සොලිසිටර් ජෙනරාල් (හිටපු) – අනුර සූරියබණ්ඩාර

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යනු මෙරට සිටි සොලිසිටර් ජෙනරාල්වරියයි. සොලිසිටර් ජෙනරාල් යනු නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියාය. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු දෙවෙනියා පමණක් නොවේ. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ද වේ. ඇය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කරනු ලැබුවේ දෙදහස් පහළොවේ දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව විසිනි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරමින් සිටියදී මහින්දවාදී පිරිසගෙන් එල්ල වූ චෝදනාව වූයේ ආණ්ඩුවේ වුවමනාවට අනුව රාජපක්ෂ ආණ්ඩුවේ නායකයන්ට නඩු පැවරීමට ඇය යොදා ගන්නා බවයි.

කෙසේ වෙතත් මෑත දී ඇය පිළිබඳ මාතෘකාව නැවත මතුපිටට පැමිණියේ ඇවන්ගාර්ඩ් සමාගමේ හිමිකරු සමඟ ඇය කළ බව පැවසෙන සාකච්ඡාවක හඬපටයක් සමාජගත වීමත් සමගය. නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවනියා නඩු රැසක විත්තිකරුවෙකු සමග දුරකථන සංවාදයේ යෙදුනේය යන්න බරපතළ ගැටලුවකි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව ද බලවත් ගැටළු සහගත තත්ත්වයක් උදාවීම බැහැර කළ නොහැකිය.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය දුරකථන සංවාදය බැහැර කරන්නේ නැත. ඒ සංවාදයේ යෙදුණු බව පිළිගන්නා අතරම ඇය කියන්නේ කොටසක් නොව සමස්ත සංවාදය හෙළිදරව් කරන්න යනුවෙනි. හඬ පටය සම්පූර්නයෙන්ම මුදා හැරියා වුවද, ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ සිටිමින් කළ ගනුදෙනුවට සාධාරණ බවක් ලැබෙන්නේ නැත. ඊළඟ කාරණය ඇය එම සංවාදය කරනු ලැබුවේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු අසල සිටියදී බව කියවීමය. ඉන් කියැවෙන්නේ ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියාව හිඳිමින් දේශපාලකයන්ගේ ඇසුරේද හිද ඇති බවයි . එහෙයින් ඇගේ වරද දෙගුණ වීමක් මිස සමනය වීමක් වන්නේ නැත.

දුරකථන සංවාදය අනුව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සේනාධිපති මහතාට නඩු පැවරීම ගැන කම්පා වන බවක්ද කියැවේ. නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැන්නා සැකකරුවන් සම්බන්ධව නීතිය මත පිහිටා නොව හැඟීම්බරව කටයුතු කිරීමත් වරදකි.

ආණ්ඩුවේ වුවමනාවට රාජපක්ෂවරුන්ට නඩු පවරන්නේ යන චෝදනාවට ලක් වූ දිල්රුක්ෂි ඩයස් මහත්මිය විසින් ඇවන්ගාඩ් සමාගමට පැවරුන නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කරනු ලැබ තිබේ. එසේ නිදහස් කරන්නට හේතුව ගෝඨාභය මහතා වරදක් කර නොතිබීම නොවේ. ඩයස් මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ව සිටිමින් ගොනුකළ නඩුවේ ගොනු කළ ආකාරය පිළිබඳ වරදක් නිසාය.

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වූ දිල්රුක්ෂි ඩයස් මහත්මිය නඩුවක් ගොනු කළ යුතු නියම ආකාරය නොදැන සිටියා යැයි සිතිය හැකි වන්නේ නැත

කෙසේ වෙතත් මේ වන විට ඇය විසින් පවරන ලද නඩුවෙන් ආරක්ෂක ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනෙක් නිදහස් ව සිටිති. අධිකරණය කියන්නේ ඔවුන් නිදොස් තැනැත්තන් බව නොවේ. නිසියාකාරයෙන් නඩුව පවරන්නේ නම් නඩුව විනිශ්චය කළ හැකිවන බවයි.

සේනාධිපති මහතා සමග කර ඇතැයි පැවසෙන සංවාදය සත්‍යය නම්, එම ගනුදෙනුවේ ස්වරූපය අනුව: දිල්රුක්ෂි ඩයස් මහත්මිය දැනුවත්වම වැරදි සහිතව නඩුව ගොනු කරනු ලැබුවේ ද යන සැකය කෙනෙකුට ඇතිවීමට ද බැහැර කළ නොහැකිය.

සංවාදය අතරතුර ඇය ජරා දේශපාලනයක් ගැන කතා කරන බවක්ද පෙනේ. සංවාදයේ කරුණු අනුව අනුමාන කළ හැකි වන්නේ ජරා දේශපාලන වශයෙන් ඇය හඳුන්වන්නේ වත්මන් ආණ්ඩුවේ දේශපාලනය පිළිබඳ බවය. පවතින දේශපාලනය ජරා යැයි ඇය පිළිගන්නේ නම් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයෙකු සමග ඇය කරන ගනුදෙනුව ද ජරාවෙන් තොර වන්නේ නැත. ඒ අනුව දිල්රුක්ෂි ඩයස් මහත්මිය ද ඉබේම මඩේ ලගින තාරාවකු බවට පත්වේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඇය ඉවත් වනු ලැබුවේ දේශපාලන නායකයෙකුගේ කතාවක් හේතුවෙන් බවද එකල කියවුණි. එසේ ඉල්ලා අස් වන්නට තරම් පාරිශුද්ධ බවත් තිබුණේ නම් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටිමින් ඇය දෙවන පෙළ හෝ තුන්වැනි පෙළ දේශපාලනය සමග කරන ගනුදෙනුව කුමක් ද යන්න ද ගැටලුවකි. එසේනම් අල්ලස් කොමිසමෙන් ඉවත් වීමද ඇගේ රංගනයක් ද යන සැකය මතුවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස නිදහස් වීමට හේතුව අල්ලස් කොමිසමේ සියලු කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව නඩුව ගොනු කර තිබීමය. අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගෙ ලිඛිත අනුමැතිය නොමැති වීමට හේතුව ද සොයා බැලිය යුතුය. නඩුව නිවැරදි නැතැයි කොමසාරිස්වරුන් අදහසක් දැරුවේ ද? එසේත් නැත්නම් ඔවුන්ගේ ලිඛිත අනුමැතියට ඉදිරිපත් නොකළේ ද? ඒවාද විසඳාගත යුතු ගැටලු ය.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ක්‍රියාව හේතුවෙන් සිදුව ඇති බරපතලම වරද ගෝඨාභය රාජපක්ෂ මහතා ඇවන්ගාඩ් ගනුදෙනුවට සම්බන්ධ නොවූ අයෙකි. ඔහුට නඩු පවරනු ලැබුවේ දේශපාලන වශයෙන් පලිගැනීමටය යන අදහසක් සමාජගත කිරීමට රාජපක්ෂවාදීන්ට ඉඩ සැලසීමය. රාජපක්ෂ හිතවාදී සියලු මාධ්‍ය කියන්නේ ගෝඨාභය මහතා අධිකරණයෙන් නිදහස් කළ බව පමණි. අවශ්‍ය නම් නැවත කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතිය සහිතව ගෝඨාභය මහතා ඇතුළු අට දෙනාට නඩු පැවරිය හැකි බව අධිකරණය සඳහන් කළ බව රාජපක්ෂවාදීහු මුළුමනින්ම වසා දමති. .

යහපාලන හිතවාදීන්ට ද ඇවන්ගාඩ් නඩු තීන්දුව ඔස්සේ කල්පනා කළ යුතු කරුණක් ඉතිරි කර තිබේ. එය නම් කොමිෂන් සභා පත් කර ගැනීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මහත් ජයග්‍රහණයක් යැයි යන මතය කොයිතරම් සාධාරණද යන්නයි. කොමිෂන් සභාවක් හෝ ඒවාහි ප්‍රධානියෙකු, සාමාජිකයන් හෝ වරදක් කරන්නේ නම් එය ප්‍රශ්න කිරීමේ බලය ඇත්තේ කාට ද? යන්න බරපතල ප්‍රශ්නයක් බව ජනවාරිවරුන් විසින් කල්පනාවට ගත යුතුව තිබේ. ඒ ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී වත් එම වරද මගහරවා ගැනීම සඳහාය.

යහපාලනය ගෙන ඒමෙන් ජනතාව බලාපොරොත්තු වූයේ නිවැරැදිකරුවන් දඬුකඳේ ගැසීම නොව වැරදි කළ අය සිටී නම් ඔවුනට දඬුවම් කිරීම ය. එහෙත් මෑත කාලයේ පවරනු ලැබූ ඇතැම් නඩුවක් අවසන් වූයේ, වැරදිකරුවන් හෙළිදරව් වීමෙන් හෝ ඔවුනට දඬුවම් ලැබීමෙන් නොව වැරදිකරුවන් යැයි කී අය නිදහස් වීමෙනි. වරද කාගෙද? නිවැරදි කරන්නේ කවුද? කෙසේද?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *