|

නොපෙනෙන දෙවියන් හා පෙනෙන දෙවියන් – නිශාන්ත කමලදාස

දේශපාලන දෙවියන්“ අපට සරණ වූවාට ඔවුන් ද සරණ පතා ඇතැම් විට යන්නේ අප සරණ පතන අතීත දෙවියන් ළඟට ම ය. නොපෙනෙන දෙවියන් ළඟට ම ය. ඇතැම් විට ශ්‍රීපති කෝවිලට ය. සමහර විට කතරගම දෙවොලට ය. නැතිනම් රත්නපුරේ මහ සමන් දේවාලයට ය. විෂ්ණු කෝවිලට ය. කන්දේ දේවාලයට ය. එහෙම බැලුවහම තාමත් හැබෑ වැඩකාරයා වන්නේ මේ නොපෙනෙන දෙවියන් ය.

අප දෙවියන්ට වඳින බව ඇත්ත ය. ඒ ගෞරව භක්තියෙන් යුක්තව ය. අපට වඩා උසස් යැයි සලකාගෙන ය. අප වැඳ ගෞරව දක්වා පසු බසින්නේ නැත. පුංචි අල්ලසක් ද අත මිට මොලවා, අපව රැක දෙන ලෙස ඉල්ලා, අප ම ගෞරව කළ දෙවියන් ව තුට්ටු දෙකේ අල්ලස්කාරයෙක් බවට පත් කර මිසක අප පසු බසින්නේ නැත.

ගෞරවය යන සාධකය ඉවත් කර එසේ බැලූ විට පෙනෙන්නේ දෙවියන් සමග අපට ඇත්තේ නිකම් ම නිකම් ගනුදෙනුවක් බව ය. එය සිල්ලර කඩේක මුදලාලි සමග කරන ආකාරයේ ගනුදෙනුවකි. අප දෙවියන්ට පඩුරු පාක්කුඩම් දෙන අතර දෙවියෝ ඊට හිලව්වක් ලෙස අපව රැක බලා ගනිති. අපේ වුවමනා එපාකම්, බලාපොරොත්තු, අපේක්ෂා ඉටු කර දෙති. අඩු වශයෙන් අප සිතන්නට කැමති ඒ විදිහට ය.

අප වැන්දාට, අප පිදුවාට, දෙවියන්ගේ පැත්තෙන් අපට පිළිසරණක් සැබෑ ලෙස සිදුවන්නේ ද යන්න එන්න එන්නම ගැටලුවක් වෙමින් තිබේ.

පහු ගිය දිනක ගාල්තැන්න දේවාලයේ කපු මහත්තයා සතුව තිබුණු කිලෝ 12 ක රත්‍රන් තොගයක් පැහැරගෙන ගිය අය අල්ලා ගැනුණේ, දේවාල පරිශ්‍රයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් ආධාර කරගෙන, පොලීසිය විසිනි. එය මේ දෙවොලේ පමණක් නොව එවන් හාස්කම් ඇති කිහිප පොලකම සිදු වූ අතර, නමගිය කතරගම දේවාලයේ කොත ද හොරකම් කළ කල සිදු වූයේ ද එය ම ය.

අප අපේ නැති වූ බඩු සොයා ගනු පිණිස දෙවියන්ගේ පිහිට පැතූව ද කපු මහත්තුරු පතන්නේ පොලීසියේ පිහිට ය. තාක්ෂණයේ පිහිට ය.

එයින් පෙනෙන්නේ දෙවියන් පිහිට වෙනවා යයි කීවාට තමන්ගේ දේපළවත්, තමන්ගේ කපු මහත්තයාගේ දේපළවත්, රැක දෙන්නට දෙවියන්ට බැරි බව ය. ඒ සම්බන්ධයෙන් දෙවියන්ගේ නියෝජිතයන් ද දෙවියන් කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබන බව ය.

මේවා ගැන කොතෙක් ප්‍රවෘත්ති ඇසූව ද දුටුව ද මිනිසුන් දෙවියන්ගෙන් පිහිට පැතීම නවත්වන්නේ නැත.

පහුගිය දිනක එසේ පිහිට පතා සුව මෙහෙයකට ගිය රෝගීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තව දහඅට දෙනකු අසාධ්‍යව රෝහල්ගත කරන ලද්දේ ය. තමන්ගේ හිතෛෂිකු දෙවියන්ගේ පොරොන්දු වූ පිහිට නොලැබ මෙසේ මියගිය විට පවා මේ විශ්වාස දෙදරන්නේ නැත.

තරමක් ඈත දිනක, අපට වාසනාව ලබා ගැනීම උදෙසා වාලම්පූරි විකුණු, දේව නියෝජිතයකුට, අවාසනාව ළඟා වූයෙන්, නතර වූයේ හිරේ ය. ඒත් වාලම්පූරි වැනි දේ පිටුපස, හාස්කම් සහිත පෑන් පිටුපස, යන්ත්‍ර මන්ත්‍ර සහ තවත් එවැනි දේ පිටුපස යන පිරිසේ අඩුවක් වී නැත.

දෙවියන් නිර්මාණය කිරීම

අපට ඇති රෝගයක් සුව කරගැනීමට ද නැති වූ බඩුවක් හෝ අහිමි වූ කෙනකු නැවත ලබා ගැනීමට ද විභාගයෙන් සමත් වීමට ද ව්‍යාපාරයෙන් ජය ලැබීමට ද අලුතින් මිලදී ගත් රථයට ආරක්ෂාව සලසා ගැනීමට ද යන මෙකී නොකී බොහෝ දේවලට අපි දෙවියන්ගේ පිහිට පතමු.

මේ සැඟවී සිටින, ඇතැම් විට හැංගි මුත්තන් කරන, වැඩකට නැතැයි දැන් දැන් පෙනී යන දෙවි කෙනකු මහා බලසම්පන්න දෙවි කෙනකු ලෙස පිළිගෙන තවමත් යාතිකා කරන්නේ කුමක් නිසා ද, පිළිසරණ පතන්නේ කුමක් නිසා ද, යන්න දෙවියන් විශ්වාස නොකරන අයට පමණක් ඇති ප්‍රහේලිකාවකි. මේ ලිපියේ අරමුණ ඒ ප්‍රහේලිකාව විසඳා ගැනීම ය.

අපේ මුතුන් මිත්තන්ට, ලෝකය තුළ යම් යම් දේ සිදුවන්නේ කෙසේද යන්න, අද අප තේරුම් ගත් පමණටම, තේරුම් ගන්නට නොහැකි වූයෙන්, ඔවුහු ඒ සඳහා අපූරු සංකල්පයක් බිහි කර ගත්තෝ ය. ඒ දෙවියන් ය.

වැස්ස ඇති වන්නේ කෙසේ දැයි නොදත් ඔවුන් එය වැස්ස වලාහක දෙවියන්ට පැවරූ හ. වැසි පමා වූ විට ඒ දෙවියන්ට කන්නලව් කිරීමෙන් ඔවුන් ඇති වූ ආතතිය පහ කර ගත්හ. ඒ කන්නලව්වේ ප්‍රතිඵලයක් ලෙස වැස්ස ලැබෙතැයි බලාපොරොත්තු ඇති කර ගත්හ.

බෙහෙත් හේත් එහෙමකට නැති අසනීපයක් වූ විට, ඔවුහු ගම්බාර දෙවියන්ට, නැතිනම් කතරගම දෙවියන්ට, පඩුරු ගැට ගසා නිරෝගී බව පැතූහ. තවත් කළ හැකි දෙයක් තමන්ට නැතැයි කියා රෝහල කර ඇරිය විට ද ඔවුහු දෙවියන්ගේ සරණ පැතූහ.

දෙවියන් යැයි පොදුවේ දැක් වූවේ වුව ද ඇතැම් තැනක එය අදෘෂ්‍යමාන විස්තර කළ නොහෙන වෙනත් ගුප්ත බලවේගයක් ලෙස ප්‍රකාශමාන විය හැකි ය. පිරිත් නූලක්, පිරිත් පැන් ටිකක්, සුරයක්, මන්තරයක්, නවරත්න මුද්දක් විසින් දෙවියන් ඇතැම් විට විස්ථාපනය කෙරෙන්නේ ය. ඇතැම් තැනක බුදුන්ට බුදු වීමට පිට දුන් බෝධියට ද දේවත්වය ආදේශ කෙරෙන්නේ ය. තවත් තැනක එය ධාතූන් වහනසේලාට හෝ ධාතූන් වහන්සේලා අඩංගු චෛත්‍යයකට ද ආදේශ කෙරෙන්නේ ය.

ඒ හැම තැනක ම ඇත්තේ අපට තේරුම් ගත නොහැකි, විස්තර කළ නොහැකි, හේතු ඵල ධර්මයකින් පැහැදිලි කළ නොහැකි, හාස්කම් සහිත බලයකි. එය, දෙවියන් නොවෙතත්, දෙවියන් හා සමාන ය. දෙවියන් තරමට ම අදෘෂ්‍යමාන ය.

දෙවියන් මතක් වන්නේ බැරි වූ විට ය

කවුරු කෙසේ කීවත් අපට දෙවියන් මතක් වන්නේ බැරි වූ විට ය. මුහුණු පොතේ එක්තරා සටහනක කියවුණේ, තමන් යන ගුවන් යානය අනතුරකට භාජනය වන්නට නියමිත බවට නිවේදනයක් ලද විට, නිරාගමිකයන්ට පවා දෙවියන් සිහිවන බව ය.

මෙසේ දෙවියන් නිර්මාණය වන්නේ අපේ අසරණකම තුළ ය. අපේ බැරිකම තුළ ය. අප ශක්තිමත් වන විට දෙවියන්ගේ උදව් අපට තවදුරටත් අවශ්‍ය වන්නේ නැත.

අතීතයේ බොහෝ අසරණව සිටිය ද අද අප ඒ පමණට ම අසරණ නැත. එදා මෙන් නොව බොහෝ දේ සිදුවන්නේ කෙසේ දැයි අපි දනිමු. වැස්ස ඇතිවන සැටි අපි දැන් දනිමු. ඒ නිසා වැස්ස වලාහක දෙවියන් දැන් අපේ ලෝකයේ නැත.

අකුණු ගැසීම දෙවියන්ගේ වැඩක් ලෙස අප තවදුරටත් හඳුනා ගන්නේ නැත. ඒ නිසා ඇතිවන ලැව් ගිනි පාලනයට ද අද අපට උපකරණ තිබේ. තවදුරටත් ගිනි දෙවියන් පුදන්නට අපට වුවමනා නැත.

කොයි වෙලේ පහර දේ දැයි නොදන්නා සතා සිව්පාවා සිටින කැලේ මැදින් හෙමින් ගමනේ යෙදෙන තිරික්කලයක කතරගම ගිය මිනිසුන්ට ඒ ගමන නිමා කරන්නට දෙවි පිහිට අවශ්‍ය විය. පැය දෙක තුනකින් දැන් ළඟා විය හැකි වේගයෙන් යන සුරක්ෂිත වාහනයක කතරගම යන කෙනකුට ඒ තරම් ම දෙව් පිහිට ඕනෑ වන්නේ නැත. අවශ්‍ය තිරිංග තද කළ විට නවතා ගත හැකි, ආසන බඳ පටි හා හදිසි අනතුරක දී පිම්බෙන බැලුම් සහිත, නවීන වාහනයකි. ඒ නිසා බොහෝ දෙනකු, අතීතයේ දී මෙවැනි “මාවතේ සුරක්ෂිතතාවය“ සැපයූ, දෙවියන් ගණනාවකට ම පස්ස හරවා තිබේ. තවමත් බෝධියක් දේවාලයක් අසල නවතා පඩුරු දමන අය නැතිවා නොවේ. එහෙත් ඒ නිකම් පුරුද්දට වාගේ කරන වැඩකි. ප්‍රතිඵලයක් තිබුණත් නැතත් අවැඩක් නැතැයි සිතා කරන වැඩකි.

ඇතැම් ව්‍යසන පාලනය කළ නොහැකි වුව ද ඒවා කල් ඇතිව අඳුනාගැනීමට ද ඒ නිසා ම එක්තරා දුරකට ඒවා පාලනය කිරීමට ද බැරිනම් ඒවාට වඩා දක්ෂ ලෙස මුහුණ දීමට ද අපි දනිමු. භූ චලනවලට ඔරොත්තු දිය හැකි ගොඩනැගිලි අද අපට ඉදි කළ හැකි ය. ඒ නිසා ම තවත් දෙවියන් ගණනාවක් අප විසින් විශ්‍රාම යවා තිබේ.

ලෙඩ රෝග ඇතිවන හැටි ගැන දැන් අපි දනිමු. එදවස, දෙවියන්ගේ ලෙඩ ලෙස හඳුනාගත්, බොහෝ ලෙඩ පාලනය කරගැනීමේ ලා අපි අද සමත් ව සිටිමු. වසංගත බොහෝමයක් අපේ පාලනයට නතුව තිබේ. ඒ නිසා දෙවියන්ට පඩුරු පාක්කුඩම් පිරි නැමීමට තවදුරටත් අපට අවශ්‍ය නොවේ. ඒ පඩුරු පාක්කුඩම් පිරිනැමීමට අපට දැන් වෛද්‍යවරු සිටිති. උන් දෙවිවරු හැටියට ඇතැමුන් හඳුන්වන්නේ ඒ නිසා විය හැකි ය.

මේ සියල්ල විද්‍යාවේ හාස්කම් ය. අවිදු අඳුර දුර ලූ විද්‍යාවේ හාස්කම් ය.

ඒ සියල්ල එසේ සිදු වෙද්දී තවමත් බොහෝ තැනක දෙවියෝ විරාජමානව සිටිති. ඒ සැදැහැවතුන්ගේ අනූපමේය බැතිය යටතේ ය. හේතුව, බොහෝ දේ පාලනය කරගන්නට හැකිව තිබුණත්, සියල්ල තවමත් පාලනය කිරීමට අප අපොහොසත් වීම ය.

පිළිකාවලට තවමත් නිසි ප්‍රතිකාර සොයා ගෙන නැත. බොහෝ ලෙඩවලට ප්‍රතිකාර සොයා ගෙන ඇතත් මරණයෙන් තවමත් අපට මිදිය නොහැකි ය. එවැනි මොහොතක තවදුරටත් අප අසරණ ය. ඒ නිසා ම අපට තවදුරටත් දෙවියන් සිහිවෙන වෙලාවල් තිබේ.

අපට සරණ වන හැම ම අප දකින්නේ දෙවියන් ලෙස ය. නිවසේ දෙවියන් අම්මා ය. පාසලේ ඇතැම් ගුරුවරු ගුරු දේවයන් ය.

දේශපාලන දෙවියන්

ඒ සියල්ලන් පසු පසට යවමින් අපේ සරණට මේ වන විට පැමිණ සිටින්නේ දේශපාලනඥයා ය. දැන් පඩුරු පාක්කුඩම් පිරිනැමෙන්නේ ඔවුන්ට ය. ඒ ද අප අසරණව සිටින වෙලාවට සරණක් පතා ගිය විට ය. දේවාලයකට අප යන ගමනකට පොඩ්ඩකින් වත් එය වෙනස් වන්නේ නැත. එහි ද කපුවෝ වෙසෙති. පඩුරු පාක්කුඩම් දිය යුත්තේ ඒ මැදිහත්කරුවන් හරහා ය.

රැකියා සපයමින් ද අධ්‍යාපන අවස්ථා සපයමින් ද ව්‍යාපාරික අවස්ථා සපයමින් ද අසරණ අපේ පිහිටට දැන් එන්නේ ඔවුන් ය. ඔවුන්ගේ අසුන් ශක්‍රයාගේ මෙන් උණුවන්නේ නැත. එහෙත් ඔවුන් මිනිසුන්ට නොපෙනෙන දෙවියන්ට ද වඩා සංවේදී ය.

පරහකට ඇත්තේ ඔවුන්ට පුංචි කාසිවලින් පඩුරු පිරිනමා බැරි වීම ය. ඒ ඇතැම් අයට මොණර කොළ ඕනෑ ය. ඇතැම් අයට ඔවුන්ගේ ජයපතා දිගටම කඹුරන්නට ඕනෑ ය. වතාවත් කරන්නට ඕනෑ ය. එය ඉල කැඩෙන වැඩකි.

ලාභ බඩුවේ හිලක් ඇත. එසේ ලාබෙට තිබෙන බඩු හැම එකක් ම ප්‍රයෝජනවත් නැත. ගණනක් ගිය ද මේ අප කියන “දේශපාලන දෙවියන්ගේ“ බඩු ෂුවර් ය. ගාන වැඩි ඒ නිසා වන්නට පුළුවන.

පොදුවේ දෙවියන් දේවත්වයට නංවන්නේ අප ය. එය දේශපාලන දෙවියන් සම්බන්ධයෙන් ද එකසේ අදාළ ය. එහෙත් ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රම වේද දෙකකි.

අතීතයේ අප යම් යම් දේ දේවත්වයට පත් කළේ අප විසින් ඒවාට දේවත්වය ආරුඪ කිරිමෙනි. ඒත් දේශපාලනඥයන් දේවත්වයට පත් කළ හැක්කේ ඔවුන්ට ඡන්දය දී බලය ලබා දීමෙනි.

අතීත දෙවියන් අදෘෂ්‍යමාන ය. එසේ වුව ද කලා ශිල්පීහු ඔවුන්ට රූපයක් නිර්මාණය කර දුන්නෝ ය. දේශපාලන දෙවියන් දෘෂ්‍ය මාන ය. ඔවුන්ට ඒ දෘෂ්‍යමාන රූපයට එහා ගිය ප්‍රතිරූපයක් ඇත. එය නිර්මාණය කරන්නේ මාධ්‍යකාරයන් ය. ජන මාධ්‍යයන් ය.

එළැඹ තිබෙන්නේ ජනපතිවරණ හා මැතිවරණ සමය ය. ඒ දේශපාලනඥයන් දේවත්වයට පත් කිරීමේ අවස්ථාවන් ය. නැති ගුණ වයමින් ඔවුන් වේදිකාවලට වඩම්මනු ලබන්නේ ය. ඔවුන් මේ මොහොතේ දෘෂ්‍යමාන වන්නේ, පසුව අපට පිටුපා, එක්තරා දුරකට අදෘෂ්‍යමාන වී, දෙවි කෙනකු වන්නට ය. ඊට පසුව ඔවුන් හමු විය යුත්තේ දෙවියන් මෙන්ම අතරමැදියන් හරහා ය.

ඔවුන් දූෂණය නැති කරනවා යැයි කීවාට අප ඒ කතා එහෙමට විශ්වාස කළ යුතු නැත. අපට අවශ්‍ය දූෂණය නැති කිරීමට නොවේ. මොනවා හෝ බොරුවක් කියා අපේ මිනිහා බලයට එන එක ය. ඔවුන්ට අපට සරණ විය හැක්කේ බලය ඇති විට නිසා ය.

දෙවියන් දෙවියන්ගෙන් සරණ පැතීම

“දේශපාලන දෙවියන්“ අපට සරණ වූවාට ඔවුන් ද සරණ පතා ඇතැම් විට යන්නේ අප සරණ පතන අතීත දෙවියන් ළඟට ම ය. නොපෙනෙන දෙවියන් ළඟට ම ය. ඇතැම් විට ශ්‍රීපති කෝවිලට ය. සමහර විට කතරගම දෙවොලට ය. නැතිනම් රත්නපුරේ මහ සමන් දේවාලයට ය. විෂ්ණු කෝවිලට ය. කන්දේ දේවාලයට ය. එහෙම බැලුවහම තාමත් හැබෑ වැඩකාරයා වන්නේ මේ නොපෙනෙන දෙවියන් ය.

අපටත් වඩා පිරිත් නූල් ද සුර ද මුදු ද වෙනත් එවැනි හාස්කම් සහිත සුකුරුත්තන් ද ඇත්තේ දේශපාලන දෙවියන්ට ය.

සමහර විට නොපෙනෙන දෙවියන් දිගින් දිගට පවතින්නට කාරණය ද මෙය ම වෙන්නට පුළුවන. පෙනෙන දෙවියන් පවා නොපෙනෙන දෙවියන් සරණ යන විට, නොපෙනෙන දෙවියන් සෙසු මිනිසුන් විසින් සරණ යෑම අරුමයක් විය හැකි ද?

නොපෙනෙන දෙවියන් විශ්‍රාම යැව්වාට පෙනෙන දෙවියන් මුළුමණින් විශ්‍රාම යවන්නට අපට බැරි ය. අපට කළ හැක්කේ උන් මාරු කිරීම පමණ ය.

නොපෙනෙන දෙවියන් ලෝකය පාලනය කරනවා යැයි කීවාට ඔවුන් කරන පාලනයක් නැත. එහෙත් පෙනෙන දෙවියන් ලෝකය කෙසේ වෙතත් රට පාලනය කරන නිසා උන් විශ්‍රාම යවා බැරි ය. එකම සහනයකට ඇත්තේ අපට මේ පෙනෙන දෙවියන් රුයිතෙට යනවා නම් මාරු කර ගැනීමේ අවස්ථාව වසර පහ හයකට වරක්වත් තිබීම ය.

ඒ අතින් නොපෙනෙන දෙවියන් විශ්වාස කළ අපේ මුතුන් මිත්තන්ට වඩා අප වාසනාවන්ත ය. එකක් නම් පැහැදිලි ය. ඒ තව කාලයකට අපට කවුරු හෝ දෙවියන් පිරිසක් නැතිව බැරි බව ය. නොපෙනෙන දෙවියන් කෙසේ වෙතත් පෙනෙන දෙවියන් නම් නැතිව බැරි බව ය. තාක්ෂණය දියුණු වී සියල්ලේ පාලනය කෘතිම බුද්ධියකට පැවරිය හැකි දාකට මේ පෙනෙන දෙවියන් ද විශ්‍රාම ගැන්විය හැකි වනු ඇත.

ලෝකයේ මිනිසුන් සැබෑ ලෙස නිදහස් වනු ඇත්තේ එවැනි දාක ය. ඒ සඳහා ද අපට විශ්වාසය තැබීමට සිදු ව ඇත්තේ විද්‍යාව කෙරෙහි ය. නොපෙනෙන දෙවියන් බොහෝ සිත් තුළ අවලංගු කර දැමූ විද්‍යාව කෙරෙහි ය.

ඊට මෙහා කළ හැකි දෙය මේ පෙනෙන දෙවියන්ට අසීමිත බලයක් දීමෙන් වැළකීම ය. රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා, අධ්‍යාපනික අවස්ථා මේ අයගේ මැදිහත් වීමකින් තොරව ලබාගත හැකි ක්‍රම සම්පාදනය කිරීම උදෙසා හඩ නැගීම ය. ඒවා ලබා දීමේ දී වඩා විනිවිදභාවයක් ඉල්ලා සිටීම ය.

දෙවියන් අතට හැන්ද දී උන් සාධාරණ ලෙස බෙදා දෙන ලෝකය සිහිනයක් පමණකි. ඇත්තටම හැන්ද පිරිනමන බොහෝ දෙනකුගේ අපේක්ෂාව ද සාධාරණ බෙදා දීමක් නොවේ. උන්ගේ අපේක්ෂාව පඩුරු පාක්කුඩම් පිරිනමන, ආවතේව කරන, තමන්ට ම දෙවියන් විසින් හැන්ද භාවිතා කරනු ලැබීම ය. දෙවියන්ට අති විශාල බලයක් ආරුඪ වී ඇත්තේ ද අපේ මේ කුහකකම නිසා ය. විලි ලජ්ජා නැතිකම නිසා ය.

ඒ නිසා මේ සම්බන්ධයෙන් ද අප ද වගකිව යුතු ය. දෙවියන් ඉටු කර දෙන්නේ අපේ අපේක්ෂාවන් ය. ඒවා ලොකු පුතාට රස්සාවක්, පොඩි එකාට ජාතික පාසලක්, ඇඹෙනියට මාරුවක්, ගමට බෝක්කුවක් වැනි, අපගේ පෞද්ගලික සිල්ලර අපේක්ෂාවන් වන තරමට මේ දෙවියන් ද කැමති ය. ඒවා ඉටුකර දීම මහ දෙයක් නොවන නිසා ය. ඒ හරහා තමන්ට තවදුරටත් දේව බලය භාවිතා කරමින්, පඩුරු පාක්කුඩම් ලබා ගනිමින්, සුව පහසුවෙන් වැජඹිය හැකි නිසා ය.

දේවාලවලට ඇතැමුන් යන්නේ තමන්ට කිසිවක් කර ගන්නට නොවේ. එදිරිවාදියාට කෙළවන්නට ය. ගම්මිරිස් අඹරන්නට ය. වස් කවි කියන්නට ය. ජනපතිවරණයට මුවා වී විරුද්ධවාදියා, විරුද්ධ පාක්ෂිකයකු කර, උගේ ගෙට ගිනි තියන්නට ය. අසූචි ගහන්නට ය. එවැනි වෙලාවක තමන් අමාරුවේ වැටුණොත් දේශපාලන දෙවියන්ගෙන් අපේක්ෂා කරන්නේ ආරක්ෂාව ය. බේරා ගැනීම ය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ දෙවියන් පලවා හැරීමට විද්‍යාවට පමණක් බැරි බව ය. එය කළ යුත්තේ විද්‍යාවේ පිහිට ලබන මිනිසුන් විසින් බව ය. ඒ තීරණය ගෙන ඒ සඳහා කැප වූ දාක මිනිස් වර්ගයාට සැබෑ විමුක්තිය ලැබෙන බව ය. එ දවස තව බොහෝ දුර බව ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *