර එස්.බී., ඩිලාන්, විජිත් විජයමුණි, ශාන්ත බණ්ඩාර ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගණනාවකට ඡන්දයෙන් පැරදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට සිදුවිය. 

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *