උන්ට එපා අපට හොඳා – සම්පත් අමරසිංහ

පසුගිය 26 වෙනිදා කොළඹ මැන්ඩරිනා හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පොදුජන පෙරමුණෙහි සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ මිලේනියම් චැලේන්ජ් සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන බවයි. එහිදී රඹුක්වැල්ල මන්ත්‍රීවරයා තවදුරටත් කියා තිබුණේ දෙරටටම වාසි දායක ගිවිසුම්වලට එළඹීමට ඔවුන්ගේ ආණ්ඩුව විනිවිද පෙනෙන ආකාරයෙන් කටයුතු කරන බවයි.

ඉහත ප්‍රකාශය අනුව හෙළිවන්නේ පොදුජන පෙරමුණ ඇතුළු රාජපක්ෂවාදීන් නියැලී සිටින දේශපාලනයේ යථා ස්වරූපයය. එම පක්ෂය මුල පටන්ම උත්සාහ කළේත් දැනුත් කරමින් සිටින්නේත්, එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව සම්බන්ධව සහ එක්සත් ජාතික පක්ෂය පිළිබඳ බොරු බේගල් වපුරමින් ඒ හරහා තුච්ච ආකාරයට දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයක ය. එහිදී ඔවුන්ගේ උපාය මාර්ගය වී ඇත්තේ ජනතාව බොරුවෙන් මුලා කිරීමය.

මිලේනියම් චැලේන්ජ් වැඩසටහන යටතේ මෙරට මාර්ග පද්ධතිය සහ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දැවැන්ත ආධාර මුදලක් ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම්ම චැලේන්ජ්ගි කෝපරේෂන් මගින් ලබාදීමට සූදානමක් තිබුණි. මිලේනියම් කෝපරේෂන් යනු ඇමරිකානු ආණ්ඩුවේ ව්‍යාපෘතියක්ද නොවේ. එය ස්වාධීන ආධාර වැඩසටහනකී. ණය මුදලක්ද නොවන ආධාර මුදලක් බැවින් එම මුදල නැවත ගෙවීමක් හෝ පොලී ගෙවීමක් ද අවශ්‍ය වන්නේ නැත.

ගමනාගමන යනු වත්මන් ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නයකි. මාර්ග තදබදය එහිදි අතිශය බරපතළ ආකාරයෙන් බලපානු ලැබේ. කොළඹ නගරයේ වාහන තදබදය හේතුවෙන් වාහන ගමනාගමනයේ වේගය පවතින්නේ ඉබි ගමනටත් වඩා අඩු වේග සීමාවක බව කොළඹ නගරයේ උදයට හවසට ගමන් කරන ජනතාව දන්නා කරුණකි. ඇමරිකා එක්සත් ජනපද තානාපතිය වරෙක සඳහන් කර තිබුණේ මාර්ග පද්ධතිය, ප්‍රවාහනය වැඩි දියුණු කිරීම සඳහා පිරිනැමෙන මිලේනියම් චැලේන්ජ් උපකාරය ශ්‍රී ලංකාවට ලබා නොගැනීම පුදුම සහගත බවය.

විමල් විරවංශ වැන්නන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් බෙරිහන් දුන්නේ මිලේනියම් චැලේන්ජ් වැඩසටහන මගින් ලංකාවට විදේශ ආක්‍රමණයකට යටත් වන්නට සිදුවන බව කියමිනි. මිලේනියම් චැලේන්ජ් සහ අරලියගහ මන්දිරයද ගාවාගනිමින් පොහොට්ටු වාදීන් උත්සාහ කරනු ලැබුවේ රට පාවාදීමේ කුමන්ත්‍රණයක් මිලේනියම් චැලේන්ජ් හරහා අරලියගහ මන්දිරය තුළ ක්‍රියාත්මක වන බවක් රටට අඟවන්නටය.

දැන් මැතිවරණයක් ආසන්නයේ පොදුජන පෙරමුණට තමන්ගේම වචන වමාරා කන්නට සිදුවී තිබීම ඉතිහාසයේ සරදමක් වැනිය. ගැටළුව වන්නේ ඔවුන් තවමත් මිලේනියම් චැලේන්ජ් ලබා ගැනීමට උත්සාහ කරන බව ජනතාවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීමයි. රාජපක්ෂවාදී මාධ්‍ය එම කථාව යටපත් කරන්නට උත්සාහ කරන්නේ ද යන සැකය මතු වන්නේ ඉංග්‍රීසි පුවත්පතක් හැරුණු විට සිංහල මාධ්‍ය කිසිවක් එම පුවත වාර්තා කරන්නට උත්සුක වූ බවක් පෙනෙන්නට නොතිබුන බැවිනි.

සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ද පොදුජන පෙරමුණෙහි රාජපක්ෂවාදීන් ගේ පිළිවෙත වූයේ බිල්ලෙක් මවාපෑමය . ඒ හරහා ද ඇමෙරිකන් ආක්‍රමණයක් සිදු වන බව ඔවුහු කීහ. කොළඹ හෝටලයක දී ඇමෙරිකානු සෙබලුන් සිය ගමන් මලු පරීක්ෂා කරන්නට ඉඩ නොදුන්නේය කියමින් විමල් වීරවංශ කතා කළ කතා තවමත් ජනතාවට අමතක නැතුවා වන්නට පුළුවන. එම සිද්ධියද ඇක්සා, සෝෆා, මිලේනියම් චැලේන්ජ් වැනි වචන සමග ගැටගසමින් නැති භිෂණයක් මවා පෙන්වන්නට විමල් වීරවංශ වැන්නන් උත්සාහ කළා පමණක් නොවේ, ත්‍රස්තවාදය සමග එම සිද්ධිය ගැට ගසන්නට ද ඔවුන් උත්සාහ කළහ.

තවත් වැදගත් කරුණක් වන්නේ ඇමරිකානු හමුදාවනට මෙරටට පැමිණීමට අවසර ලැබෙන ඇක්සා ගිවිසුමට අත්සන් තබන ලද්දේ ද 2007 වර්ෂයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් ය යන්නයි. රාජපක්ෂ ආණ්ඩුවට අත්සන් කළ ගිවිසුමක් අලුත් කරන්නට යන විට, එම ගිවිසුමට තමන්ද ගොනුවී සිටි බව ජනතාවට නොකියා පොහොට්ටු වාදීන් දැක්වූ විරෝධය අනුව ප්‍රකාශයට පත් වූයේ ඔවුන්ගේ නිර්ලජ්ජිත දේශපාලනයේ තරමය.

සැප්තැම්බර් 26දා කෙහෙළිය රඹුක්වැල්ල කියන්නේ ඔවුන් මිලේනියම් චැලේන්ජ් සහ සෝෆා සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනිය හමුවී සාකච්ඡා කළ බවයි. ගැටලුව වන්නේ මිලේනියම් චැලේන්ජ් සහ සෝෆා දේශද්‍රෝහී නම් ඇමරිකානු තානාපතිනිය සමග ඒ ගැන කතා කරන්නේ කුමකටද යන්නයි.

යම් හෙයකින් මේ මොහොතේ එක්සත් ජාතික පෙරමුණ ආන්ඩුවේ නියෝජිතයෙකු හෝ එක්සත් ජාතික පක්ෂයේ අයෙකු ඇමරිකානු තානාපති කාර්යාලයට ගොස් සෝෆා හෝ මිලේනියම් චැලේන්ජ් ගැන සාකච්ඡා කළේ නම් පොහොට්ටු පක්ෂයේ හැසිරීම කවරාකාර වනු ඇතිද යන්න ද ජනතාව කල්පනා කළ යුතුය.

ආණ්ඩුවේ වරද වන්නේ පොහොට්ටුවේ පුහු ඝෝෂා වලට යටවී තමන්ගේ වැඩසටහන් හකුලා ගැනීම ය. අවම වශයෙන් තමන්ගේ ආණ්ඩුවක් යටතේ සෝෆා, මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් අත්සන් කිරීමට සලකා බලන බවට වන පොහොට්ටුවේ ප්‍රකාශය හරහා ඔවුන්ගේ දේශපාලන නිරුවත පිළිබඳ ජනතාවගේ ඇස් ඇරවන්නටවත් එජාපයට වැඩපිළිවෙලක් නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *