විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් රට බෙදෙනවාය කියන එක මුළුමනින් ම අසත්‍යයක් – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

විධායක ජනාධිපති ධුරය අපේ රටට කොයි තරම් ව්‍යසනයක් කරලා තියෙනවා ද කියලා අපි දන්නවා. ලෝකයේ තියෙන්නේ, ඇමෙරිකාව කේන්ද්‍ර කර ගත්ත විධායක ජනාධිපති ක්‍රමයක ආභාසය සහ බ්‍රිතාන්‍යය කේන්ද්‍රගත කර ගත්ත පාර්ලිමේන්තු පාලන ක්‍රමය කියන පාලන ක්‍රම දෙකක්. අපේ රට නිදහස ලබලා අවුරුදු හැත්තෑඑකෙන් අවුරුදු හතළිස්එකක් රට පාලනය කරලා තියෙන්නේ, විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍රගත කර ගත්ත පාලනයෙන්. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක එසේ ප්‍රකාශ කළේ පසුගිය දා මාතර දී පැවති ජාතික ජකතා සභාව අමතමිනි. තවදුරටත් කතා කළ අනුර දිසානායක මහතා මෙසේ ද කීවේය.

මේ සභාවේ අහපු ප්‍රශ්නවලින් හුඟක් ඇහුවේ බලයට ආවාට පස්සේ කරන දේවල් ගැන. ඒ කියන්නේ, ජයග්‍රහණය පිළිබඳව තියෙන විශ්වාසය. ඒක හොඳ දෙයක්. අපේ පාලනයක් යටතේ දී අනිවාර්යයෙන් ම හොරුන්ට දඬුවම් කරනවා. ඒ විතරක් නොවෙයි, හොරකමත් නතර කරනවා. හොරා ගත්ත ජනතාවගේ දේපළ ආපහු ලබා ගන්නවා. මම මේ කියන්නේ, කාර්යාල කාර්ය සහායක මහත්තයා ගෙදර යන කොට හාෆ් ෂීට් දෙකක් අරගෙන දරුවාට චිත්‍ර අඳින්න දෙන එක ගැන නොවෙයි. පොලිසියේ මහත්තයා පාරේ දී පුංචි පුංචි ආදායම් ගන්න එක ගැනත් නොවෙයි. ගත්තු ණය ගෙවා ගන්න පඩිය මඳි නිසා ඒ කරන දේවලුත් නතර කරන්න ඕනෑ තමයි. ඒවා කරන අය කරන්නේ ජීවත් වෙන්න.

හැබැයි, උඩ ඉන්න අය හොරකම් කරන්නේ, ජීවත් වෙන්න බැරි නිසා නොවෙයි. රවී කරුණානායක, බැසිල් රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ වාගේ අයට ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මන්දිර හදා ගන්න, ලෝකය පුරා කෝටි ප්‍රකෝටි ගණනින් වත්කම් ගන්න හොරකම් කරගෙන යනවා. අන්න ඒ අයට දඬුවම් දෙනවා විතරක් නොවෙයි, ඒ දේපළ යළි අත්පත් කර ගන්නා බවට සහතික වෙනවා.

ඊ ළඟට, විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප්‍රශ්නය. මේ ධුරය අපේ රටට කොයි තරම් ව්‍යසනයක් කරලා තියෙනවා ද කියලා අපි දන්නවා. ලෝකයේ තියෙන්නේ, ඇමෙරිකාව කේන්ද්‍ර කර ගත්ත විධායක ජනාධිපති ක්‍රමයක ආභාසය සහ බි්‍රතාන්‍යය කේන්ද්‍රගත කර ගත්ත පාර්ලිමේන්තු පාලන ක්‍රමය කියන පාලන ක්‍රම දෙකක්. අපේ රට නිදහස ලබලා අවුරුදු හැත්තෑඑකෙන් අවුරුදු හතළිස්එකක් රට පාලනය කරලා තියෙන්නේ, විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍රගත කර ගත්ත පාලනයෙන්.

විධායක ජනාධිපති පුටුවේ තක්කඩින්, උපාසකලා, ජෝකර්ලා වාඩි වෙලා මේ රටට කරපු විනාශය අත්විඳිමින් ඉන්නවා. ඒ නිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න තනි කෙනෙක් අතේ තියෙන විධායක බලය අහෝසි කරන්න ඕනෑ. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පස්සේ ඒක දාලා ගෙදර යාමෙන් ඔය වැඬේ කරන්න බැහැ. ලබන අවුරුද්දේ මාර්තු දෙවැනිදාට පස්සේ මහා මැතිවරණයක් එනවා. ඒ මහා මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවා ගන්නවා. අන්න ඒ ආණ්ඩුවේ පාලනය විසින් තමයි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ. ඒ කියන්නේ, ජනාධිපතිවරණයෙන් ඔබ ලබා දෙන බලය අත්හැර යාම නොවෙයි. ඒ බලය පාර්ලිමේන්තුව තුළ තවත් ශක්තිමත් කර ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉස්සරහට ගෙන යාමයි.

ඊ ළඟට මෙතැන දී ඇහුවේ, පළාත් සභා ශක්තිමත් වෙලාවක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම භයානකයි නේ ද කියලා. පළාත් සභාවලට ජනාධිපතිවරයාගේ බලය ගැටගැහිලා තියෙන්නේ, ආණ්ඩුකාරවරයාගෙන්. අපි ඉදිරිපත් කර තිබෙන විසිවැනි සංශෝධනයේ ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් පත් කිරීමට තිබෙන බලය කිසිසේත් ම අහෝසි වෙන්නේ නැහැ. එක්දහස් නවසිය අනූතුනේ දී වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශයට පත් කළාට පස්සේ පළාත් සභා විසුරුවා හැරියා. ඒ විසුරුවා හැරීමේ බලය තියෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ නොවෙයි. පළාත් සභා පනත ඇතුළේ. විසිවැනි සංශෝධන යෝජනාවේ ඒකට අතවත් තියලා නැහැ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් රට බෙදෙනවා ය කියන එක මුළුමනින් ම අසත්‍යයක්.

අද පළාත් සභා කියන්නේ, අකාර්යක්‍ෂම, මුදල් නාස්ති කරන තැනක්. අනෙක්  පැත්තෙන් පාර්ලිමේන්තුවට යන්න තමන්ගේ දුවලා, පුතාලා ටේ්‍රනින් කරන තැනක්. දුවලා, පුතාලා නැත් නම්, නෝනාට හරි මහත්තයාට හරි ටේ්‍රනින් දෙන තැනක්. පවිත්‍රාට ලොකු පුතෙක් නැහැ. ඒ නිසා මහත්තයා පළාත් සභාවේ. සාලින්ද දිසානායකගේ නෝනා පළාත් සභාවේ. පුතා ලොකු වෙනකම් ඉන්නේ. ශෂීන්ද්‍ර රාජපක්‍ෂ පළාත් සභාවේ. තාත්තා පාර්ලිමේන්තුවේ. මේ පවුල්වලට ටේ්‍රනින් කොලේජ් වෙනුවට මේ යාන්ත්‍රණය ජනතාවට සමීප ආයතන විදියට යොදා ගන්න අපි අපේක්‍ෂා කරනවා.

දැන් රජයේ ආදායම ණය වරික හා පොලිය ගෙවන්නත් මඳි. මේ තරමට විනාශ කරන ලද ආර්ථිකයක් ගොඩගන්නේ කොහොම ද කියලා අහනවා. මේක තමයි, අභියෝගය. ඒක ජය ගන්න නම්, මුලින් බලන්න ඕනෑ විනාශ වුණේ කොහොම ද කියලා. ලෝකයේ රටවල් ණය ගන්නේ ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් සහ තාක්‍ෂණ අවශ්‍යතා වෙනුවෙන්. අපේ රට ණය අරගෙන ප්‍රාග්ධනය වශයෙන් යොදවලා වත්කම් උපයලා නැහැ. ඒ නිසා ණය උගුලක අහුවෙලා ඉන්නේ. අපි හිතාගෙන හිටියේ, ණයවලින් අතුරුදන් කර ඇත්තේ, සියයට දහයක් කියලයි. නමුත්, විගණකාධිපතිවරයා කියන්නේ රුපියල් කෝටි එකොළොස් ලක්‍ෂයක් ණය අරගෙන උපයලා තියෙන්නේ, කෝටි එක්ලක්‍ෂ අසූදාහක් කියලයි. ඒ කියන්නේ, කෝටි නවලක්‍ෂ විසිදහසක් අතුරුදන්. ණය උගුලක් වෙලා තියෙන්නේ  ඒ නිසා. හඳුන්නෙත්ති සහෝදරයා කෝප් කමිටුවේ දී සූරියවැව ක්‍රීඩාංගණය ගැන විමර්ශනය කළා. වියදම රුපියල් කෝටි පන්සීයයි. කරලා තියෙන ඉදි කිරීම්වල තක්සේරු වටිනාකම රුපියල් කෝටි අනූවයි. රුපියල් කෝටි හාරසිය දහයක් අතුරුදන්. ඔන්න ඕකයි තත්ත්වය. අපේ පාලනයක් යටතේ මේ ණය ගෙවීම් සමාලෝචනය කර ගන්න ඕනෑ. අනෙක ණය ගන්නේ නිෂ්පාදන කර්මාන්තවලට. මේ ආර්ථිකය ගොඩනඟන මූලික පදනම ඒක.

නිෂ්පාදන කර්මාන්ත බිහි කරන්නේ කොහොම ද? එදා ඉඳලා ම අපි කුරුඳු අපනයනය කළේ මිටි බැඳලා. අදත් එහෙමයි. මේකෙන් නව නිෂ්පාදන කර්මාන්තයක් හදන්න පුළුවන්. අලුත් ලෝකයට ගැළපෙන අලුත් නිෂ්පාදනයක් කරන්න පුළුවන්. අපේ මිනිරන් අදත් යවන්නේ කුට්ටි පිටින්. ටොන් එකක් ඩොලර් දෙදහයි. කෝප් කමිටුවේ දී ම ඒ සමාගම පිළිගත්තා මේවා පිරිසිදු මිනිරන් බවට නිස්සාරණය කර කිලෝවක් ඩොලර් පන්දහසකට විකුණන්න පුළුවන් කියලා. පුල්මුඬේ ඛනිජවැලි සම්පතෙන් වාර්ෂිකව ටොන් ලක්‍ෂ විස්සක් ගන්නවා. දැන් වැලි පටවනවා. ඒවා නිස්සාරණය කරලා සිය ගුණයක වටිනාකම් එකතු කරන්න පුළුවන්. පොස්පේට් නිධියත් එහෙමයි. අන්න ඒ වාගේ කර්මාන්ත ඇති කර ජාතික නිෂ්පාදනය වැඩි කරන්නයි, ණය යොදවන්න ඕනෑ. තාක්‍ෂණය ගේන්න ඕනෑ කරන්නේ ඒ කර්මාන්තවලට. ඒ වාගේ ම නව ව්‍යවසායකයන් ලක්‍ෂ දෙකක් ගොඩනඟන්න ඕනෑ. අන්න ඒ වෙනුවෙනුයි ප්‍රතිපත්ති හදන්න ඕනෑ. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත බිහි කර ඔවුන්ගෙන් සාධාරණ බද්දක් රජයට ගන්න ඕනෑ. අන්න එතකොට ජනතාව මත බදු බර නොපටවා, රාජ්‍ය ආදායම් ඉහළ දමා ගන්න පුළුවන්.

අධ්‍යාපනය අද ජනතාව මත පටවලා තියෙන විශාල බරක්. හැබැයි, අපට තිබෙන වැදගත් ම මානව සම්පත දියුණු කරන්න අධ්‍යාපනය ඉතා වැදගත්. ආර්ථිකයේ වැදගත් ම කොටසක් අධ්‍යාපනයට හිමි වෙනවා. හැබැයි, අපේ අධ්‍යාපනය තියෙන්නේ, විශාල පිරිසක් පාසල් හැර යාමටයි. දහතුන වසර දක්වා අනිවාර්ය අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. එක්කෝ උපාධිධාරියෙක් වෙලා නැත් නම්, වෘත්තීය නිපුණතාව සහිත තරුණයෙක් වෙලා එළියට එන අධ්‍යාපනයක්. ඒ අයට ගැළපෙන රැකියා තියෙනවා. ඒවාගේ ම පාසල් පද්ධතිය ප්‍රතිව්‍යුහගත කර ගෙදර ඉඳලා කිලෝ මීටර් දෙකකට වැඩිය දුරක් යන්න දෙන්නේ නැහැ. අද තියෙන්නේ, ළමයින් ළමා කාලය අහිමි කර දුරබැහැර ගෙවාගෙන යන  තත්ත්වයක්. ඒක නැති කරනවා. දෙමවුපියන්ගේ පොකට් එකේ තියෙන ගාණට අධ්‍යාපනය ලබා දෙන්න සිද්ධ වෙලා. මේ ක්‍රමයත් වෙනස් කරනවා. මාපියන්ගේ ආර්ථික හැකියාව අනුව දරුවන්ගේ අධ්‍යාපනය තීරණය වෙන මේ ක්‍රමය වෙනස් කරනවා. රාජ්‍ය අධ්‍යාපනයේ දොරවල් වහලා, කඩ අරින ක්‍රමය වෙනස් කරනවා. කාට හෝ පෞද්ගලික අධ්‍යාපනය අවශ්‍ය නම්, අන්න ඒ අයට විතරක් ලබා ගන්න අවස්ථාව හිමි කර දෙනවා.

සමහර අය අහනවා, ඔක්කො ම ප්‍රතිපත්ති හොඳයි, ඔය අය දිනයි ද කියලා. ඔව්. අපට දිනන්න අවස්ථාව තියෙනවා. මේ අවස්ථාවේ ඒක යොදා ගන්නේ නැතිව පවුලකට බලය දෙන්න නම්, ඒකටත් අවස්ථාව තියෙනවා. තව පැත්තකින් හොඳට නිදිමරන්නෙක් තෝරා ගන්න ඕනෑ නම්, ඒකටත් අවස්ථාව තියෙනවා. නමුත්, ජනතාව තෝරා ගන්නේ තමන්ගේ පාලකයෙක් නම්, ඒ ජාතික ජන බලවේගයේ නියෝජිතයා ම පමණයි. පවුලකින් තෝරන අපේක්‍ෂකයෙක් හරි රණ්ඩු වෙලා අපේක්‍ෂකකම් ගන්න කෙනෙක් හරි නොවෙයි. සාමුහිකත්වයෙන් විතරයි, මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ සාමුහික ප්‍රයත්නය තියෙන්නේ, ජාතික ජන බලවේගයේ පමණයි. අපි සහතික වශයෙන් ම මේ රට ගොඩනඟා සතුට පිරුණු ජීවිතයක් සියලු දෙනාට ම ලබා දෙනවා. ඒක කරන්න පුළුවන් අදූෂිත ව්‍යාපාරයකට විතරයි. ඒ නැවුම් පණිවුඩය රටේ අස්සක් මුල්ලක් නෑර ගෙන යන්න හැකියාව තියෙන්නේ, ජාතික ජන බලවේගයට විතරයි.  

මනෝජ් රූපසිංහ

ස්තූතිය – ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකයට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *