‘ගෝඨාබය පුරවැසිකම ඉල්ලා නැහැ’- ඇමති වජිරගෙන් බරපතල ප්‍රකාශයක්!

ගෝඨාබය රාජපක්ෂ 2005 දී ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත්‍රයක් නොමැති බව අභියාචනාධිකරණයට දන්වන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානකද සිල්වා ඊයේ (ඔක්.03) අභියාචනාධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.

නීතිඥ චානක ද සිල්වා මේ බැව් පැවසුවේ ගෝඨාබය රාජපක්ෂගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම් පත සහ ද්විත්ව පුරවැසිභාවය සනාථ කරන බලපත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීය.

විධායක ජනාධිපති රජයේ සහ අමාත්‍ය මණ්ඩලයේ නායකයා වුවත් රටේ පාලන බලය මෙහෙය වන්නේ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය වන බැවින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෝඨාබය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි සහතිකයට අත්සන් කිරීම නීති විරෝධී යැයිද ඇමතිවරයා වෙනුවෙන් නීතිඥ චානක ද සිල්වා වැඩිදුරටත් පවසා ඇත.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා කියා ඇත්තේ විධායක ජනාධිපතිවරයාට රටේ  ජනතාවගේ (සර්වජන) ඡන්දය සහ විධායක බලය ඇති බැවින් ඔහු වෙනත් ඇමතිවරයෙකුගේ බලය පාවිච්චි කර නැති බවය.

ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ ලේඛන ‘මිසින්’

ගෝඨාභය රාජපක්ෂ 2005 දී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ ලේඛන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැතිවීම ගැන තොරතුරු හැකි ඉක්මනින් දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මෙහිදී අභියාචනාධිකරණය නීතිපතිවරයාට විශේෂ නියෝගයක් කර තිබේ.

එහිදී එම ලේඛන අස්ථානගත වීම හෝ අතුරුදන් වීම සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ කුමන නිලධාරියාද යන්නත් දිවුරුම් ප්‍රකාශයට ඇතුළත් කරන ලෙස අභිවාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

එයට අමතරව මෙම කිවුරුම් ප්‍රකාශය ඕනෑම පරීක්ෂණයකට ඉදිරිපත් කළ හැකි ආකාරයෙන් ලබා දෙන ලෙසද නීතිපතිවයාට නියෝග කර තිබේ.

CID විමර්ශන තුනක් !

‘පොහොට්ටු’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය සහ විදෙස් ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් ලබාගත් ආකාරය පිළිබඳ කරන විමර්ශනයේ වාර්තා තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව 2005 නොවැම්බර් 19 වැනිදා, මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දිනයේම, ඇමරිකානු පුරවැසියෙකු වූ ගෝඨාබය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා අයදුම් කර තිබේ.

කැබිනට් මණ්ඩලයක් පත්වීමටත් පෙර නොවැම්බර් 21 වැනිදා ද්විත්ව පුරවැසිභාවය පිරිනැමෙන සහතිකය ඔහුට ලබාදෙන අතර, එහි ලේකම් වෙනුවට යනුවෙන් අත්සනක්ද ආගමන විගමන භාර අමාත්‍යවරයා ලෙස ජනපති මහින්ද රාජපක්ෂද අත්සන් කොට තිබේ.

ඒ වන විට නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොමැති අතර පුරවැසි පනත අනුව ද්විත්ව පුරවැසිභාවය ලබාදිය හැක්කේ විෂය භාර අමාත්‍යවරයාට පමණි. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී ඇත්තේ නොවැම්බර් 24 වැනිදාය.

ජාතික හැඳුනුම්පත හා විදෙස් ගමන් බලපත්‍රය ලබාගත් හැටි මෙන්න !

ගෝඨාබය රාජපක්ෂ පසුව ජාතික හැඳුනුම්පත හා විදෙස් ගමන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ, ඉහත සඳහන් ආකාරයට දින තුනක් තුළ විෂයභාර අමාත්‍යවරයාගේ අත්සන නොමැතිව ලබාගත් ද්විත්ව පුරවැසි සහතිකය ඉදිරිපත් කරමිනි.

ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ක්‍රමය නීත්‍යානුකූල නොවේ නම් ඊට පසු ගත් හැඳුනුම්පත හා විදෙස් ගමන් බලපත් වලංගු වන්නේ කෙසේද යන්න ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමේදී ඔවුන්ගේ නීතිඥයන් ප්‍රශ්න කර තිබේ.

ගෝඨාබය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍ර 4ක් භාවිත කර ඇති අතර පැරණි ජාතික හැඳුනුම්පතක් හා නව ජාතික හැඳුනුම්පතක් භාවිත කර ඇත. නව ජාතික හැඳුනුම්පත ගත් පසුවද පැරණි හැඳුනුම්පත භාවිත කර තිබේ. 

එමෙන්ම 2004 සිට 2007 වනතුරු ගෝඨාබයගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගොනුවක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නැත. එහෙත් 2007 සිට එවැනි ගොනුවක් ඇති අතර 2014දී එම දෙපාර්තමේන්තුව පරිගණක ගත කළ දත්තවල ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ තොරතුරු දැක්වේ.

ඔහුගේ ද්විත්ව පුරවැසි අංකය වන 15203 පරිගණක දත්ත වෙත යොමු කළ විට දෙමළ ජාතිකයෙකුගේ නමක් පෙන්වන බවද 15203 A යනුවෙන් යොමු කළ විට ඔහුගේ නම ලැබෙන බවත් රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවල සඳහන්ය.

මෙම පෙත්සම අද (04) වැඩිදුර සලකා බැලීමට නියමිතව තිබූ අතර එහිදී පෙත්සම්කරුවන් ඉල්ලා ඇති නියෝග ලබා දෙන්නේද යන්න තීන්දු කිරීමටද නියමිතව තිබිණි.

(රාවය-ඔක්තෝම්බර් 04)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *