නව ව්‍යවස්ථාවට පුරවැසි අදහස් ගන්න මහජන නියෝජිත කමිටුවක් මේ සතියේ

විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට ජනාධිපතිවරයා නැවත ප්‍රතිඥා දීමත් සමග ම  ඒ සඳහා ක්‍රියාකිරීමට විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කොට ඇත . අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ එම  කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, චම්පික රණවක, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ජයන්ත ඇතුලු පිරිසකි. නව ව්‍යවස්ථාව සඳහා පුරවැසියන්ගෙන් අදහස් ලබාගැනීමට මහජන නියෝජිත කමිටුවක් පත්කිරීමට මේවන විට කටයුතු කෙරෙමින් පවතින බව යුක්තියට සමීප ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

ආණ්ඩු පක්ෂයෙන් 6දෙනෙක් සහ විරුද්ධ පක්ෂයෙන් 3ක් වශයෙන් මෙම මහජන නියෝජිත කමිටුවට ඉදිරි සතිය තුළ පත්කිරීමට නියමිත ය. නව ව්‍යවස්ථාව සඳහා මෙම කමිටුව විසින් සති තුනක කාලයක් මහජන අදහස් ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් දැනගන්නට ඇත. නව ආණ්ඩු ක්‍රමය සඳහා මූලික වශයෙන් කරුණු 10ක් මුල් කරගෙන අදහස් ලබාගැනීමට නියමිත ය. විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම, බලය බෙදීම සහ අධිකරණයේ සිදුවිය යුතු වෙනස්කම් ඇතුලුව තවත් කරුණු 7ක් මෙයට ඇතුලත් ය.

එම කරුණු 10ට අදාළ මහජන අදහස් සහ නියෝජිත කමිටුවේ නිර්දේශ සමගින් කැබිනට් අනු කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙවැනි පියවර ආරම්භ කෙරෙනු ඇත. ස්ථාවර නියෝග අත්හිටුවා සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවක් බවට පත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙහි දෙවැනි පියවර වේ. එයින් පසුව ඉදිරිපත් වී ඇති මහජන අදහස් ද සැළකිල්ලටගෙන එම පාර්ලිමේන්තු කමිටුව විසින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරෙනු ඇත. එම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියක් ලබාගෙන ජනමත විචාරණයකට ලක්කිරීමට නියමිත ය. ජනවාරි මාසයේ දී ආරම්භ කිරීමට නියමිත මෙම වැඩපිළිවෙල මාස 6කින් අවසන් කිරීමට අගමැතිවරයා සැළසුම්කර ඇතිබව දැනගන්නට ඇත.

සෝභිත හිමියන්ගේ තෙමස් පින්කමට පෙර හදිසි පනතකින් පවතින ව්‍යවස්ථාව සංශෝදය කර  ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමේ ජනාධිපතිතුමාගේ  අදහස මේ වනවිට අත්හැර දමා ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . ඒ වෙනුවට සමස්ත පාර්ලිමේන්තුව සහභාගී කරගෙන ව්‍යවස්ථාව වෙනස්කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහය වී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *