පිළිතුරු දෙන අපේක්ෂකයින් හා සැඟවෙන අපේක්ෂකයින්

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු නාම යෝජනා භාරදීමටත් පෙර සිටම උණුසුම් අයුරින් රට පුරා සිදුවෙමින් තිබේ. මෙවර එහි විශේෂත්වයක් වන්නේ ජනතා සභාව නම් ජනතාව සමග සිදුකරගන්නා සංවාද අවස්ථාවක් සහිත සම්මන්ත‍්‍රණ මාලාවය. ඇතැම් අපේක්ෂකයින් මාධ්‍යවේදීන්ට පවා ප‍්‍රශ්න ඇසීමට ඉඩ නොදෙන තත්වයක් යටතේ මෙම ජනතා සභාවලදී අනුර දිසානායක විසින් තම දේශනයට පෙර මහජනතාවට ප‍්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදී ඇත. ”මේ සභාවේ අහපු ප‍්‍රශ්නවලින් හුඟක් ඇහුවේ බලයට ආවාට පස්සේ කරන දේවල් ගැන. ඒ කියන්නේ, ජයග‍්‍රහණය පිළිබඳව තියෙන විශ්වාසය. ඒක හොඳ දෙයක්.” මාතර රවීන්ද්‍රනාත් තාගෝර් ශාලාවේ පැවති ජනතා සභාවේදී අනුර දිසානායක කීවේ ජනතාව විසින් ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තම කථාව ආරම්භ කරමිනි. ”ආස්ක් ඒකේඞී” නමින් ෆේස්බුක් සමාජජාලය ඔස්සේ අනුර කුමාර දිසානායක විසින් සතිපතා සිදුකරනු ලබන සජීවී සංවාදයද තරුණ පරපුර අතර අතිශය ජනප‍්‍රිය වී ඇති අතර මෙසේ සජීවීව ඉදිරිපත් වන ප‍්‍රශ්නවලට ඔහු ඍජුව පිළිතුරු සැපයීම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු විසින් සිදුකරන ලද නවතම අත්හදා බැලීමක්ද වේ.


දියුණු රටවල මැතිවරණ කාලයන්හිදී මැතිවරණ අපේක්ෂකයන් හා ජනතාව අතර පැවැත්වෙන සංවාද සුලභ තත්වයක් වන නමුත් ලංකාවේ ජනාධිපතිවරණයේ බොහෝ අපේක්ෂකයන් ජනතාව සමග වන සංවාදයෙන් පළා යාම සුලභ තත්වයක් වී තිබේ. පසුගියදා ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන්ට අවස්ථාව දී තිබූ නමුත් සෙසු අපේක්ෂකයන් එම අවස්ථාව මඟහැර යාම හේතුවෙන් ජාතික ජන බලවේගයටද එම අවස්ථාව අපතේ ගියේය. මෙම ඔක්තෝබර් 05වැනි දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනාධිපති අපේක්ෂකයන් කැඳවා කරනු ලබන සංවාදය සඳහාද මේ වන තෙක් අනුර කුමාර දිසානායක හැරෙන්නට වෙනත් කෙනෙක් පැමිණීම සහතික කර නැති බව දැනගන්නට තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *