|

අපේක්ෂකත්වය දිනාගත් සජිත්ටත් පක්ෂය රැකගත් රනිල්ටත් සුභපැතුම් ; සජිත්ට එක්වූ සමාජවාදියෝ ; රණවිරුවන් හමුවෙන්න ගෝටා බෑ කියලා

පොහොට්ටු අපේක්ෂකයා ලෙස ගෝඨාභය පත් වූයේ පසුගිය මස 11 වැනිදාය. ඔහු එම අපේක්ෂකත්වය ලබාගත්තේ වටේ සිටි හමුදා අංශ ඇතුළු බොහෝ දෙනේකුගේ දැඩි බලපෑම් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට එල්ල කරමින් බවට මතවාද පවතී.

එජාපය තුලද අපේක්ෂකත්වය පිළිබඳව පැවැතුනේ සීතල අරගලයකි. අවසානයේ අගමැති රනිල්ගේ පූර්ණ එකඟතාවයෙන් අගමැතිවරයා විසින්ම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට සජිත්ගේ නම යෝජනා කරනු ලැබූ පසු එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ ස්ථිරත්වයෙන් පසුගිය 26 වැනි බ්‍රහස්පතින්දා සිරිකොත එජාප මූලස්ථානයේදී නිල ලෙස එය සම්මත වූ අතර එය සැමරීමට දහස් ගණනක් සිරිකොත වටා රැස්ව සිටියහ. සිරිකොත ඉදිරිපිට පමණක් නොව රට පුරා ගම් නගර සිසාරා එදින තරම් රතිඤ්ඤා පුපුරපු දිනයක් ඉතිහාසයේ නොතිබූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමය.

සජිත්ගේ අපේක්ෂකත්වයට දැවැන්ත ජාතික සහ ජාත්‍යන්තර සුභපැතුම් ගලා එද්දී පක්ෂය එක්සේසත් කරන්නට එකී තීන්දුවට මූලිකත්වය ගත් අගමැති රනිල්ටද දැවැන්ත සුබපැතුම් ගලා එන්නට විය.

අනතුරුව පසුදා සිටම දිනපතා රනිල් සහ සජිත් උදේ පාන්දරින්ම හමු වී මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කිරීමට අදාල තීරණාත්මක සාකච්ඡා වලට එක්විය. එහිදී ගනු ලබන තීන්දු තීරණ සජිත් විසින් එජාපෙ පක්ෂ නායකයන් ඇතුළු ඡන්ද ව්‍යාපාරයට අදාල මෙහෙයුම් මණ්ඩල වලද දැනුම් දී එය ක්‍රියාත්මක කරවන්නට විය.

සෑම දිනකම සජිත් ඇමති මංගලගේ නිවසට ගොස් දෙස් විදෙස් මාධ්‍යකරුවන් හමුවේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් සිය ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් එලිදැක්වීම මෙන්ම එජාපය හැර ගිය පිරිස් මෙන්ම සෙසු පක්ෂ වල සාමාජිකයින්ද ඔහු වටා පෙළගැසෙන අයුරු ලෝකයටම ප්‍රදර්ශනය කළේය. පසුගිය දින කිහිපය පුරා නාවින්න, නියුමාල් පෙරේරා, ඒකනායක මෙන්ම මෙරට වාමාංශික දේශපාලනයේ වසර 70 ක ප්‍රබලයෙකු ලෙස සිටි අතාවුද සෙනෙවිරත්නද සජිත් වටා රොක් වීම විශේෂත්වයක් විය.

“තවම මේ කස කාරයින් පමණයි. මීටත් වඩා ලොකු සෙල්ලම් ඉදිරියේදී පෙනේවි. අපිත් එක්ක එකතුවෙන්න වැඩියෙන්ම උනන්දු වෙන්නේ පොහොටුවේ අයයි.” සජිත් නිතරම කියන්නේ එවැන්නකි.

“මම සමාජවාදියෙක්. මේ රටේ දශක ගණනක දේශපාලන අත්දැකීම් මට තියනවා. දැනට රට තුල සිටින වඩාත්ම ජනතාවාදී පොළොවේ පය ගැසූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදියා සජිත් ප්‍රේමදාස නිසයි මගේ සහය ඔහුට ලබාදෙන්නේ.” අතාවුද සෙනෙවිරත්න සජිත්ට ලබාදුන්නේ එවැනි අති විශිෂට දේශපාලන සහතිකයකි.

එදිනම තවත් පක්ෂ 16 ක් සජිත් හා එකතු වූ අතර සුළු ජාතික පක්ෂ ගණනාවක්ද සිටීම විශේෂත්වයක් විය. එසේම 2015 දී රාජපක්ෂ කඳවුරට සහය පළකළ එජාප ප්‍රබලයෙකු වන තිස්ස අත්තනායකද සජිත්ට සහය පලකිරීම ඔහු ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් සේ සැලකේ. තිස්ස සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස දැවැන්ත වගකීමකින් පිදුම් ලැබීමද විශේෂත්වයක් විය.

පසුගිය සිකුරාදා සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලය කොළඹ 02 වොක්ස්වෝල් වීදීයේ රක්ෂණ මන්දිරයට යාබදව විවෘත වූයේ රනිල් හා සජිත්ගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවටද දැවැන්ත ජනකායක් එක් වූහ. අගමැතිවරයා එහිදීද මැතිවරණ මෙහෙයුම් ගැන සජිත් හා තිස්ස ඇතුළු එජාපෙ ප්‍රබලයන්ට උපක්‍රම රැසක් පිළිබඳව දැනුවත් කළේය.

“සර්, අපි රැස්වීම් 160 ක් තියනවා. ඔබතුමා පුළුවන් සෑම එකකටම එන්න ඕනෑ. රනිල් සජිත් සුසංයෝගයයි මෙවර ජයග්‍රහණයේ තේමාව වෙන්නේ” තිස්ස අත්තනායක කීවේය.

“රැස්වීම් 160 ක් ? ඒකත් ලෝක වාර්තාවක් වේවි.” යැයි කී අගමැතිවරයා දෑත් හිස මත තබාගත්තේය.

“පුළු පුළුවන් හැම එකකටම මම එනවා. අඩුගානෙ එක දිස්ත්‍රික්කයක ප්‍රධාන රැස්වීමට හෝ මම එනවා. සජිත්ට දුවන්න පුළුවන්නේ. මොකද ගෝඨට වයස 70 යි සජිත්ට 50 යි නේ.” යයි අගමැතිවරයා කීවේ සිනහ මැදය.

“මේ වොක්ස්වෝල් කාර්යාලය වීදුරු ගෙයක්. රනිල් සජිත් – සජිත් විශේෂ සාකච්ඡාවක් කරනකොටත් ආපු පිරිස් කටවල් දිහා බලන් හිටියා. ඒක හරියන්නෙ නෑ. ආවරණ අවශ්‍යයි.” ලක්ෂමන් කිරිඇල්ල කී දේ රනිල් මෙන්ම සජිත්ද අනුමත කළ අතර ඒ සඳහා පිළියම් යොදන ලෙස තිස්සට උපදෙස් ලැබිණ.

බ්‍රහස්පතින්දා එජාපයට තවත් විශේෂ දිනයක් විය. ඒ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සම්මත කළ සජිත්ගේ එජාප ජනාධිපති අපේක්ෂකත්වය අනුමත කිරීමේ විශේෂ සමළුව සුගතදාසක්‍රීඩාගාරයේදී පැවැත්වීමට තිබූ බැවිණි. රනිල් සජිත් හමුව එදිනද උදේ අරලියගහ මැදුරේදී පැවැති අතර අගමැතිවරයා අනතුරුව කතානායකවරයා හමුවීමට එම නිල නිවසට යෑමට සැළසුම්කොට තිබිණ.

“මම සම්මේලනයට එන්නේ ඊට පස්සේ. සජිත් දැම්මට පස්සෙ විශාල පිබිදීමක් රට පුරා තියනවා. මුලින්ම ඉල්ලනකොටම දැම්මනම් මේ වෙනකොට ගෝඨාගෙ හුලං බැහැලාම ගියා වගේ සජිත්ගෙත් හුලං ටිකක් හරි අඩුවෙන්න තිබුණා. සමහර දේශපාලන උපක්‍රම බොහෝ දෙනෙකුට තේරෙන්නෙ නෑ.” අගමැති කීය.

“ඔබතුමා අන්තිමට මේක මට ලබාදෙන බව මම දැනන් හිටියා. මෙතන උපක්‍රමශීලී බවකුත් තිබුණා කියන එකත් ඔබතුමාගෙන් මට ඉඟි ලැබුණ බව මතකයි.” සජිත් කීවේ ස්තූති පූර්වකවය.

“දිනන අපේක්ෂකයට මේක දෙනවා කියල අපි රට පුරා කිව්වා. සජිත්ට දීමෙන් ගෝඨයි පොහොට්ටුවයි වගේම ශ්‍රීලනිපයත් ලොකු අවුලකට ගියා” ලක්ෂමන් කිරිඇල්ල කීවේය.

“ගෝඨාභය උසාවියට පුදුම බයක් තියෙන්නේ. හැම නඩුවකටම කෝටි ගණන් විසිකරලා එක්කො කල් ගන්නවා නැත්නම් නොගිහින් ඉන්නවා. රාජපක්ෂ කාලෙ අතුරුදහන් කරපු පෙරටුගාමී එකේ ලලිත් හා කුගන් නඩුවටත් තුන් පාරක් කර ඇරලා අන්තිමට උසාවියේ ආරක්ෂාව නෑ කියලත් ඇඟ බේරගත්තා. ගෝඨාභයට තරම් උසාවිය අනුකම්පා කරපු කෙනෙක් මේ රටේ තවත් නෑ කියලයි මිනිස්සු කියන්නේ” උපාලි පියසෝම කී දේට අගමැති ඇතුළු කාගේත්  එකඟත්වය පලවූයේ නිහඬ ප්‍රතිචාර මගිනි.

“මෙච්චර චෝදනා හා නඩු තියන ජනාධිපති අපේක්ෂකයෙක් ලෝකෙම නැතුවැති. ද්විත්ව පුරවැසිකමට අදාලවයි හැඳුනුම්පත හා පාස්පෝට් එකත් ව්‍යාජ බවටයි ඔහුට විරුද්ධව ඇති අලුත්ම චෝදනාව. ඒකට එදා ඇමති හැටියට කවුරුහරි අත්සන් කළාට එහෙම ඇමතිකමක් එදා තිබිල නෑ කියලයි නීති තර්කය වෙන්නේ. කාටත් හොරා ජනාධිපති කෙනෙක් මෙවැනි ප්‍රාථමික ලේඛනයකට අත්සන් කළානම් ඒකත් සදචාරත්මකද කියලයි නීතිඥයො අහන්නේ” ලක්ෂමන් කිරිඇල්ල කීවේ එවැන්නකි.

“මේ නඩුව බොහෝවිට ශ්‍රේෂ්ඨාධිකරණයටත් යන්න බැරි නෑ. ඒත් ගෝඨට අවාසි අවසන් තීන්දුවක් මේ අධිකරණයෙන් ආවොත් විතරයි නාමයෝජනා දෙන්න බැරිවෙන්නෙ කියලයි නීති විශේෂඥයො කියන්නෙ” චමින්ද විජේසිරි කීවේය.

“අවසන් තීන්දුවක් නෑවිත් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ නඩුව ගියොත් කූඨ ලේඛන තැනීම පිළිබඳව විශාල චෝදනාවක් එක්කයි ගෝඨාභයට චන්ද සටනට යන්න වෙන්නේ” හේෂා විතානගේ කීවේය.

“කූඨලේඛන ගැන රාජද්‍රෝහී චෝදනා සහිතව නාමයෝජනා දීපු යම් කෙනෙක්   ජනපතිවරණයක් දිනුවොත් ඒක විශාල ගැටළුවක්. අනිත් එක ඔහුගේ සෞඛ්‍ය තත්වයත් අවධානම් බවයි පේන්නෙ. කැම්පේන් එක අතෑරල බෙහෙත් ගන්න රට යන්නත් උසාවියෙන් අවසර ඉල්ලල තියනවා. මේ නිසා පොහොට්ටු කැම්පේන් එක හොඳටම අවුල් වෙලා තියෙන්නෙ කියල ඒ පැත්තෙ අයම පිළිගන්නවා.” දිනේෂ් වීරක්කොඩිගේ විග්‍රහය එය විය.

“ගෝඨාභය ලංකාවට ඇවිත් යුද්ධට ජනාධිපති අයිය හරහා කොළඹ ඉදන් පහසුකම් සැපයීමයි කළේ. සැළසුම් හදල යුද්ධය දිනුවෙ ෆොන්සේකයි. ගෝඨ කොළඹ ලස්සන කළාලු. විනාඩි 10 ක වැස්සකින් කොළඹ ලස්සන කරපු හැටි පේනවා.” උපාලි පියසෝම කීය.

“හිටපු හමුදාපති මහේෂ් සේනානායක අලුත් මූනක්. ඔහුත් ෆොන්සේක වගේ චෝදනා නැති යුද්දෙදි සටන් බිමේ හිටපු රණවිරුවෙක්. ඔහු ජනාධිපතිවරණයට එන එකෙන් ගොඨාගෙ ඡන්ද පදනම සම්පූර්ණයෙන්ම දෙදරලා. දැන් එජාප-ශ්‍රීලනිප සාකච්ඡා වල ප්‍රතිඵලය මොකක්ද? ඊයෙ නීතිපති අංශය ගෝඨගෙ නඩුව ගැන උසාවියට දීපු ස්ථාවරයෙන් ඒ සාකච්ඡා වල ප්‍රතිථලය කියවුණාද කියලයි මට හිතෙන්නෙ” මහාචාර්‍ය ආශු මාරසිංහ කීවේ එවැන්නකි.

“දේශපාලනික උසිගැන්වීම් වලට වර්ජන කරල ජනතාව පීඩනයට පත්කරන්න දෙන්න නරකයි දුම්රිය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර අත්‍යාවශ්‍ය සේවා කරන ගැසට් එක ආවාම වැඩට නොඑන අය ඉබේම සේවය අතහැර ගිය අය ලෙස සැලකේවි. ඡන්දයක් මැද මෙහෙම පහත් වර්ජන කරන ලෝකෙ එකම රට ලංකාව කියල මිනිස්සුන්ටත් දැන් හොඳ අවබෝධයක් තියනවා” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“සජිත් රණවිරුවන්ගෙ ප්‍රශ්නය විසඳන්න ඉදිරිපත්වෙලා කැබිනට් පත්‍රිකාත් දැම්මා. ඒත් සමහර පත්තර හා ජනමාධ්‍ය සජිත්ගෙ නම හැංගුවා. සජිත් රණවිරුවන් බලන්නත් ගියා. මේක කණ වැටුණු මහින්ද රාජපක්ෂ පැය කීපයකින් තනියම ගිහින් රණවිරුවොන්ට කතා කරල උපවාසෙ ඉවර කරන්න කිව්වා. ගෝඨාභය එතෙන්ට එන්න බෑ කියලලු. ඒ තමන් අතින් එදා රණවිරුවන්ට මේ වැරැද්ද කරපු බව පිළිගන්න වෙන නිසාලු. මහින්ද ආවහම මේ උපවාසය අතාරින්න රහස් තීන්දුවක් අරගෙන තියනව කියල ඒ රණවිරුවන් අතරින් විශාල පිරිසක් සජිත්ට පණිවිඩය දීල තියෙන්නෙ අපි පොහොට්ටු දේශපාලකයන්ගෙ අතකොළුවක් හැටියට මෙච්චර කල් වැඩකරලා තියනව කියන කණගාටුවත් එක්කයි” නවීන් දිසානායක තමාට ලැබුණු තොරතුරු තවදුරටත් එලිදැක්වූයේ ඉතා සංවේදීවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *