ජාතික සේවක සංගමයත් පොහොට්ටුවෙද? – සිරිසේන රාජපක්ෂ

මේ ලියන මොහොත වන විට වර්ජන රැසක් ක්‍රියාත්මක වෙමින් තිබේ. දුම්රිය රියැදුරන් ස්ථානා‍ධිපතිවරුන් ඇතුළු පිරිස ද විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරින් ද, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද එසේ වර්ජනයට එක්ව සිටින පිරිසට අයත් වෙති.

වැඩවර්ජනවලට හේතුව ලෙසින් දක්වනුයේ වැටුප් විසමතාය. ආණ්‌ඩු විසින් විවිධ අවස්ථාවල සිදුකරනු ලැබ ඇති විවිධාකාර වැටුප් වැඩි කිරීම් හේතුවෙන් රාජ්‍ය සේවයේ විවිධ ශ්‍රේණි අතර වැටුප් විසමතා පැන නැගී ඇති බවද පිළිගත යුතු වේ. වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේත්, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් අතර පවතින වැටුප් පරතරය නිදසුනක් ලෙස දක්වන්නට පුළුවන. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකුගේ වැටුප මහවැලි ඉංජිනේරුවකුට වඩා පස් හය ගුණයක් බවද පැවසේ

වැඩවර්ජනයේ නිරතව සිටින පිරිස සාමාන්‍ය වැටුප් ලබන තැනැත්තන් නොවීම තවත් විශේෂත්වයකි. හේතුව ඔවුන් කම්කරුවන් ලිපිකරුවන් නොව විධායක මට්ටමේ නිලධාරින් වීමයි. නිදසුනක් වශයෙන් මේ වන විට වර්ජනයේ නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය මගින් ඉටු කරනු ලබන්නේ වෙනත් රටවල විශ්වවිද්‍යාලවල අචාර්යවරුන් විසින්ම ඉටු කරනු ලබන එදිනෙදා කටයුතුය. ඒ අනුව ගත්විට වෙනත් රටවල විශ්වවිද්‍යාල ආචාර්යවර්න් විසින් ඉටුකරනු ලබන සේවාවන් සඳහා මෙරට විශ්ව විද්‍යාලවලට වෙනම සේවක පිරිසක් බඳවාගෙන සිටී. එය විශ්වවිද්‍යාලවලට අමතර බරකි. විශේෂයෙන්ම වෙනත් රටවල විශ්වවිද්‍යාලවල මෙන් මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා මුදලක් අයකරනු නොලැබෙන බැවින් අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් බිල බැරවන්නේ මහා භාණ්ඩාගාරයටය. වක්‍රව ගත් විට ජනතාවගේ කරමතටය. ජනතා බදු මුදලින් වැටුප් ගෙවමින් අනවශ්‍ය පිරිසක් අනධ්‍යන කාර්ය මණ්ඩල ලෙස නම් කර නඩත්තු කරන්නේ කුමක් උදෙසාද යන්න වෙනම විමසා බැලිය යුතුය. ඔවුනට ගෙවනු ලබන වැටුපද සුළුපටු නැත. නිදසුනක් වශයෙන් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මධ්‍යම මට්ටමේ විධායක නිලධාරියකුගේ 2019.01.01 දිනට මූලික වැටුප රුපියල් 59,497කි. දිමනාද ඇතුළත් වූ විට එය රු.126,794ක් වේ. එම කාර්ය මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ විධායක නිලධාරියකුගේ මුලික වැටුප රු.85,360ක් වන අතර දිමනාද ඇතුළත් වු විට එය 178,520ක් බවට පත්වේ. සාමාන්‍ය රජයේ සේවකයකුගේ වැටුප වන රු.35,000, 40,000 සමග සංසංදනය කරන විට විධායකයන්ගේ වැටුප් සටනේ අසාධාරණ බව වඩාත් ඉස්මතු වේ. විධායක ශ්‍රේණියේ නිලධාරින් මෙලෙස වැටුප් ලබන්නේ ඔවුනට හිමිවන තීරබදු රහිත වාහන බලපත්‍ර ආදියට අමතරව බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

දැනට පවතින වැඩ වර්ජනවල අසාධාරණ බව පෙන්වන තවත් සාධකයක් වන්නේ, රජ්‍ය‌සේවකයන්ගේ වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ රනුගේ කමිටු නිර්දේශ අනුව 2020 ජනවාරි 01 දින සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව රජය පවසද්දිත් මෙම වැඩ වර්ජන ක්‍රියාත්මක වීමෙනි.    

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවයේ වැටුප් විසමතා ඉවත්කිරීම සඳහා රු.කෝටි 11,500කට වැඩි මුදලක් අවශ්‍යවන බවයි. මුදල් ඇමතිවරයාගේ මතය වන්නේ මේ මොහොතේ එය කළ නොහැකි බවයි. රජ්‍ය සේවයේ වැටුප් විසමතා ඉවත් කිරීම සම්බන්ධව අදහස් දක්වන මංගල සමරවීර මහතා පවසන්නේ රාජ්‍ය සේවයේ වැටුප් සඳහා රුපියල් කෝටි 80,000ක් පමණ වැය කළ යුතුව පවතින බවයි.

මෙතරම් මුදලක් වැය කරමින් නඩත්තු කෙරෙන රාජ්‍ය සේවයෙන් සැලකිය යුතු මහජන සේවයක් ඉටුවේද යන්න ඊළඟ කරුණයි. රාජ්‍ය සේවයේ පවතින මූලික දුර්වලතාවක් වන්නේ අකාර්යක්ෂමතාවයි. ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කර ගැනීම ඇතුන් ලවා වැඩ ගන්නවාටත් වඩා අසීරු බව ජනතාව දනිති. එකම කටයුත්තට කීප වතාවක් කන්තෝරුගානේ රස්තියාදු වන්නට සිදුවේ. අනෙක් අතට යම් රාකාරියක් කරවා ගැනීමට එක්කෝ දේශපාලන බලයක්, හිතවත්කමක් නැතහොත් අල්ලසක් අවශ්‍ය වේ. විවිධ ව්‍යාපෘති සඳහා ආණ්ඩුවෙන් වෙන් කෙරෙන මුදල් ජනතා සේවයට නොයදවා ආපසු භාණ්ඩාගාරයට යැවෙන තරම අනුවම රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව පිළිබඳ සිතාගත හැකිය. ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ ජනතා බදු මුදලින් අධ්‍යාපනය ලබා ජනතා බදු මුදලින් වැටුප් සහ වරප්‍රසාද ලබන අතර වීම දරුණුම ඛේදවාචකයයි.

දුමිරිය සේවකයන්ගේ වර්ජනය ද විවිධ හේතු ඇඳා ගනිමින් දිනෙන් දින දිග්ගැස්සෙමින් තිබේ. මෙරට දුම්රිය සේවය යනු භාණ්ඩාගාරයේ මුදලින් යැපෙන සුදු අලියෙකි.  කෘෂ එළදෙනක ගෙන් කිරි උරන්නන් මෙනි.  දුම්රිය සේවකයන් වැඩි පඩි ඉල්ලන්නේ එවැනි ආයතනයකිනි. මෙසේ වැඩි පඩි ඉල්ලන දුම්රිය සේවකයන් දුම්රිය නියමිත වේලාවට ධාවනය කරන්නටවත් උනන්දු වන පිරිසක් නොවේ. දුම්රියේ සිදුවන නාස්තිය දූෂණය නවතා ගතහොත් දුම්රිය ලාබ ලබන තත්ත්වයට වුවද පත්කළ හැකිවනු ඇත. එහෙත් ඒ සඳහා වෘත්තිය සමිති උනන්දු වන බවක් පෙනෙනන්නට නැත. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඇති කැඩුණු පුටුවලින්ම දුම්රියේ නාස්තිය දැක ගත හැකිය. මෑත කාලයේ දුම්රිය වේදිකාවලට එක් කළ පුටු තොගපිටින් කැඩී යද්දීත් සුද්දා තැනවූ ලී බංකු තවමත් තිබේ. අඩු වියදමින් අලුත්වැඩියා කළ බවට පුරසාරම් දෙඩූ දෙවැනි පන්තියේ මැදිරිවල සමහර ආසන මාස කීපයකින්ම අබලන් වී ඇති බව මගීහු දනිති. වැඩි පඩි ඉල්ලන දුම්රිය වෘත්තීය සමිති මේ කරුණු ගැන වචනයක් හෝ කතා කරන්නේ නැත.

ඊළඟ කාරණය වැඩ වර්ජනවලට පිටුපස ඇති දේශපාලනයයි. වර්ජකයන්ට අවශ්‍යව ඇත්තේ ඉල්ලීම් දිනාගැනීමට වඩා ආණ්ඩුව අපහසුතාවටත් අප්‍රසාදයටත් පත්කරවීම බව ඔවුන් එකින් එකට කරුණු ඇඳා ගනිමින් වර්ජනය නොනවත්වා කරගෙන යාමට උත්සාහ කිරීම මගින් පැහැදිලි වේ. එසේ නොවන්නේ නම් 2020 ජනවාරි සිට සිදුකෙරෙන වැටුප් වැඩි වීම සහ විසමතා ඉවත් කිරීම පිළිගෙන වර්ජනය අත්හැරීමට ඔවුන්ට හැකියාව තිබේ. ආණ්ඩුව කියන ආකාරයට 2020 ජනවාරි සිට සියලුම රජයේ සේවකයන්ගේ වැටුප වැඩි වන අතර එහිදී විධායක නිලධාරියකුගේ ආරම්භක වැටුප රු.9,587කින් ද අමාත්‍යාංශ ලේකම් ආරම්භක වැටුප රු.23,975කින් සහ පහළම රාජ්‍ය සේවකයාගේ වැටුප රු.3,000කින් ද වැඩි වනු ලැබේ.

ආණ්ඩුව වර්ජනයට මුහුණ දෙන ආකාරයද ගැටලු සහගතය. වර්ජකයන්ගේ අසාධාරණත්වය පොදු ජනතාවට පැහැදිලි කරන්නට මංගල සමරවීර අශෝක අබේසිංහ ඇමතිවරු හැර කිසිදු ඇමතිවරයකු මූලික වී ඇති බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන්ම දුමිරිය වර්ජනයක් රටේ පවතිද්දී ප්‍රවාහන ඇමතිවරයකු රටේ සිටින බවවත් පෙනෙන්නට නැත.

ජාතික සේවක සංගමය යනු දැනට පවතින ආණ්ඩුවේ වෘත්තිය සමිතිය වේ. ජනාධිපතිවරණයක් ආසන්නයේ ආණ්ඩුවට එරෙහිව දියත් වී ඇති වර්ජන හමුවේ ජාතික සේවක සංගමය ආණ්ඩුව ආරක්ෂාකර ගැනීමට අදහස් දැක්වීමක්වත් මෙතෙක් කර නැත. ඒ වත්මන් රජය රාජ්‍ය සේවකයාගේ වැටුප 107%කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබිය දී ය. ආණ්ඩුවේ වෘත්තිය සමිති කෙළින් සිටගත්තේ නම් බොරු වර්ජන දණගැස්සවීම අපහසු නැත. ඒ සදහා එක්සත් ජාතික පක්ෂ වහා වැඩපිළිවෙළක් සැකසිය යුතුය.

සිරිසේන රාජපක්ෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *