පොහොර සහනාධාරයෙන් ගොවියා ගොඩ ගියේ නැහැ – ප‍්‍රගතිශීලී ගොවි සංවිධිනයේ කැඳවුම්කරු කවුඩුල්ලේ ජයතිස්ස

ගොවියා ඡුන්දය සඳහා බැඳතබාගන්නා මෙවලමක් වෙලා තියෙනව. එහෙත් මෙයින් ගොවියා ගොඩ ගියෙත් නෑ. ආන්ඩුවට වාස. ගොවි බිම සංරක්‍ෂණය වුනෙත් නැහැ. මේක අවිද්‍යාවක් බවට පත්වෙලා තියෙනව. – ප‍්‍රගතිශීලී ගොවි සංවිධිනයේ කැඳවුම්කරු  කවුඩුල්ලේ ජයතිස්ස

ඔබ නායකත්වය දෙන ප‍්‍රගතිශීලි ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධානය ගණනාවක්, අවුරුදු ගණනක් තිස්සේ ගොවියන්ට බලපාන ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කරනව, විරෝධතා දක්වනව, පෙළපාලි යනව. එහෙත් තවමත් ඔබලාගේ ප‍්‍රශ්න කිසිම ආණ්ඩුවකින් නිරාකරනය කර ගැනීමට අසමත්වෙලා තියෙනව. ඒ ඇයි?
ලංකාව කෘෂිකාර්මික රටක්. ප‍්‍රධාන ආහාරය බත්. පවුල් 18 ලක්‍ෂයක් වගා කරයුතුවල නිරත වෙනව. ඒ කියන්නේ 90 ලක්‍ෂයක් ගොවිතැන් කටයුතුවල නිරත වෙනව. ජනගහණයෙන් දෙකෙන් එකකට කිට්ටු සංඛ්‍යාවක්.  ලංකාවේ ජනගහනය දෙකෝටි විසිලක්‍ෂයෙන් වැඩි ප‍්‍රමාණයක් ගොවි ජනතාව. බැලූ බැල්මට හස්ති රාජයෙක් වගේ පෙනුනත්, අසංවිධානාත්මක තත්ත්වයන් තුළ ඒ ශක්තිය ගොනුවීමක් කර, බලපෑමක් කළ නොහැකි තත්ත්වයට ගොවි සංවිධාන පත්වී තියෙනව. වෙනත්  ඕනෑම ක්‍ෂේත‍්‍රයක කුඩා කණ්ඩායමකට වුවත් බලය පෙන්වා අයිතිවාසිකම් දිනාගැනීමේ හැකියාවක් තියනව. ඒත් ගොවියා එහෙම තත්ත්වයක් ගොඩනගාගැනීමට අපොහොසත් වී තියනව. එසේ සංවිධානය වීමට ඉඩක් දෙන්නෙත් නෑ. ඒ බාධක ජය ගැනීමට ගොවියා ඉඩක් සාදාගන්නෙත් නෑ. ගොවි ජනතාව කියන්නෙ අසංවිධානාත්මක කණ්ඩායමක්. 1943 බිහිවුන සමසංථ ලංකා ගොවි සංවිධානය තමයි ලංකාවේ පැරණිම ගොවි සංවිධානය ලෙස ගණන්ගැනෙන්නේ. එය 80 දශකය වෙනවිට ඒ ගොවි සංවිධානයට සිදුවූ මුහුණ දීමට නොහැකි ගැටළු සමග එම සංවිධානය අභාවයට යනව.  මමත් එහි ලේකම් වරයෙක් විදිහට ඉඳල තියනව.
ගොවියන්ට සංවිධානය වීමට බැරි ඇයි. ඔවුන් ප‍්‍රමාණාත්මකව විශාල පිරිසක්. ඒ වගේම ගැටළු රැුසකට නිරන්තරයෙන් මැදිවෙන පිරිසක්. ඔවුන්ට රජයට දැඩි තෙරපුමක් ඇති කිරීමේ කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාව තියනවනේද?
ගොවි සංවිධානවලට කැපවීමෙන් නායකත්වය දුන් ගොවි නායකයො මේ වන විට වායෝවෘද්ධයි. නැත්නම් ජීවිතයෙන් සමුඅරන් ගිහින්. අපි සමස්ත ලංකා ගොවි සංවිධානය අත්නොහැර ඉදිරියට ගෙනයාමට උත්සාහ කෙරුව. ජනතා විමුක්ති පෙරමුණ මෙහි නම ගොවි ජන සම්මේලනය කියා වෙනස් කරගනිමින් කටයුතු කරගෙන යනව. කොහොම නමුත් මේ පවතින දේශපාලන තත්ත්වයන් තුළ අපිට සංවිධානාත්මකව මුහුණ දීමට නොහැකි කමක් තියනව. අනිත් කරුණ තමයි ගොවියා ඉඩමකට බැඳිල ඉන්න තත්ත්වයක් තියනව. අනිත් වෘත්තීන් එහෙම නැහැ. කාර්යාල සේවකය, කම්කරුව, ලිපිකරුව, සංස්ථා සේවකය රජය සමග හෝ යම් ආයතනයක් සමග ඍජුව බද්ධ වෙනව. ඔහුට තියෙන්නේ වෘත්තීය බැඳීමක් විතරයි. ගොවියට එහෙම තත්ත්වයක් නැහැ. ඔවුන් යැපෙන්නේ, තමන්ගෙම භූමිය මත ගැටෙමින්, එයින් ලබන අස්වැන්නෙන් හා එය පවත්වාගෙන යාමට රජයකින් යමක් ලබාගන්නා තත්ත්වයකින්. රජය උත්සාහ කරන්නෙත් ගොවියා යැපුම් කෘෂිකාර්මික තත්ත්වයක තියන්නයිි. ගොවියාගේ ආර්ථික හා දැනුමේ මට්ටම පහළ තත්ත්වයක තියෙන නිසාත් මේ තත්ත්වය ඇති වෙලා තියෙනව. ඒ නිසා මෙම ප‍්‍රශ්නය හැමදාමත් ගැටළුවක් විදිහට පවතින බවයි මට කියන්න තියෙන්නෙ.
‘දැනුම’ කියා මෙහිදී ඔබ අදහස් කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුම්වත්කමක් නොමැති බවද? එසේත් නැත්නම් තමන්ගේ වෘත්තියවන කෘෂිකාර්මික කටයුතු පිළිබඳව ඇති දැනුම පිළිබඳවද?
මේ පැති දෙකම තියනව. පැරණි කෘෂිකර්ම රටාව තුළ ඉතාම පරිසර හිතකාමී, මෙන්ම නවීන තාක්‍ෂණයත් ඉක්මවූ පාරම්පරික දැනුම සම්භාරයක් තියනව. අනික් අතින් පැරණි කෘෂිකාර්මික ක‍්‍රම තුළ කෙම් ක‍්‍රම වැනි පැරණි ඵලදායි නොවන ක‍්‍රම තියනව. ඒ ක‍්‍රම ඉවත් කර නවීන විද්‍යාත්මකව ඵලදායිතවක් ඇති ක‍්‍රම භාවිතයට යායුතුව තියෙනව. විද්‍යාත්මක ක‍්‍රමයක කෘෂිකර්මාන්තය පිහිටුවාගැනීමෙන් තොරව ගොවියාට ඍජුව මේ අර්බුදයෙන් ජයගැනීමට හැකිවෙන්නේ නැහැ. ඒ වගේ නවීන තාක්‍ෂණයෙන් වෙන හානියත් ප‍්‍රතික්‍ෂේප කළයුතු වෙනව. පැරණි වී වර්ග වල ඇති සෞඛ්‍යාරක්‍ෂිත තත්ත්වය නවීන තාක්‍ෂණයෙන් අභිජනනය කරන වී වර්ග වලින් ජය ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනව.
අයිතිවාසිකම් අතින් ගොවියා තමා ගැනම තියෙන්නේ අව තක්සේරුවක්. ඒ නිසා තමයි ගොවියෙක් තමාගේ දරුවෙක් හැම විටම වෙනත් වෘත්තීයකට යැවීමට මහන්සිගන්නේ. ගොවියා හැමදාම එකම තැන සිටීමට මේ හේතුව බලපානව. ගොවිතැනත් සමග වෙනත් ව්‍යාපාරයක් කරන ගොවියන් හා වෙනත් රැුකියාවක් කරන ගමන් ගොවිතැන් කළ පිරිස් හැර පිරිසිදු ගොවියා එදා ඉඳන්ම එකම තැනක තමයි ජීවත්වෙන්නේ. පිටතින් බැලූවාම ඒ ජීවන රටාව සුන්දරව පෙනුනත් ඔවුන්ගේ ජීවිත දුක්ඛඃදායකයි. ගතානුගතිකයි.
පොහොර ප‍්‍රශ්නය ගොවියාගේ ප‍්‍රධාන ගැටළුවක් බවට පත්වෙලා තියෙනව නේද? හැම මැතිවරණයකදීම දේශපාලන පක්‍ෂක්‍ෂවල ප‍්‍රධාන පොරොන්දුවලට පොහොර සහනාධාරය ඇතුළත් වීමම මේ ප‍්‍රශ්නයේ තරම අනාවරණය වීමක් නේද?
ඔව්. මම පෙරදී කීවා වගේම, අපේ රටේ ඡුන්දදාකයකයන්ගෙ විශාලතම පිරිසක් නියෝජනය කරන කණ්ඩායම ගොවියා.  ඉතින් ඔවුන්ගේ ඡුන්දය මැතිවරණ තීන්දුවකදි ජය පැරදුම තීරණය කරන සුවිශේෂි සාධකයක්. ගොවියා ඡුන්දය සඳහා බැඳ තබාගන්නා මෙවලමක් වෙලා තියෙනව. එහෙත් මෙයින් ගොවියා ගොඩ ගියෙත් නෑ. ආන්ඩුවට වාසියක් වුණෙත් නෑ. ගොවි බිම සංරක්‍ෂණය වුනෙත් නැහැ. මේක අවිද්‍යාවක් බවට පත්වෙලා තියෙනව.
දැන් මින් එහා යන පරිසර හිතකාමී, සොභාදහම හා අනුගතවෙන කෘෂිකර්මාන්තයකට රට අවතීරණය වීමට අවශ්‍යවෙන තැනට පත්වී තියෙනව. එහෙත් පටු වාසි ගන්න පක්‍ෂ, දේශපාලන සංවිධාන, වෙනත් බලවේග නිසා මෙහි සැබෑ තත්ත්වය මතුකර ගැනීමට බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනව.
මේ පටු අවස්ථාවාදීත්වය පිටුදකිමින්, යථාර්ථවාදීව ප‍්‍රශ්නයට මුහුණ දෙන්න අවස්ථාවට ආන්ඩුව එළඹිලා තියෙනවනේද?
ආණ්ඩුව බයයි පොහොර ප‍්‍රශ්නයට අතතියන්න. එහෙම වුණොත් ඊළග පළාත් සභා, ප‍්‍රදේශීය සභා ඡුන්දවලට බලපෑමක් ඇති වෙනව. ගොවියා අනවබෝධයෙක් නටයුතු කරන නිසා පොහොර සහනාධාරය ලබාදීම අත්හිටවුවහොත් ඔහු වෙනත් තීරණයක් ගන්න ඉඩතියෙනව. ඒක නිසා පොහොර ප‍්‍රශ්නයේ යථාර්ථයට අතතියන්න ආණ්ඩුව බයයිි.
පොහොර නොමිලේ හෝ සහන මිලකට ලබා දෙනවා වෙනුවට ඒ වෙනුවෙන් නියම කරන ලද මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනව. මේ පිළිබඳ ඔබේ අදහස?
මම දකින්නේ ඒක ඉතාම හොඳ දෙයක් කියලයි. එවිට පොහොර අවශ්‍ය අයට අවශ්‍ය ප‍්‍රමාණයන්ගෙන් හා වර්ගයන්ගෙන් පොහොර ලබාගත හැකි වෙනව.
ඒ කියන්නේ ගොවියාට පොහොර ප‍්‍රශ්නය පිළිබඳ තෘප්තිමත් වියහැකි තින්දුවක් ලැබිල තියෙනව.
නැහැ. කොහොමත් නැහැ. ඒ ලැබෙන මුදල කොහොමත් ප‍්‍රමාණවත් මුදලක් නෙමේ. හෙක්ටයාර් එකකට රුපියල් 25.000/- ක මුදල් ප‍්‍රමාණයක් තමයි දෙන්න යෝජනා කරල තියෙන්නෙ. ඒ වර්ෂයකට  ලැබෙන මුදල් ප‍්‍රමාණයයි. කන්නයක් සඳහා නෙමෙයි. එතකොට කන්නයකට ලැබෙන්නෙ රු. 12.500/- ක මුදලක්. හෙක්ටයාර් එකකට, එනම් අක්කර 2 2/1 කට මේ මුදල කොහොමත් ප‍්‍රමාණවත් මුදලක් නෙමයි.
රජයට දැරිය හැකි උපරිම මුදල ප‍්‍රමාණය ඒ ගණන නිසා එම මුදල තීරණය කරන්න ඇති. එයින් සෑහීමකට පත්වෙන්න බැරිද?
පොහොර හොන්ඩරයක් සඳහා වාරායට ගොඩබාන විට රුපියල් 8.000/- ක මුදලක් රජය වියදම් වෙනව, ඉන්පසු ප‍්‍රවාහනය, සේවක කුලිය, නිලධාරි වැටුප් එකතුකළ විට ගොවියා ළ`ගට එනවිට පොහොර හොන්ඩරයකට රු.10.000/- කට වැඩිය වැය වෙනව. රජය මේ මුදල වැය කර තිබෙන්නේ බහුජාතික සමාගම්වලට හා අතරමැදි සමාගම් වලට. ගොවියන් සඳහා නෙමේ. අපි කියන්නේ ඒ සමාගම් වලට දුන්න මුදලින් භාගයක් අපිට දෙන්න කියලයි. හැමදාම නෙමේ කන්න 6 ක් යනකම්. ඒ කියනනෙ අවුරුදු 3 ක් යනකම්. එවිට අපිට අපේ පොළොව හදාගන්න පුළුවන්. ඊට පස්සෙ පුළුවන් රජයට එයින් නිදහස් වෙන්න.
ඔබලා බලාපොරොත්තු වෙන්නේ කොපමණ මුදලක්?
අපි ඉල්ලන්නේ හෙක්ට’යාර් එකකට රුපියල් 75.000/ක මුදලක්.
එම මුදල සාධාරණීකරණය කරන්නේ කොහොමද?
රජය රුපියල් 8000/- ක් පොහොර හොන්ඩරයකට වැය කරන විට ගොවියාගෙන් ගත්තේ රුපියල් 350/- ක් පමණයි. ඒ කියනනේ පොහොර හොන්ඩරයකට රු.7650/- ක් රජය වැයකරනව. රජයෙන් අක්කරයකට පොහොර කිලෝ 205 ක් රජයෙන් දීල තියෙනව. (හෙක්ට’යාර් එකකට කිලෝ (205 ං 2 2/1 = 512.2/1 .* 512 ක් පමණ. ඒ කියන්නෙ හොන්ඩර 9 ක් පමණ. මෙහි වටිනාකම ගත්තොත්, (8000 ං 9 = 72.000* රුපියල් 72.000/- යි. ඒ කන්නයක් සඳහායි. එතකොට වර්ෂයකට 1.44.000/යි. එයින් අපි ඉල්ලන්නේ භාගයකට ආසන්න මුදලක්. අපි ඉල්ලන්නේ අලූතෙන් වැයවන මුදලක් නෙමේ. මෙපමණ කාලයක් පොහොර ගෙන්වන සමාගම් 5 ක් සඳහා වැය කළ මුදලින් පංගුවක් තමයි අපි ඉල්ලන්නෙ. ඉතිරි පංගුව රජයට ඉතිරියක් වෙනව.
ගොවියාට මේ මුදල දුන්නත් ඔහු නිසි කළමණාකාරිත්වයකින් මේ මුදල ඒ කටයුත්ත සඳහාම පරිහරණය කරයිද? ගොවියා අස්වනු නෙලපු ගමන් තමන්ට ලැබෙන මුදල් කළමණාකාරීත්වයකින් තොරව වියදම් කරන ස්වභාවයක් තියනව නේද? මට මතකයි පොළොන්නරුවේ හිටපු මහ දිසාපති අමරදාස ගුණවර්ධන මහත්මයා මේ තත්ත්වයෙන් මුදවා ගොවියා ගැනීමට විශාල උත්සාහයක් දැරුවා.
ආණ්ඩුවෙ නිලධාරින් ගණනාවක් ඉන්නව. කෘෂිකර්මය හා බැඳුණු අමාත්‍යංශ ගණනාවක් තියනව. පළාත් සභාවෙත් අමාත්‍යංශ ගණනාවක් තියනව. ගොවි නියාමක, කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරීන්, ක්‍ෂේත‍්‍ර කළමණාකරුවන්, කෘෂි උපදේශකවරුන් වගේ තවත් නිලධාරීන් ගණනාවක් මේ ක්‍ෂේත‍්‍රය හා සම්බන්ධවෙලා ඉන්නව. ආණ්ඩුව මුදල් නිකුත් කිරීමේදී හා ගොවියා එය පරිහරණය කිරීම අධීක්‍ෂණයක් කෙරුවොත්, එම මුදල අපතේ යාමක්වත්, අනවශ්‍ය පරිහරණයක්වත් නොවෙන්න කටයුතු කරන්න පුළුවන්. කලක් යනකොට එය එච්චර ගැටළුවක් වෙයි කියල මම හිතන්නෙ නැහැ.
ඊට පසු ගොවියාගේ ඉල්ලීම් වලින් රජය නිදහස් වෙනවද?
පොහොර දීමනාවෙන් නිදහස් වුණත් ගොවියාගේ ජීවන තත්ත්වයත්, ගොවිතැනත් දියුණු කිරීම රජය සතු යුතුකමක් වෙනව. ඊට පසු ලබාදෙන මුදලකින් කිරිහරකෙක් දෙන්නෙක් ඇති කිරීම, බයෝ ගෑස් ජනනයක් ඇතිකර ඉන් බලශක්තිය ඇතිකර ගැනීම, සූර්ය බලශක්ති පද්ධතියක් සවිකරගනීම, සුළං බලයෙන් බලශක්තිය ඇති කරගැනීම වැනි කටයුතු වළට උදව් කළ යුතුයි. මේ සඳහා කරන වියදම රජයට විශාල ආයෝජනයක් වෙනව. එයින් දළ ජාතික වියදමෙන් සැලකියයුතු ප‍්‍රමාණයක් කපාහරින්න පුළුවන්. ඒ ගැන රජය අවධානය යොමුකළ යුතුයි. ඒ සඳහා රජයට දැනුම්වත්, අවංක, දක්‍ෂ නිලධාරි පැලැන්තියක් සිටිය යුතුයි. ඒ වගේම ගොවියා කුඹුර කෙරේ බැඳ තබාගත යුතුයි. ගොවියා වෙනත් ව්‍යාපාරයන්ට, යොමු වීමේ නම්‍යතාවයක් තියෙනව.
ගොවියා ගොවිතැන කෙරේ ඇඳ බැඳ තබාගත හැකිද? ගොවිතැන අතීතයේ සිටම නිදහස් වෘතිතියක්. ගොවියා නිතැතින්ම සිය නිදහස අගය කළ තැනැත්තෙක්. ඔහු නීතිපද්ධතියක් තුළ රඳවා තැබිය හැකි තැන්ත්තෙක්ද?
අපි මේ සඳහා ලෝකයෙන් අත්දැකීම් ලබාගත යුතුයි. අපි නවීන ලෝකයේ ඉදිරියට ගමන් කරන ජාතියක්. අපි ඊට අනුගත වියයුතුයි. නවීකරණයේ යහපත් දේවල් අපි ලබාගත යුතුයි. ගොවියාගේ ගොවිතැන් සඳහා කාලය යොදවන කාල පරිච්ෙඡ්දයෙන් විවේකීව සිටින කොටස ආර්ථිකමය කටයුත්තක් සඳහා යෙදවිය යුතුයි. ගොවිතැන සෑහීමකට පත්වෙන ජීවන රටාවක් වුවහොත් ගොවියා ගොවිතැන තුළ බැඳී නොසිටීමට හේතුවක් නැහැ.
අද කාලේ ගොවියා හැමදාම ණයබරින් නේද ජීවත් වෙන්නෙ?
ඒක ඇත්ත. ඒකට විවිධ ආර්ථික හා සමාජමය හේතු රාශියක් තියනව.    මට මතක්වෙනව අපේ (හි`ගුරක්ගොඩ* දාවිත් සිංඤේඤෝ කියල ගොවි මහත්තෙක් කියපු කතාවක්. එතුමා කිව්වේ ‘පුතේ එදා දීගයක් දෙන්න බලනකොට බලපු කරුණු කීපයක් තියනව. එකක් කුලය බැලූව, අනික ගොවිතැනට ඇති දක්‍ෂකම මොකක්ද කියල බැලූව, ඊළගට ඔහු ණයකාරයෙක්ද කියල බැලූව. පළමු කාරණා දෙක සම්පූර්ණ වුවත් තුන්වෙනි කාරණය වෙන ණයක් තියන කෙනෙකුට ගෑනු දරුවෙක් දීග දෙන්න එදා සමාජය කැමතිවුණේ නැහැ. එදා දීග දෙන කෙනාටත්, දීග ගන්න කෙනාටත් මේ කරුණ බලපෑව. (අද නම් කෝටි ගණන් ණය වෙලා හරි සෝබනේට මුදල් තියන මිනිහටයි තැනක් තියෙන්නෙ.* ගොවියා කවදාවත් ණය වෙන්න කැමති වුනේ නෑ. ඔවුන්ගේ ණය පිළිබඳව විධත ජනගත මත තිබුණ. ‘ණය වුණොත් හරකෙක් වෙලා හරි ගෙවන්න වෙනව’ කියන මතය ඔවුන් අතර තිබුණ. ඒක නිසා ගොවියා ණයකාරයෙක් වෙලා ජීවත්වෙන්නෙ නෑ.
අපිත් එක්ක ගොවි සංවිධාන හදල වැඩ කරපු හේරත් මාමා (පසු කළෙක මන්ත‍්‍රී ධුරයක් උසුලපු හේරත් මහතාගේ පියා* නිතරම කියපු දෙයක් තමයි, ‘රජයක් අපි ගැන බලන්නෙ නැත්නම් අපි සංවිධානයවෙලා හරි මේ ගැන වැඩපිළිවෙලක් යෙදිය යුතුයි’ කියල. එතුමත් අවසානයෙදී සියදිවි නසාගෙන අවසනාවන්ත විදිහට මියගියා.
ආනයනික පොහොර භාවිතයත්, කෘෂිරසායනික ද්‍රව්‍යයත් නිසා ඔය කියනතරම් රෝග පීඩාවන්ට ජනතාව ගොදුරු වෙනවද?
මේවා පරිහරණය කරපු ආරම්භ යුගයේ දී ජනතාවට මේ බව දැනුනෙ නෑ. එහි ප‍්‍රතිඵල අද තමයි දකින්න තියෙන්නේ. අද වෙනවිට පිලිකාව, වකුගඩු රෝග, වඳ භාවය, මළ දරු උපත්, නිල් දරු උපත් ඇතුළු ලෙඩ රෝග හතක් පමණ සොයා ගෙන තියෙනව මේ කෘෂි රසායනික ද්‍රව්‍ය හා රසායනික පොහොර භාවිතය නිසා හැදෙන. මෙයින් මිදිල යන ගොවිතැනකට අලූතෙන් රට සේන්දු කරන්න පුළුවන්. ඒකට හොඳම අවස්ථාව තමයි මේ උදාවෙලා තියෙන්නෙ. කෙටි කාලීන, දිගු කාලීන, මධ්‍ය කාලීන වැඩ පිළිවෙලවල් මේ සඳහා අවශ්‍යයි.
මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාස පහක් පමණ වෙනව. ජනාධිපති තෝරාපත්කරගෙන වසරකට පමණ ආසන්න වෙනව. ගොවි ජනතාව තෝරාපත්කරගත් ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් දැන් තියෙන්නේ. එහෙත් පහුගිය කන්නයේ වී මිල දී ගැනීම් හා වී මිල ප‍්‍රශ්නය පිළිබඳ ගැටලූ රැුසක් ඇතිවුණා නේද?
ඒම කරුණු වලට හදිසියේ ප‍්‍රතිර්ම යෙදිය හැකි තත්ත්වයක් තිබුණේ නැහැ. වී අලෙවි මණ්ඩලය, සමූපකාරය අකර්මන්‍ය වෙලයි තිබුණෙ. වී අලෙවි මණ්ඩලය ලෝක බැංකු උපදෙස් මත වසා දැම්ම. සමූපකාරය අවශ්‍ය වෙන්නෙ ගංවතුර, සුලි සුළං, සුනාමි වගේ අවස්ථාවලදි විතරයි කියලයි හිතුවේ. මේ ආයතන සක‍්‍රීය මට්ටමින් නොමැති වීම තුළ මේ තත්ත්වයට කඩිනම් පිළියම් යොදන්න නොහැකිවුණා වෙන්න පුළුවන්.  අලෙවි මණ්ඩලයේ වී ගබඩා තිබුණනම්, මත්තල ගුවන් තොටුපළේ රේගු ගබඩාවේ වී ගබඩා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේවායේ ප‍්‍රතිසංවිධානයක් අවශ්‍යයි.
අනික කෙටි කාලයක් තුළ අයවැයකට යන්න සිදුවීමත්, රජය ගොවියාට කන්නොදී රජයේ නිලධාරිගේ කීමට පමණක් කන්දී කටයුතු කිරීම නිසාත් මේ තත්ත්වය ඇති වුණා. කිරී සම්බා වගේ සහලක් මිල කරන්නේ පදනමකින් තොරවයි. එය සෞඛ්‍ය සම්පන්න ආහාරයකුත් නෙමේ. එය සම්බා හාල් අතර සුවිශේෂි සහලකුත් නෙමේ. ඒත් එහි මිල ඉහළ තත්ත්වයක තියනව. මෙය නිලධාරීන් හා ව්‍යාපාරිකයන් තුළින් නිර්මාණය වූ තත්ත්වයක්.
සියලූම වී වර්ග ප‍්‍රභේද දෙකකට පමණයි මූලික වශයෙන් බෙදිය හැකි වෙන්නේ. ඒ කොට වී හා දිග වී (නාඩු සම්බා* වශයෙන්.  මේ දෙකටයි මිලක් සෑදිය යුත්තේ. ඉටත් වඩා ප‍්‍රභේදකර මිලක් නියම කිරීම අවශ්‍ය නැහැ. පාරම්පරික ෙඖෂධීය ගුණයෙන් යුතු වී වර්ග වෙනම කාණ්ඩයක් ඒ සඳහා වෙනම මිලක් නියම කළ යුතුයි. ආණ්ඩුවකට ලංකාවේ මුළු අස්වැන්නම මිලදී ගන්න හැකියාවක් නෑ. රජයක් විසින් දැනට උපරිම වශයෙන් මිලදී ගෙන ඇත්තේ අස්වැන්නෙක් 15% ක් පමණයි. ඒ නිසා පුද්ගලික අංශයට මිලදී ගැනීමට ඉඩදිය යුතුයි. එහෙත් මිලදී ගැනීම්වල පාළනයක් ඇති කළ යුතුයි. ඒ මිල ගොවියන් සමග සාකච්ඡුාකර තීරණයකට ඒම කළයුතුයි.
අද මේ රටේ ප‍්‍රථම පුරවැසි තනතුර වන ජනාධිපති ධුරයට පත්වෙලා තියෙන්නෙ ගොවියෙකුගෙ පුතෙක්. සේනානායක ව්‍යාපාරය තුළින් ඉඩම් ලැබිල, ගොවිතැන් සඳහා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පොළොන්නරුවට ගොස් ගොවිතැන් කළ ගොවි මහතෙකුගේ පුතෙක්.  දිගින් දිගටම ඇදෙන මේ ගොවි ගැටළු නිරාකරණය කිරීම, ගරු ජනාධිපතිතුමාගේ වගකීමක්, යුතුකමක් වෙනව නේද?
ජනාධිපතිතුමාගේ පියා වගේම, මා සමග ගොවි ගැටළු ගැන කතාකරන ඔබගේ පියාත් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පොළොන්නරුවට ගොස් ගොවිතැන් කළ ගොවියෙකුගෙ පුතෙක්. මගේ පියාත් දකුණේ සිට පොළොන්නරුවට ගොස් ගොවිතැන් කළ ගොවියෙක්. මේ රටේ මොන වෘත්තියක් කළත් ඉන් බහුතරය ගොවි ජනතාවගෙ ¥ දරුවන්. ඒ නිසා ගොවි පුතෙක් වන ජනාධිපතිතුමා මේ ප‍්‍රශ්නයට සාර්ථක විසඳුමක් දෙයි කියල අපි හිතනව.
ගෙවී ගිය දේශපාලන වකවානුව තුළම අපි කළු පාටක් මිසක් සුදු පාටක් දැක්කෙ නෑ. ඒ නිසා සැකයෙන්, අවිශ්වාසයෙන් දේශපාලඥයන් දිහා බලන්න අපි පුරුදුවෙලා තියෙනව. ඒක දේශපාලනය විසින්ම නිර්මාණය කරන ලද තත්ත්වයක්. එහෙත් අතීතයේ තිබුණ තත්ත්වයන්ට වඩා මේ ආණ්ඩුව ලෝකය දිහා බලන, හොඳ පැත්තක් පේනව. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ තත්ත්වයට පත්වීමත්, දැන්වෙනකොට ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙල දිහා බලපුවහමත් ගොවි ජනතාව වෙනුවෙන් යම් සහනදායි වැඩපිළිවෙලක් ඇති වෙයි කියල මම විශ්වාස කරනව. ඒ වගේම අගමැතිතුමාගේ සුසංයෝගයත් ඉතාමත් සාධනීය විදිහට මේ සඳහා ලැබෙයි කියල මම විශ්වාස කරනව. ආණ්ඩුවෙ ඉන්න මැති ඇමතිවරුන්ගෙන් ඉතාම අතලොස්සක් ගොවියාගෙ පැත්තෙන් හා රට පැත්තෙන් මේ සඳහා දායක වෙනබවක් මම දකිනව. අපි හිතනව ගොවියාට හොඳ කලක් උදාවෙයි කියල.

මනෝජ් රූපසිංහ.

* දේශපාලනඥයන්ගේ ඥාතීන් කුඩා වී මෝල් හිමියන් විනාශකර සහල් වෙළඳ පොළ ඒකාධිකාරයක් කරගත් අයුරු.
* මරදගහමුල හාල් ව්‍යාපාරය බිඳවැටුණේ කෙසේද? යනු කරුණු ඇතුළත් මෙම ලිපියේ ඉතිරි කොටස බලාපොරොත්තුවන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *