හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ – සම්පත් අමරසිංහ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මහාචාර්ය තේනුවර සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු මොහොතේ ගෝඨාභයවාදී කණ්ඩායම උසාවිය තුළ ප්‍රීති ඝෝෂා කළ බවත්, ඒ ගැන එම කණ්ඩායමට අවවාද කිරීම්ට සභාපති විනිසුරුවරයා පියවර ගත් බවත් පැවසේ. එපමනක් නොව එසේ ප්‍රීති ඝෝෂා කළ තැනැත්තන් අතර නීතිඥ පිරිස් සිටියේ ද යන්න පිළිබඳ සොයා බලා එසේ සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට ඉඩ ඇති බවද කියවේ.

එම ජයඝෝෂාව මගින් මෙරට ජනතාවට වැදගත් පණිවිඩයක් ගෝඨාභය හිතවාදී ණ්ඩායම විසින් ලබා දී තිබේ. එම පනිවුඩය ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදීම ලබාදීම සම්බන්ධයෙන් එම කණ්ඩායමට මෙරට නීතිගරුක පුරවැසියන්ගේ ස්තුතිය හිමිවිය යුතුවේ.

එසේම එම ජයඝෝෂාව ඔස්සේ මෙරට නීති ගරුක ජනතාව තේරුම් ගත යුතු වැදගත් කාරණාවක් ද තිබේ. එය නම් ගෝඨාභය හිතවාදීන් තම දේශපාලන පක්ෂය මාරු කළ ද ඔවුන්ගේ චරිත ස්වභාවය තවමත් වෙනස් වී නැති බවයි. එනම් කැළය මාරු වී ඇති නමුත් කොටියාගේ පුල්ලි මාරු වි නැති බවයි.

උසාවියට නීතියේ ආධිපත්‍යයට ගරු කරන පිරිසක් නම් කවර හේතුවක් නිසා වත් උසාවියක් තුළ ප්‍රීතිඝෝෂා නගන්නට නොව හඬ නගා කතා කරන්නටවත් ඉදිරිපත් වන්නේ නැත. උසාවියට යන විට පාතාල නායකයන් පවා වැදගත් ආකාරයට ඇඳුම් පැළඳුම් ඇඳ යාමට පවා වගබලා වගබලා ගනිති. උසාවියේ දී හැසිරිය යුතු ආකාරය ගැන සාමාන්‍ය ජනතාවට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නොවන්නේ නීතියට ගරු කර සංවරව උසාවිය තුළ හැසිරිය යුතුය යන්න ඔවුන් භාවිතාවෙන් වටහා ගෙන සිටින බැවිනි.

ඊළඟ කාරණය වන්නේ සාමාන්‍ය පුරවැසියෙකු උසාවිය තුළ අනවශ්‍ය ආකාරයේ ඝෝෂාවක් කළේ නම් ඔහු අරභයා උසාවිය සහ විනිසුරන් කවර ආකාරයට ප්‍රතිචාර දක්වනු ඇතිද යන්නයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජය ඝෝෂා නැගූ අයට එවැනි ආකාරයට නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවී නැත.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව සහ එම තීන්දුව ලබා දුන් ආකාරය පිළිබඳවද මේ වන විට ජනතාවට යම් ආකාරයක කුතුහලයක් පවතින බවද පෙනෙන්නට තිබේ. තවත් ආකාරයකින් ගත් කළ ගෝඨාභය මහතා ඇතුළු විවිධ චෝදනාවලට ලක් වූ පසුගිය ආණ්ඩුවේ තැනැත්තන් සම්බන්ධව මෙරට අධිකරණය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව ද ජනතාවට ඇත්තේ කුහුලක් බව පෙනේ.

නිදසුනක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පවරා ඇති කිසිම නඩුවක දි ඒ මහතා මේ වනතෙක් සෘජුව අධිකරණයට මුහුණ දී නැත. මෙතෙක් ඒ මහතා කර ඇත්තේ විවිධ හේතු දක්වමින් සහ විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් අධිකරණයට මුහුණ දීමෙන් වැළකී සිටීමයි.

ලලිත් සහ කුගන් යන මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනාගේ අතුරුදන්වීම් සම්බන්ධව යාපනය උසාවියේ ගොනුකර ඇති නඩුවකට පෙනී සිටීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මගහැර ගියේ යාපනය උසාවියට යාමට ආරක්ෂාවක් නැතැයි ප්‍රකාශ කරමිනි. මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රට පුරා රැස්වීම් වලට ආගමික වතාවත්වලට සහභාගි වන ගෝඨාභය මහතාට අධිකරණ කටයුත්තට යාපනයට යෑමට ආරක්ෂාව ප්‍රශ්නයක් වී ඇතැයි කීම උසාවියට කෙසේ වෙතත් පොදු ජනතාවට පිළිගත හැකිද යන්න ප්‍රශ්නයකි. ගෝඨාභය රාජපක්ෂ මහතා යනු සාමාන්‍ය පුරවැසියෙකු නොවේ. හිටපු ආරක්ෂක ලේකම්වරයා ය. හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඔහුට තම නිලයට හිමි ආරක්ෂක නිලධාරීන් පිරිසක් සිටිය යුතුය. එසේ නැති වුවද පෞද්ගලික ආරක්ෂක සේවයක සහය ලබාගැනීමට වුවද ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව තිබේ. ඒ කිසිවක් නැතත් අවශ්‍ය තරමට ආරක්ෂාව තහවුරු කර ඒ මහතා අධිකරණයට ගෙන්වාගැනීමට අදාළ අංශවලට පුළුවන්කමක් තිබේ. මරණ තර්ජන සහ පාතාල කල්ලිවල තර්ජන සහිත පාතාල මැරයන් පවා ඒ තර්ජන තිබියදීම අධිකරණයට මුහුණ දෙන බවද මෙහිදී අමතක කළයුතු නැත. ගැටලුව වන්නේ සාමාන්‍ය ජනතාවට වැටහෙන එවැනි දේ නීතිය ක්‍රියාත්මක කරන සහ නීතිය ක්‍රියාවේ යොදවන ආයතන වලට නොවැටහෙන බවක් පෙනෙන්නට තිබීම ය. නිදසුනක් වශයෙන් ප්‍රශ්නගත මල්වාන ඉඩම බැසිල් රාජපක්ෂ මහතාට අයිති බව රටේ ජනතාවට වැටහෙන නමුත් උසාවියට ඒ බව තවමත් වැටහී නැති කම පෙන්වා දෙන්නට පුළුවන.

රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් පමණක් නොව තවත් සමහර පිරිස් සම්බන්ධව ද නීතිය හැසිරීම වෙනස් ආකාරයට ක්‍රියාත්මක වන බව පිළිගන්නට සිදුවේ. ආසන්නතම උදාහරණය වශයෙන් නයාරු ගුරුකන්ද විහාරයේ නායක භික්ෂුවගේ ආදාහනයේ දී උසාවි නියෝග කඩ කරමින් හැසිරෙන පිරිස සම්බන්ධයෙන් නීතිය අන්ධභාවය දක්වන්නට පුළුවන. එම එම සිද්ධියේදී මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ උසාවියට අපහාස කිරීමේ වරදට මීට පෙරද සිරගතව සිටි ජනාධිපති සමාව යටතේ නිදහස ලබා සිටින ගල්ගොඩාත්තේ බවද කවුරුත් දනිති. එහෙත් නීතිය නිහඬය එවැනිම ආකාරයේට උසාවි නියෝග නොතකා මිනිහක් භූමදානය කළ වරදට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගනු ලැබූ බවද ද සඳහන් කරන්නේ ඔහු අත්අඩංගුවට ගැනීම වරදක් කියන්නට නොව සිවුරටත් සරමටත් ලෝගුවටත් නීතිය එක ලෙස ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙන්නටය.

ගෝඨාභය මහතාගේ තීන්දුවද ඔහුගේ අනුගාමික පිරිස ද සැලකිය යුත්තේ නීතියට උසාවියට ගිය හිස නොනමන නීතියේ ආධිපත්‍යයට ඉහළින් සිටින්නට උත්සාහ කරන පිරිසක් වශයෙනි. බලයක් නොමැතිව ඔවුන්ගේ හැසිරීම් එසේනම් යම් හෙයකින් ආණ්ඩු බලයක් ලැබුණහොත් කවරාකාරයෙන් හැසිරෙන ඇතිද යන්න අනුමාන කිරීම අපහසු නොවන්නේ ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් ද ජනතාවට අමතක නැති නිසාය. එවැනි තත්ත්වයකදී උසාවියේ කවරාකාර ව හැසිරෙන ඇද්ද කියා වටහා ගැනීමට 18 වැනි සංශෝධනයට උසාවිය ඉඩ දුන් බව මතක් කරගැනීම පමණක් වුවද සෑහේ. ගෝඨාභයලාගෙන් පරිස්සම් වන්නට ජනතාව වගබලාගත යුත්තේ ඉහත කරුණු සියල්ලම හේතුවෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *