|

සජිත්ට ජයපිරිත කී හාමුදුරුවන්ට දාපු ලෙඩේ ; සජිත් වෙනුවෙන් රනිල් නොකරන දේ ; පොහොට්ටුවට යන ශ්‍රීලනිප හාදයන්ගේ ඉරණම

ජනාධිපති අපේක්ෂක සජිත් හා අගමැති රනිල් යනු මේ වන විට දෙදෙනෙකු නොව එකම සටනක් වෙනුවෙන් සතුරන්ට එරෙහිව උඩුගම් බලා පිහිනන එකම පොදියකට බැඳුණු චරිත වී හමාරය. විපක්ෂයේ බොහෝ දෙනෙකු අපේක්ෂා කළ පරිදි දෙදෙනා අතර කකුල් මාට්ටු හා සීතල අරගල වෙනුවට ඉහත කී නව ප්‍රවණතාව ඇතිවීම ගැන එජාප අභ්‍යන්තරය තුල මෙන්ම පාක්ෂිකයා අතර පවතින්නේ දැඩි සොම්නසකි. මැතිවරණ ව්‍යාපාරයට අදාල සියළු තීන්දු රනිල් සජිත් දෙදෙනා විසින් ගනු ලැබීමද විශේෂයක් වී තිබේ. සජිත් රනිල් එකී සුසංයෝගය මුල් වරට ජනතාව අතරට පැමිණියේ පසුගිය ඉරිදා සිරිකොතේ පැවැති කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමේදීය. එදා එහි සිටි දහස් ගණනක පාක්ෂිකයන්ගේ ආස්වාදය ඔවුන් මුදාහැරියේ දෙදෙනා එකට එන විට නොනත්වා අත්පොළසන් දීමෙනි.

එදිනම රාත්‍රියේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ එජාප නීතිඥ හමුව පැවැති අතර වෙනදා 500 නොඉක්මවූ එම පිරිස මෙවර 1200 දක්වා ඉහළ ගොස් තිබීම එජාපය ජයග්‍රාහී මාවතකට ප්‍රවිශ්ට වී ඇති බව සනාථ කළ කදිම සාධකයක් විය.

සඳුදා නාම යෝජනා ලාබාදුන් පසු අපේක්ෂක සජිත් පිළිගැනීමට විශාල පිරිසක් රැගෙන නොයාමට පක්ෂය තීන්දු කොට තිබුණි.

“500 ක් විතර හිටියම හොඳටම ඇති. නාම යෝජනා දීමේ නිල කටයුත්තයි හරියට වෙන්න ඕනෑ.” අගමැති රනිල් උපදෙස් දී තිබිණ.

“30,000 ක් ගේන්නයි අපේ සමහරු ප්ලෑන් කරේ.” සජිත් කීවේය.

නාමයෝජනා දීමෙන් පසු සජිත් හා ජලනි කෙලින්ම ගියේ මහනුවරය. ඔවුන් රාත්‍රී නවාතැන් ගත්තේ අර්ල් ගුණසේකරට අයත් අර්ල්ස් රීජන්ට් හෝටලයේය.

             පසුදා උදේයේම සජිත්, ලක්ෂ්මන් කිරිඇල්ල, චමිපික රණවක  ඇතුළු මැති ඇමතිවරු රැසක් දළදා මාලිගාවට මල් පහන් පුදා මැතිවරණ සටන ඇරැඹිය. අනතුරුව මාලිගාවට යාබද භූමියේදී සිව් නිකායික මහ සඟරුවන ඉතිහාසයේ මුල්වරට භික්ෂූන් 865 නමක  සහභාගීත්වයෙන් සජිත්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජයපිරිත සජ්ජායනය කරනු ලැබුවේ දහස් ගණනක ජනතා සහභාගීත්වයත්ද සමගිනි. එය සංවිධානය කොට තිබුණේ කිරිඇල්ල හා ඔහුගේ දියණිය චමී කිරිඇල්ල විසිනි.

“නිකාය හතරේම මේ තරම් හාමුදුරුවරු එකතුවෙලා කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට “ජයපිරිත” කියල නැහැ. අනු නාහිමිවරුත් මෙතන ඉන්නවා. ඔබේ ජය සහතික කරන්නේ දළදා හාමුදුරුවන්ගේ භූමියේ සිටයි” ලක්ෂමන් කිරිඇල්ල කී විට සජිත් ඔහුගේ දෑත බදාගත්තේය.

එය නිම කළ පිරිස මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ නාහිමිවරුන් මෙන්ම ප්‍රධාන මුස්ලිම් හින්දු හා කතෝලික පල්ලි වලටද ගොස් ආගමික නායකයන්ගේ ආශීර්වාද ලැබූයේ දැවැන්ත ජනතාවකගේ ප්‍රීති ඝෝෂා මැදය. අනතුරුව පිරිස දිවා භෝජනයට පැමිණියේ අර්ල්ස් රීජන්ට් වෙතය. පැමිණෙන අතරේ සජිත්ට අමුතු කතාවක් කණ වැටිණ.

“මාලිගාව අද්දර පිරිත් කියන්න දෙන්නෙ එක්තරා නිකායන් දෙකක හිමිවරුන්ට විතරයි කියල එක්තරා කණ්ඩායමක් පොඩි කකුල් මාට්ටුවක් දාලා. අපි කියන්නෙ ජයපිරිතයි. මාලිගාව අසල භූමියේ පිරිත් කියන්න අපිට ඉඩදෙන්න බෑ කියන අය ඔය කියන වෙනත් නිකායක හිමි කෙනෙකුට එතන උපවාස කරන්න දුන්නෙ ඇයි කියලා අපි විමසුවා. මේ භූමිය සජිත්ට පිරිත් කියන්න දෙන්න එපා කියල කවුරුහරි දේශපාලන ඉල්ලීමක් කරල තියනවද කියලත් අපි ඇහුවා. මේ පුණ්‍ය භූමිය ජයපිරිතට ඉඩ නොදුන්නොත් අපි මහපාරෙ මේක කරනවා. විරුද්ධ වෙච්ච අය ගැන රටට එළි කරනවා.” උත්සවයේ සංවිධායක පිරිසක් කී විට සජිත් එය අසා සිටියේ නළල රැළි ගන්වමිනි.

“නෑ. සුළු ප්‍රශ්න ටිකක් තිබුණත් පහසුවෙන් විසඳුනා. දියවඩන නිළමෙතුමා ඇතුළු සියළුදෙනා පිරිත් කියන්න අපිට විශාල සහයෝගයක් ලබාදුන්නා” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට සජිත් සැනසුම් සුසුමක් හෙලුවේය.

හෝටලයට පැමිණි සජිත් ඇතුළු 200ක් සඳහා අර්ල් ගුණසේකර දිවා ආහාරය සහ සියළු පහසුකම් සලසා තිබිණ. කෑම ගන්නා අතරේ අර්ල් අතීතයේ අපූරු සිදුවීමක් මතක් කළේය.

“2000 මහ මැතිවරණයේදී රාජපක්ෂලා පරද්දලා සජිත් හම්බන්තොටත් මෛත්‍රීපාල සිරිසේන පරද්දලා මම පොළොන්නරුව දිස්ත්‍රික්කත් එජාපයට දිනවල දුන්නා. රනිල් නායකතුමා අපි දෙන්නට උපහාරයක් හැටියට ලාබාලම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ලෙස බඳවගෙන අපට ගෞරව කලා.” අර්ල් ගුණසේකර කී විට සජිත්ද එය අනුමත කළේය.

“ඔබතුමාගෙ ශ්‍රී මුඛ කතාවට සමහරු පහර දෙනවා. මේ මැතිවරණ වේදිකාවල ඉන්න හුඟ දෙනෙක් ඒ මුඛ වලින් කියන්නෙ බොරු හා ජනතාව අන්දන කතා. ඒත් ඔබතුමා ඔය මුඛයෙන් කිසිම බොරුවක් නොකියන නිසා ඔබට ඇත්තේ ශ්‍රී මුඛයක්ම තමයි. නොවැම්බර් 17 දා සජිත්ට තියෙන්නෙ ශ්‍රී මුඛයක් නෙවෙයි ශ්‍රී සර්වාංගයක්ය කියල මේ රටේ ජනතාව ඔප්පු කරාම ඔය මඩකාරයන්ට දුවන්න පාර්වල් මදිවේවි” අර්ල් ගුණසේකර කී විට සියළුදෙනාම කොක්හඬ ලන්නට විය.

බදාද සවස යුද්දය අධික ලෙස පැවතුණ රාජපක්ෂ සමයේ විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම සජිත්ගේ සහයට එක්විය. රාජපක්ෂ රජයේ හිටපු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිවරයෙක් වන නියෝමාල් පෙරේරාද එම් අවස්ථාවට එක්විය.

“ෆොන්සේකා ප්‍රමුඛ ත්‍රිවිද හමුදාව ලංකාවෙ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්දය කරද්දි මම විදේශ ඇමති හැටියට ඒ වගේම අසීරු ජාත්‍යන්තර යුද්දයක් බලවත් සියළු රටවල් එක්ක කරල අපේ යුද්දය සාධාරණීකරණය කළා. අන්තිමට යුද්දයේ අයිතිය එක පවුලක් අරගෙන යුධ වීරයා කකුල් දෙකෙන් ඇදන් ගිහින් හිර කරලා මාව දේශපාලන ලෙස අනාත කළා.” රෝහිත බෝගොල්ලාගම එදා සිදුවුණ දේ මැනවින් පැහැදිලි කළේය.

“යුධ ජයෙන් පස්සෙ කළ යුතු ලෝක හා රට ඇතුලේ සංහිඳියාව රාජපක්ෂ ආණ්ඩුව කළේ නෑ. බොගොල්ලාගම වගේ විදේශ ඇමතිකෙනෙක් එදා හිටිය නම් එහෙම වෙන්නෙ නෑ. ජී.එස්.පී හා මාළු තහනම් එන්න නොදී බේරගන්නත් තිබුණා.” නියෝමාල් පෙරේරා කීය.

බ්‍රහස්පතින්දා සජිත්ගේ මංගල රැළිය ගෝල්ෆේස් හිදී පැවැත්වෙන නිසා අගමැතිවරයා ඊට අදාල මෙහෙයුම් වලද දැඩි ලෙස නිරතවිය. ඒ අතරේ පැමිණසිටි මැති ඇමතිවරුන් සමගද කතාකළේය.

“ඔබතුමයි සජිත් අපේක්ෂකතුමයි අතරේ තියන බැඳීම හා එකට වැඩ කිරීම ගැන රටේ සමහරු තාම හරියට දන්නේ නෑ ” චමින්ද විජේසිරි, හේෂා විතානගේ මෙන්ම ආශු මාරසිංහ කීවේ එකම කාතාවකි.

“සජිත් ඔඩොක්කුවේ වාඩිකරන් යන එක ඇරෙන්න අනිත් ඔක්කොම මම කරනවා. මේක අපේ හා රටේ සටනක්. රාජපක්ෂලා ඡන්ද එක දෙක එකතු කරනකොට මම සජිත්ට අරන් දෙන්නෙ ඡන්ද ලක්ෂ ගණන් තොග පිටිනුයි. මට පුළුවන් තැන්වල මම උපරිම බර අදිනවා. සජිත්ට පුළුවන් තැන්වල එයා බර අදීවි. මේ සටන අපි අනිවාර්යෙන් දිනනවා. අපේ කට්ටිය එකතුවෙලා කේක් එක හැදුවට මේක අයිසින් කරන්න තියෙන්නෙ මටයි.” අගමැතිවරයා කීවේත් කාගේත් ප්‍රසාදය මැදය.

“ජනපති මෛත්‍රී මහින්දටයි සර්ටයි දෙන්නටම ඇරියාය, ඊට නොදෙවෙනි විදියට අන්තිමට සජිත්ටත් කළාය කියලයි ජනතා මතය වෙන්නෙ. මේක විසඳන්න ගියපු ලේක් හවුස්  සභාපති ක්‍රිෂාන්ත කුරේ හිස් අතින් ආවම හැමෝම කියන්නෙ කපුවා කපෝතියි කියලයි.” එජාප නීති නිළධාරියෙකු කීවේ කාගේත් සිනා මැදය.

“ඊයෙ අනුරාධපුරයේ ලොකු සෙනඟක් නෑ. ඒකෙන් බාගෙට වඩා වැඩි සෙනගක් මැද කොළඹ බලමණ්ඩලයේ හිටියා.” නවීන් දිසානායක කීවේය.

“අනුරාධපුර රැලියෙදි දුමින්ද දිසානායකට පොහොට්ටුවේ අය “හූ” තියලා විරෝධය පළකරන හැටි සමාජ ජාලාවල වීඩියෝ යනවා. ශ්‍රීලනිපයෙන් ගියපු බොහෝ දෙනෙකුට වෙන්නෙ හූ අහන්න තමයි.  රාජපක්ෂවරු හූ තියන්න එපා කිව්වත් මනාප ප්‍රශ්න නිසා ඔය හැම දිස්ත්‍රික්කෙම පොහොට්ටු වේදිකාවට නගින ශ්‍රීලනිප අයට හූ ලැබෙනවා. අන්තිමේදී මහා මැතිවරණෙදී 2015 වගේම ඔය සියළුදෙනාම පරාද කරන්නත් ඒ අය සැළසුම් සහගතව වැඩ කරන එක ස්ථිරයි.” රංජන් රාමනායක කළ් විග්‍රහය සියළුදෙනා අනුමත කළහ.

“දැන් ඇල්පිටිය ඡන්දෙ තීරණාත්මකද? ඒ ප්‍රාදේශීය සභාව හැමදාම දිනල තියෙන්නෙ ඒ අයයි. අපිට වාසි තැනක මේ ඡන්දය ආවානම් දිනන්නෙ එජාපයයි. ඒ නිසා ග්‍රාම සේවා වසම් 17ක ඡන්ද ප්‍රථිපලය ජනපතිවරණයට බලපාන්නෙ නෑ” නවීන් දිසානායක කී දේ ද සියළුදෙනා අනුමත කළහ.

“කුඩා ප්‍රාදේශීය සභාවක ප්‍රතිපලය හා පසුව වෙන දේවල් මම දන්නවා. 1977 මහ ඡන්දෙට මාස කීපයකට කලින් මුල්කිරිගල අතුරු මැතිවරණය එජාපය පැරදුනත් මහ මැතිවරණය මුල්කිරිගල ඇතුළු රටම අපි උඩින්ම දිනුවා. 89 ජනපතිවරණෙට කලින් රත්නපුර අතුරු මැතිවරණයත් ශ්‍රීලනිපය දිනුවා. ඒත් ඊට පස්සෙ තිබුණු ජනපතිවරණයෙන් දිනුවෙ අපියි.” අගමැතිවරයා අතීත අත්දැකීම් ගෙනහැරපෑවේය.

“ඇල්පිටිය අපි පැරදුනා කියමු. ඊට පසුදා තියන රැස්වීම හරියට සංවිධානය කරන එකයි අපිට තියෙන්නෙ. වැදගත්ම ඡන්දය දිනන්න ඕන විදිය මම දන්නවා. බලය නැතුවත් අපි ඒව කරල ඔප්පු කරල තියනවා. 2015 ජනාධිපතිවරණෙට කලින් රාජපක්ෂලා ඌව දිනුවා. ඒත් ඊට මාස කීපෙකට පස්සෙ විධායක ජනාධිපතිකම්, පලාත්සභා, ප්‍රාදේශීය සභා, හමුදා හා පොලීසි, සමෘද්ධි ඔක්කොම එයාලට තියෙද්දි 2015 ජනාධිපතිවරණය දිනුවෙ කවුද, දින 52 සියල්ල දණ ගස්සලා ආපහු බලය ගත්තෙ අපි නෙවෙයිද? මේ ජනපතිවරණය දිනන්නෙත් අපි ඒ විදියටයි” අගමැතිවරයා මෙවර එජාපෙ ජනපතිවරණ ජයග්‍රහණය ගැන කතා කළේ එපරිද්දෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *