ඇල්පිටිය ප්‍රතිඵලයෙන් උගතයුතු පාඩම් – සී ජේ අමරතුංග

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය මගින් ප්‍රකාශ වන්නේ කුමක්ද? යන්න දේශපාලඥයන්ට නොතේරෙන්නට හේතුවක් නැත. එසේ වුවද ඔවුන් එය අර්ථ දක්වන්නේ තම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට වාසිදායක වන අන්දමටය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මෙය තමන් ලද විශිෂ්ට ජයග්‍රහණයක් බවයි. ඔවුන් කියන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ද මේ සමානවම වනු ඇති බවයි. එසේ කියන්නේ තමන්ගේ පාක්ෂිකයා දිරිමත් කරන්නටය. ඒ සඳහා තමන් ලැබු සියයට 56ක ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියයට 12ද එකතුකොට සියයට 69ක් ලෙස ප්‍රකාශ කරයි.

මැතිවරණයට පෙර පොදුජන පෙරමුණ කීවේ මෙම ඡන්දයෙන් තමන් සියයට 70කින් දිනන බවයි. එය 56ට බැස ඇතත් ඔවුන් ඒ ගැන කතා කරන්නේ නැත. ඔවුන් කරන්නේ ශ්‍රී ලං.නි.ප. ඡන්ද ගොඩද එහෙමපිටින් තමන්ගේ මල්ලට දමා ගැනීමය. එසේ කිරීමට ඔවුන්ට හේතුවක් ද ඇත. ඒ ශ්‍රී ලං.නි.ප.ය පක්ෂයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ප්‍රකාශකොට තීබීමයි. එසේ වුවද එම ඡන්ද ගොඩ සම්පූර්ණයෙන් ගෝඨාට ලැබෙනු ඇතැයි සිතීම අතිශයෝක්තියකි. ශ්‍රී ලං.නි.ප.යේ මැද පෙළ හා පහළ මට්ටමේ පිරිසක් පොහොට්ටුව හා සම්බන්ධවීමට විරුද්ධ බව මේ වන විටත් පැහැදිලිය. එබැවින් එම කරුණද සැලකිල්ලට ගෙන ඇත්ත ගණන් බැලීම කළ යුතුව ඇත. රටට මොනවා කීවත් පොහොට්ටුවේ නායකයින්ට මේ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය.

අනෙක් අතට එ.ජා.ප.ය කියන්නේ ඇල්පිටිය කොහොමත් තම පක්ෂයට අවාසිදායක ස්ථානයක් බවයි. එහි ප්‍රතිඵලයෙන් රටේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මැනිය නොහැකි යන්න ඔවුන්ගේ තර්කයයි. 2015 අගෝස්තුවේ එ.ජා.ප.ය රටම දිනද්දීත් ඇල්පිටියේ ගත්තේ සියයට 31කි. කෙසේ වෙතත් එම සියයට 31ක ඡන්ද පදනම මෙවර සියයට 24 දක්වා පහත වැටී ඇති බව අමතක නොකළ යුතුය.

ඇල්පිටිය ඡන්දය කට ළඟට එනතෙක් එක්සත් ජාතික පක්ෂ තම ජනාධිපති අපේක්ෂකයා තෝරන්නට එකිනෙකා හා හැප්පෙමින් සිටීමත්, ඉන් පසුව ගෝල් ෆේස් පිරවීමේ අභියෝගය ගැන සිතීමත් නිසා ඇල්පිටිය ඡන්දයට එම පක්ෂයෙන් විශාල බරක් නොයෙදුවා වන්නටද ඉඩ ඇත. එමෙන්ම කොහොමත් පරදින බව දන්න නිසා පරාජයේ වගකීමට කරගහන්න සිදුවන නිසා සමහර නායකයන් උපක්‍රමශීලීව කරඇර සිටි බවක් ද සිතිය හැකිය.  

අනෙක් අතට අන්තර්ජාලයේ කතාබහට ලක්ව ඇත්තේ ප්‍රදේශයේ එජාප බලවතා වන ගයන්ත කරුණාතිලක ඇමතිවරයා ඇල්පිටියේ ප්‍රශ්න ගැන ප්‍රමාණවත් ලෙස සොයා බලා නැති බවයි. ඔහුට කියන්න තිබෙන නිදහසට කරුණ නම් වැඩ කරන්න පුළුවන් ඇමතිකමක් නොලැබීමයි. එසේ වුවද පාක්ෂිකයාට එය පිළිගතහැකි පිළිතුරක් වන්නේ නැත. ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනේන්නේ එක්කෝ ආණ්ඩුව  නැතහොත් ඇමතිවරයා අප්‍රසාදයට ලක්ව ඇති බවයි. ඇතැම් විට ආණ්ඩුව මෙන්ම ඇමැතිවරයා ද අප්‍රසාදයට ලක්ව සිටිය හැකිය.

මැතිවරණයට ආසන්න දිනවල සමාජ මාධ්‍ය වාර්තා කළේ ඇල්පිටියේ එ.ජා.ප රැස්වීම්වලට සෙනග නොමැති බවයි. එ.ජා.ප. ගාලු මුවදොර පිටිය උතුරන්න සෙනඟ ගෙන්වද්දී හා  ඊට පෙර සජිත්ගේ බදුල්ලේ, කුරුණෑගල හා මතුගම රැලිවලට විශාල සෙනගක් සම්බන්ධ වෙද්දී ඇල්පිටියේ රැස්වීම්වල මැස්සන් ඇහිරුණේ ඇයි යන්න ප්‍රශ්නයකි. එයින්ද යමක් ප්‍රකාශවන බව තේරුම් ගත යුතුව ඇත. ­

කෙසේ වෙතත් එ.ජා.ප.ය සිත සනසාගන්නට කරුණු සෙවීමෙන් වැළකී සිටීම වඩා යහපත්ය සිතිය යුත්තේ තම ඡන්ද ප්‍රතිශතය අඩුවීම ගැනය. කොතෙක් දේ කළත් එය වැඩිකරගැනීමට අපොහොසත් වීම ගැනය.

මෙහිදී අපට පෙනීයන ප්‍රධාන කාරණයක් වන්නේ එ.ජා.ප.යට තමන් කළ දේ මහජනයාට ඒත්තු ගන්වන්නට හැකි වී නැති බවයි. තමන්ම විකුණන්නට මොවුහු නොදනිති. මාකට් කරන්න දන්නේ නැත.

යහපාලන බලාපොරොත්තු මේ ආණ්ඩුවෙන් ඉටු නොවු බව බොහෝ දෙනා කියති. එසේ වුව ද ඒ සඳහා කළ දේ බොහෝය. දහනව වන සංශෝධනයෙන් ජනාධිපති බලය සීමා කොට ඇත. ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මකය. පොලීසිය, අධිකරණය ස්වාධීන කොට ඇත. රාජ්‍ය සේවයේ තත්ත්වය ද එසේමය. මැතිවරණ කොමිසම ඍජු තීරණ ගෙන ක්‍රියා කරයි. එහි සභාපතිට ආතතිය හැදෙන වැඩ සිද්ධ වන්නේ නැත. මෙම ජයග්‍රහණ ගැන ජනතාවට ප්‍රමාණවත් වැටහීමක් නැත. මේවා අති විශාල ජයග්‍රහණයන්ය. ඒවායේ වටිනාකම දැනෙන්නේ ඒවා නැති කාලයේ සිදුවීම් මතක නම් ය. නමුත් ජනතාවට ඒ ගැන වගේ වගක් නැති නිසාය.

ජනතාව මත ක්‍රියාත්මක වූ භීෂණය දැන් නැත. සුදු වෑන් සංස්කෘතිය අවසන්ය. සියලු දෙනාට බිය සැක නැතිව කතා කළ හැකිය. විරෝධතා දැක්විය හැකිය. බියෙන් තොර රටක් මේ වනවිට නිර්මාණය කොට අවසන්ය. එහි ප්‍රතිඵලය ලබන්නෝ පවා ඒ ගැන නොදනිති. කියන්නේ යහපාලන බලාපොරොත්තු ඉටු නොවු බවකි.

හොරු ඇල්ලුවේ නැතැයි තවත් කතාවකි. දේශපාලන බලය යොදා හොරු ඇල්ලුවේ නැති බව ඇත්තකි. එසේ වුවද නිතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඒ වැඩේ භාරදී ඇත. බොහෝ දේ සොයාගෙන ඇත. පොහොට්ටුවේ නායකයන් බොහෝදෙනා ඉන්නේ ඇප පිටය. නඩු කල්දමා ගත්තේ අන් කිසිවකු නොව ජනාධිපති අපේක්ෂකයාය. තවත් අය විදේශ ගතව සැගවී සිටිති.

ඇතැම් විට ප්‍රශ්නය තිබෙන්නේ අපේ අධිකරණ ක්‍රියාවලියේය. මිනීමරුමක සාක්ෂි විභාගකොට තීන්දු දෙන්න වසර විස්ස විසිපහ යන අවස්ථා ඇත. එසේ තිබියදී සංකීර්ණ නඩු වසර දෙක තුනකින් විමසා හොරු හිරේ දමනු ඇතැයි සිතිය නොහැකිය. ප්‍රශ්නය තිබෙන්නේ මේ කරුණු ජනතාවට පැහැදිලි කොට නොදීමය. එයට ආණ්ඩුව අපොහොසත් වීමය.

අපේ අධිකරණ ක්‍රියාවලිය හිරවෙන තැන්ද නැතිවා නොවේ. ගල්කිස්සේ මාලිගා පිළිබඳ නඩුව හිරවී ඇත්තේ ඩේසි ආච්චිගේ මැණිල් මල්ලේය. මල්වානේ මහා මන්දිරය කාගේ දැයි මුළුරටම දනිති. එහෙත් උසාවිය එය දන්නේ නැත. උසාවියට එය හිමි කරුවකු නොමැති දේපළකි. එසේ වුවද යහපාලන දේශපාලඥයන්ට මැදිහත් වී මෙබඳු ප්‍රශ්න විසඳිය නොහැකිය. එසේ කිරීමට යාමද වරදකි. මේ කරණා මහජනයා දැනගත යුත්තේය.

තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මානව හිමිකමක් ලෙස පිළිගැනීමට මෙන්ම තොරතුරු දැනගැනීමේ පනත සම්මත කොට ක්‍රියාත්මක කිරීමද දෑවැන්ත ජයග්‍රහණයන්ය. එමගින් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට ශක්තිමත් පදනමක් නිර්මාණය වෙයි. මෙතරම් වටිනා නීතියක් සම්මත කොට ක්‍රියාවට නගා ඇති බව මහජනයා දන්නේ නැත.

විපක්ෂය කියන්නේ ආණ්ඩුව දූෂිත බවයි. තමන්ගේ දූෂණ සියල්ල යටපත් කරන්නට හදන්නේ ආණ්ඩුව දූෂිත බව කියමිනි. එය බොහෝ දුරට ජනතාවට ඒත්තු ගන්වා ඇත. විශේෂයෙන්ම මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ඔවුහු කතා කරති. ඔවුන් කියන්නේ මහබැංකුව කැඩුවා කියාය. එක්සත් ජාතික පක්ෂයට මේ චෝදනාවෙන් ගැළවෙන්නට හොඳටම කරුණු ඇතත් ඒවා කියාගන්නට දන්නේ නැත.

බැඳුම්කර ගැන සෙවු ජනාධිපති කොමිසම කීවේ මෙයට එ.ජා.ප.යේ හෝ එහි නායකයන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. වාර්තාවේ 30 වැනි පරිච්ඡේදය සම්පූර්ණයෙන් තිබෙන්නේ ඒ ගැනයි. එසේ තිබියදී තවමත් රටේ මහජනයා අතර තිබෙන්නේ මෙය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා අර්ජූන මහේන්ද්‍රන් මහතා එක්ව කළ සොරකමක් ලෙසටය. ඒ විපක්ෂය ගෙනගිය මතයයි. ජනාධිපති කොමිසමෙන් දී ඇති තීන්දුව මහජනයාට ඒත්තු ගන්වන්නට එ.ජා.ප.යට නොහැකි වී ඇත.

අනෙක් අතට ජනාධිපති කොමිසම කීවේ වැඩිම බැඳුම්කර වංචා සිදුව ඇත්තේ එ.ජා.ප. රජයට පෙර කාලයේ බවයි. එනම් මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය. එකල සිදුවී ඇති සොරකම් බිලියන දහස් ගණනකි. එසේ කළ හොරුන් දැන් පැමිණිලිකරුවන් වී චෝදනා නගන්නේ කොමිසමෙන් නිදොස් බව කියු තැනැත්තන්ටය. එ.ජා.ප.ය තම ප්‍රචාරයෙන් කොතරම් දුර්වලද යන්න පෙන්නුම් කරන්නේ මෙබඳු සිදුවීම් තුළිනි.

ආණ්ඩුව දූෂිත යැයි කීමට විපක්ෂය ඇතැම්විට යොදා ගන්නේ රාජ්‍ය ව්‍යවසාය පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පරීක්ෂණයි. කෝප් කමිටුව රජයේ ආයතන ගෙන්වා ප්‍රශ්න කරමින් දූෂණ සෙවීමේ යෙදී සිටියි. එහි සභාපති ලෙස කටයුතු කරන්නේ විපක්ෂයේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිය. එම සභාපතිකම ඔහුට ලබාදුන්නේ අගමැති රනිල්ගේ එ.ජා.ප. ආණ්ඩුවයි. රනිල් අගමැතිවූ අවස්ථා දෙකේදී හැර අන් හැම විටකම පැවති ආණ්ඩු කළේ මෙම කමිටු සභාපතිකම ආණ්ඩුවේ ඇමැතිවරයකු අත තබා ගැනීමයි. මෙම කමිටු සභාපතිකම ජවිපෙට දුන්නේ දූෂණ හොයන්නට හා ඒවා පිටු දකින්නට බව අමුතුවෙන් කිව යුතු නැත. තමන්ගේ මේ යහපත් ක්‍රියාව අලෙවි කරගන්නට ආණ්ඩුව දන්නේ නැත.

මහජන සුබ සිද්ධිය සඳහා ආණ්ඩුවගත් පියවර බොහෝය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නම් බෙහෙත්වල මිල අඩුකිරීම, හෘද රෝගීන්ට ලක්ෂ ගණන් වටිනා ස්ටෙන්ත් නොමිලේ දීම, අක්ෂිකාච නොමිලේ දීම, පිළිකා රෝගීන්ගේ ඖෂධ සඳහා වියදම් සීමාව ඉවත්කිරීම ආදී පියවර රැසක් ගෙන ඇත.

ගංවතුර, නායයාම්, මුහුදේදී ධිවරයන් අනතුරට ලක්වීම් ආදිය මහජනයාට විපත් ගෙනදෙන අවස්ථාය. මේවාට ගොදුරු වන්නේ රටේ දුප්පත්ම පිරිස්ය. මුදල් ඇත්තන් සිටින්නේ වඩා ආරක්ෂිත ස්ථානවලය. රටේ සැම නිවසක්ම අසීමිත ලෙස රක්ෂණය කළේ මේ ආණ්ඩුවයි. ජීවිතයකට රක්ෂණය රුපියල් ලක්ෂ 10කි. ඒ කියන්නේ ස්වභාවික විපතකින් කිසිවකු මියගියහොත් යැපෙන්නන්ට ලැබෙන මුදල රුපියල් ලක්ෂ 10කි. එයින් ජීවිතයක් මිල කළ නොහැකි බව ඇත්තකි. එහෙත් යැපෙන්නන්ට මෙහෙම සහනයක් දුන්නේ මේ ආණ්ඩුවය.

රටේ සියලුම ශිෂ්‍යන්ටද සෞඛ්‍ය රක්ෂණයක් ලබා දී ඇත. තම දරුවන් විවිධ රෝගාබාදවලට ලක්වීමේදී වඩාත් අසරණ වන්නේ දුප්පත් මව්පියන්ය. ඔවුන්ට මෙයින් ලැබෙන ආධාරය සුළු පටු නැත.

මේවා ජනතාව දන්නේ නැත. ආණ්ඩුව මේ සියල්ල කළත් මහජනයා හිතන්නේ කිසිවක් නොකළ ආණ්ඩුවක් බවයි.

හිදිසි අනතුරකදී හෝ රෝගයකදී හෝ ගෙන්වා ගත හැකි නොමිලේ ගිලන්රථ සේවය ගැන තවමත් දන්නේ සීමිත පිරිසකි. එයම විශාල මහජන සුබසාධනයකි.

ආර්ථික පැත්තෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හා තවත් ණය ක්‍රම රාශියක් ක්‍රියාත්මක කොට ඇත. ඒවා ගැන රටේ ඇත්තේ අල්ප දැනීමකි.

මේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති බව විපක්ෂ කියති. එසේ වුවද රටට වාර්තාගත වැඩිම විදේශ ආයෝජන ලැබුණේ මෙම වසර දෙකේදීය. එමෙන්ම රටේ අපනයනයද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. මේවා රටක ආර්ථිකයේ ශක්තිය මනින හොඳම මිනුම්දඬුය.

මෙලෙස සටහන් කළේ ආණ්ඩුව කළ නමුත් ජනතාවට හරියට කියාගත නොහැකි වු වැඩ කිහිපයකි. ඇත්ත වශයෙන්ම කිවහොත් මහින්දගේ වසර දහයක වැඩ මෙන් කිහිප ගුණයක වැඩ මේ වසර හතරේ දී සිදුකොට හමාරය. ඒ අතර අධිවේගී මාර්ග, සැහැල්ලු දුම්රිය, දුමිරිය සේවය විදුලිමය කිරිම ආදී තවත් බොහෝ දේ ක්‍රියාත්මක වෙමින් පවතී. මේවා ජනතාවට අලෙවි කරන්නට නොහැකිවීම එක්සත් ජාතික පෙරමුණේත් දුර්වලතාවයකි. එය තවදුරටත් සමාව දිය නොහැකි වරදකි. වහාම නිවැරදි කරගත යුත්තකි.

දැන් එළඹ ඇත්තේ නපුර හා යහපත අතර තීරණාත්මක සටනක අවස්ථාවයි. එහිදී යහපත පරාජය වීමට ඉඩදිය නොහැකිය. ඒ නිසාම සියලු දුර්වලතා හඳුනාගෙන පිළියම් යෙදිය යුතුය. ඇල්පිටියේ පරාජය සුළුවෙන් තැකීම හෝ නොතකා හැරීම නොකළ යුත්තේ ඒ නිසාය.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *