ජී.එල්. ඔයා ‘උත්තරීතර’ කියවන්න – අනුර සූරියබණ්ඩාර

අගවිනිසුරුවරයකුගේ කාර්යභාරය කවුරුත් සතුටට පත්කරන එක නෙමෙයි. නීතියයි යුක්තියයි නිවැරදි විදිහට ක්‍රියාත්මක කිරීමයි

චන්ද්‍රගුප්ත තේනුවර  සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය ප්‍රශ්න කරමින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම නිශ්ප්‍රභා කරන්නට යෙදුණි. එම ප්‍රතික්ෂේපය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිබව තහවුරු වී තිබේය යන්නක් සමාජ ගතකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මෙරට ජනමාධ්‍ය බොහොමය උත්සාහ කළ නමුත් බැලු බැල්මට පෙනීයන කරුණ වන්නේ ගෝඨාභය මහතා සිය ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය නිවැරැදි බව අධිකරණය තීරණය කර ඇති නමුත් එමගින් ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවයට අධිකරණය විසින් නැත! යන පිළිතුරක් ලැබී නැති බවයි. එනම් අධිකරණ තීන්දුව මගින් කියැවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යනු නීත්‍යානුකූලව මෙරට පුරවැසිභාවය ලබා ඇති තැනැත්තකු වන බවයි.

ගෝඨාභය මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ජනතාව හමුවේ තහවුරු කළයුතු තවත් කරුණක් තිබේ. එනම් 2005 වසරේ ගෝඨාභය මහතා කඩිමුඩියේ ලබා ගන්නා ලද ද්විත්ව පුරවැසිභාවය ඔහු තවමත් දරමින් සිටින්නේද නැතිද යන්නයි. එනම්, එහිදී ඒ මහතා තමා මේ වන විට තමාගේ ඇමෙරිකානු පුරවැසි භාවයෙන් ඉවත් වී සිටින බව ජනතාව හමුවේ සාක්ෂි සහිතව ඉදිරිපත් කළ යුතු වන්නේය.

ගෝඨාභය මහතාට තම ද්විත්ව පුරවැසි බව ඉදිරි ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමේදී බාධාවක් වශයෙන් බලපානු ඇති බවට සැකයක් පොදු පෙරමුණට ඇති බව පෙනී යන්නේ චමල් රාජපක්ෂ මහතා අතිරේක ක්‍රිඩකයකු ලෙස හෙවත් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට ඇප තැන්පත් කර සූදානම් කර තබා තිබූ නිසාය.

මේ ලිපියේ අරමුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිබව පිළිබඳ සාකච්ඡා කිරීම නොවන බැවින් ඒ කාරණා එතැනින් නරත කර අදාළ මාතෘකාවට පිවිසීමට සිදුවී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි බව ප්‍රශ්න කරන පෙත්සම නිශ්ප්‍රභා වීමෙන් පසුව උසාවියෙන් පිටතට පැමිණ ජනමාධ්‍යවලට අදහස් දක්වමින් පොදුජන පෙරමුණෙහි සභාපති ජී.එල්. පීරිස් මහතා පැවසුවේ ගෝඨාභය මහතාගේ නඩුව සම්බන්ධ තීරණයේ දී අධිකරණය අනුගමනය කළ ස්වාධීන පිළිවෙත අගය කරන බවයි.

අධිකරණයට එම ස්වාධීනත්වය ලැබුණේ කෙසේද යන්න එහිදී ජී.එල්. පීරිස් මහතා හෝ ජනමාධ්‍ය හෝ පැහැදිලි කළ බවක් පෙනුණේ නැත. පැහැදිලිවම අධිකරණ නිදහස යනු වත්මන් යහපාලන ආණ්ඩුව හේතුවෙන් එනම් 19 වැනි සංශෝධනය හේතුවෙන් සහ කොමිෂන් සභා පත්කිරීම ආදිය හේතුවෙන් ලැබුණු දෙයක් බව කියන්නට ජී.ඒල්. පීරිස් මහතාට හෝ පොදුජන පෙරමුණට අවංකභාවයක් නොමැති බව ජනතාව වටහා ගත යුතුය.  

අධිකරණයට වර්තමානයේ ලැබී ඇති නිදහස සහ රාජපක්ෂ පාලනය යටතේ අධිකරණයට එල්ල වී තිබුණු දේශපාලන පීඩනයේ තරම වටහා ගැනීමට වැදගත්වන කෘතියක් පසුගිය සාහිත්‍ය මාසයේ අගදී එළිදක්වන්නට යෙදී තිබුණි. කෘතියේ රචිකාව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය කැලෑ නීතිය යටතේ නඩු අසා තනතුරෙන් පහකරන්නට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරනු ලැබුවේ දිවිනැගුම පනත සම්බන්ධව ඇය ද අතුළත් විනිශ්චයකාර මණ්ඩලය ලබා දුන් තීන්දුව නිසාය යන්න ජනප්‍රිය මතයයි. එහෙත් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඉන් එහා ගිය අධිකරණයට ඇඟිලි ගැසීමක් පැවති බව හෙළිදරව් කරන කරුණු රැසක් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් රචනා කරනු ලැබු උත්තරීතර කෘතියේ අඩංගුව තිබේ. ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරු වශයෙන් දිවුරුම් දුන් මොහොතේ පටන් තමාට නොයෙක් ආකාර කරදර බාධකවලට මුහුණ දීමට සිදු වු බව ඇය එහිදී කියන්නීය.

දිව්රුම් දීම අවසන් වු සැණින් ජනාධිපතිවරයාට තමා සමග කතා කිරීමට අවශ්‍ය වු බවත් රටේ ප්‍රධාන පුරවැසියා සහ තමාගේ පත්වීම් බලධාරියා වශයෙන් ජනාධිපතිවරයා සමග කතා කිරීම සම්බන්ධව තමාට ගැටලුවක් නොතිබුණු බවත් ඇය පැහැදිලි කරයි. උත්තරීතර කෘතියේ 27-30 දක්වා පිටුවල ඒ ගැන සඳහන් වන්නේ මෙසේය.

“ජනාධිපතිතුමා මගෙන් ඇහැවේ එක ප්‍රශ්නයයි.”

“අධිකරණ සේවා කොමිසමේ ලේකම් විදිහට පත්කරන්නේ කවුද?”

ඒ ප්‍රශ්නයට මම විමතියට පත් කළා. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කලින් අධිකරණ සේවා කොමිසමේ ලේකම් පත්කිරීමේ බලය තිබුණේ කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා ගන්න තීරණයක් මත ජනාධිපතිවරයාට. මේ ප්‍රතිපාදනය 17 වැනි සංශෝධනයෙන් වෙනස් වෙලා, පත්කිරීමේ බලය අධිකරණසේවා කොමිසමට පවරලා තිබුණා. අගවිනිසුරු නිලබලයෙන් පත්වෙන අධිකරණ සේවා කොමිසමේ සභාපති, කොමිසමේ තවත් සාමාජිකයන් දෙන්නෙක් ඉන්නවා. කොමිසමේ තීරණයක් කියන්නේ තුන්දෙනාම එකතු වෙලා සාකච්ඡා කරලා ගන්න තීරණයක්. එහෙම නැතිව එකේ සභාපතිට ඕනෑ විදිහට එක එක වෙලාවට තීරණ ගන්න බෑහැ.”

ජනාධිපතිතුමා උත්තරයක් බලාපොරොත්තුව මම දිහා බලාන ඉන්නවා. මට දෙන්න උත්තරයක් නැහැ. අලුත් තනතුරක දිවුරුම් දුන්න ගමන් අනිත් පත්වීම් ගැන මම තීරණය කරන්නේ කොහොමද?

හැම දෙයක් ගැනම හිතලා මම ජනාධිපතිතුමාට කිව්වා කොමිසමේ අනික් සාමාජිකයන් දෙන්නත් එක්ක සාකච්ඡා කරලා මුලින්ම වැඩ බලන පත්වීමක් කරන්න අදහස් කරනවා කියලා. ඒ වගේම මට කලින් හිටපු අගවිනිසුරුතුමා පත්කරපු, දැනට නියෝජ්‍ය ලේකම් විදිහට වැඩකරන මංජුල තිලකරත්නට බොහෝදුරට වැඩබලන ලේකම් විදිහට පත්කරන්න සිදුවෙයි කියලත් මම කීවා.

ජනාධිපතිතුමා පුපුරා හැලුණා.

2009 ජුනි මාසයත් 2011 මැයි මාසයත් අතර කාල පරාසය ඇතුළේ මම ජනාධිපතිතුමාව කීප වතාවක්ම මුණගැහිලා තිබුණා. ඒ මම නව වතාවක් නිතර ඒ වකවානුව ඇතුළේ වැඩ බලන අග විනිසුරු  විදිහට දිවුරුම් දෙන්න ගිය නිසා. ඒ හමුවීම් ඉතාම සුහදයි. මම කවදාවත් ජනාධිපති මේවිදිහට කෝපයට පත්වෙලා ඉන්නවා දැකල නැහැ.

ජනාධිපතිතුමාට එච්චර තදින් කෝපයට පත්වෙන්න හේතුව මොකක්ද කියලා මම කල්පනා කළා. තරහව තියෙන්ඩ ඇත්තේ කොමිසම කරන්ඩ ගිය පත්වීම ගැන නෙමෙයි. තමන් කරපු පත්වීම ගැනයි. තමන් පත්කරපු පුද්ගලයා තමන්ගෙන් කිසිම විමසීමක් නොකර පත්වීම් කරන එක ගැනයි. නමුත් අගවිනිසුරුවරයකුගේ කාර්යභාරය කවුරුත් සතුටට පත්කරන එක නෙමෙයි. නීතියයි යුක්තියයි නිවැරදි විදිහට ක්‍රියාත්මක කිරීම.”

මේ වනාහි උත්තරීතර කෘතියේ එන එවැනි එක් සිදුවීමක් පමණි. මේ සිදුවීමෙන් පමණක් වුව වැටහෙන්නේ අධිකරණය කෙරෙහි එකල විධායකය හැසිරී ඇත්තේ කෙසේද යන්නයි.

අද ජී.එල්. පීරිස් මහතා වැන්නන්ට අධිකරණයේ ස්වාධීනත්වයට ස්තූති කරන්නට හැකි වී ඇත්තේ එම යකඩ සපත්තුවේ ග්‍රහණයෙන් අධිකරණය මුදා ගන්නට ජනවාරි වෙනස විසින් කටයුතු කළ නිසාය.

නමුත් ගැටලුව වන්නේ ඒ බව පෙන්වා දෙන්නට ජනමාධ්‍ය ඉදිරිපත් නොවීමයි. මේ මොහොතේ ජනමාධ්‍ය අනුගමනය කරන පොහොට්ටුවාදි ක්‍රියා පිළිවෙත අනුව එය සාධාරණ යැයි සිතිය හැකි වුවද නුඹලාගේ ග්‍රහණයෙන් අධිකරණය ගලවා නිදහස් කොට සාධාරණ අධිකරණයක් රටට ලබා දුන්නේ අපිය කියා කියන්නට එක්සත් ජාතික පක්ෂයට වැඩ පිළිවෙළක් නොතිබීම කනගාටුවනවා හැර කරන්නට දෙයක් නැත.

අනුර සූරියබණ්ඩාර           

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *