පසුගිය වසර පහ තුළ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් තහවුරු කිරීමට සජිත් ජයග්‍රහණය කරවන්න – අගමැති

පසුගිය වසර පහ තුළ විනිවිද පෙනෙන පාලනයක් ඔස්සේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් තහවුරු කරලමින් ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍ර්මදාස මහතා ජයග්‍රහණය කරවන ලෙසත්, ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ ඔස්සේ ව්‍යවස්ථාව ඇතුළු සියලූ ප්‍රතිසංස්කරණයන් සිදුකරමින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ ම හා යහපත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට තමන් කැපවී ක්‍රියා කරන බව පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (09) දින සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ සමුළුව අමතමිනි.

මෙහිදී සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යෝජනාවලිය පිළිගන්වන ලදී.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මිනිස් ජීවිත ආරක්‍ෂා කරමින්, නිදහස අර්ථවත් වූ සමාජ ක්‍රමයක් යහපාලන රජය යටතේ නිර්මාණය කළ බවය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍ර්මදාස මහතා පැවසූයේ නිදහස නොමැති යුගයකට රට ගෙන යාම යළි ඉඩ දිය නොහැකි බවයි. දිනූ නිදහස තහවුරු කිරීමටත්, ශක්තිමත් කිරීමටත් එක්සත් ජාතික පෙරමුණ කැපවී සිටින බව පැවසූ පේ‍ර්මදාස මහතා ආරම්භ කළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තව තවත් ඉදිරියට ගෙන යාම තමන්ගේ අරමුණ බවද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට  මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකතුමන්ලා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *