අය වැයෙන් රටේ ආර්ථිකයට නව පදනමක් (1 වෙනි කොටස) ආචාර්ය රොහාන් සමරජීව

ශීත කාමර

මීට පෙර ඉදිරිපත්වූ අය වැය යෝජනාවලට වඩා මේ අයවැය යෝජනාවල යම් වෙනසක් ඇති බව ප්‍රථමයෙනන්ම කිව යුතු ය. අය සහ වැය කියන සංකල්පය ලංකාවේ සෑහෙන දුරට මහජනයාගේ චින්තනයේ මෙන්ම ප්‍රායෝගිකව ද ගත් කළ බොහොම අයාලයේ ගිය සංකල්ප දෙකකි. සමාගමක් ගතහොත් ඒ සමාගමේ දිශානතිය ඒ වගේම ප්‍රමුඛතාවයන් මොනවාද යන්න දැකගත හැකි එක් ක්‍රමයක් වන්නේ ඒ සමාගමේ ආදායම් හා වියදම් නිරීක්ෂණය කිරීම ය. කිසියම් ආයතනයක් කිසියම් වර්ධනයක් අපේෂාකරන අංශයන්ට වියදම් නොකරන්නේ නම් අපේක්ෂාකරන වර්ධනය අත්කර ගැනීමට හැකිවන්නේ නැත.

දෙවැන්න ආණ්ඩුව මුදල් වියදම් කරන්නේ මොනවාට ද? ආණ්ඩුව තම වියදම් සඳහා අයකර ගන්නේ කෙසේ ද? කියන එක සමාන්‍ය සමාජයේ සිටින නිෂ්පාදනයේ යෙදෙන්නන්ට ඉතා වැදගත් ය. මක්නිසා ද යත් ආයෝජකයින් ගන්නා තීරණ අනුව යෙදෙන්නේ හා නොයෙදෙන්නේ කුමන කාර්යයේ ද යන්න දැනගත හැක. ඒ තීරණ ගන්නාවිට ඔවුහූ ගණන් බලති. වැඩියෙන් අවදානමක් ඇති දෙයක ආයෝජනය කරන්නේ නම් වැඩියෙන් ලාභ අපේක්ෂා කිරීම අප බපලාපොරොත්තු විය යුතු ය.

අපේ වගේ රටවල් ගතහොත් ඇති අනික් ප්‍රශ්නය වන්නේ මොනවගේ බදු අයකරයි ද? යන්න ආයෝජකයින්ගේ විශේෂ අවධානයට යොමුවේ. ව්‍යාපාරයක් විශාල වනවිට ආණ්ඩුව බදු අයකරයි ද? එසේ වන්නේ නම් ආයෝජකයෝ වඩා විශාල නොවී කුඩාවටම සිටීමට කැමැත්තක් දක්වති. මූලික වශයෙන් අපි අයවැයකින් අපේක්ෂා කරන්නේ යම් කිසි ස්ථාවර භාවයක් සහ අවධානම අඩුකරන සංඥා එම සමාජයේ සිටින්නන්නට ලබාදීම ය. මේ ආකාරයට මා සාකච්ඡාවට අවතීරණය වූයේ මූලික වශයෙන් සමාගම් කෙරෙහි අවධානය යොමුකරමිනි. කෙසේ නමුත් මෙය සාමාන්‍ය මිනිසුන්ටත් වැදගත් ය.

උදාහරණයකට ගතහොත් ආණ්ඩුව සියලුම දෙනාගේ විශ්‍රාමික තැන්පතුවලට වැඩි පොලියක් දෙනබව පැවසුවහොත් ඒ අයගේ හැසිරීම වෙනස් වේ. ඒ අය වෙන දෙයක් නොකර වැඩි පොලියක් ගතහැකි තැනක එය ආයෝජනය කරති. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුවේ දිසානතිය අයවැයෙන් දිස්වියයුතු බව.

මෙතෙක් කල් තිබුණේ අයවැය යන්න බඩුමිල නියම කරන දෙයක් ලෙසට ය. රටේ බඩු මිල නියම කරන්නට අයවැයක් අවශ්‍ය නැත. ඒක නියම කළ යුත්තේ වෙළඳ පොලය. ඒක වෙළඳ පොලෙන් නියම කරන්නේ නැත්නම් ආණ්ඩුට බදු අඩු හෝ වැඩිකර ඒ කාර්යට මැදිහත්විය හැක. එය ද වසරකට වරක් කරනවා මිසක් නිරන්තරයෙන් කළයුතු දෙයක් නොවේ. නමුත් අපි පුරුදු වී සිටින්නේ ඒ පිළිවෙලට ය. අපි හිටියේ ඉතාමත් රාජ්‍ය කෙන්ද්‍රිය ආර්ථිකයක ය. ඒ දවස්වල ඇම්. ඇම් පෙරේරා මහත්තයාගේ අයවැය ලේඛණය දෙස බලනවිට ගෙවුම් ශේෂය ගැන වගකීමෙන් යුතුව කටයුතු කළේ ය. ඒ නිසාම ඒ ශේෂය අඩුකර ගැනීමට සහ වැය අතර තිබෙන පරතරය අඩුකර ගැනිමට විවිධ දේවල් යෝජනා කළේ ය. මට මතක හැටියට ඒ දිනවල විදේශ ලිපිවලට වැඩිපුර ගාස්තුවක් අය කරන ලදි. එහෙම නැත්නම් විදේශිය දුරකථන ඇමතුම් වලට ඒ ආකාරයට ගාස්තු වැඩි කළේ ය. විදේශ සමග එකල ගණුදනු කළේ පොහොසතුන් ය. ඒ අනුව පොහොසතුන්ගෙන් වැඩිපුර ටිකක් ගත්තාට ප්‍රශ්නයක් නැත යන්න එකළ ආකල්පයක් තිබුණි.

රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයක් තුළ එහි වරදක් නැති බව පිළිගැනීමට අපිට පුළුවන. ඒත් අද පවතින සංකීර්ණ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයකය ඒ ක්‍රමය උචිත වන්නේ නැත. ඒවා අද සිල්ලර වැඩ ගනයට වැටේ. මීට වසර කිහිපයකට පෙර අයවැයක ලංකාවට එන විfදු්ශිකයින්ගෙන් වීසාවකට අයකරන මිල පවා ඇතුල්කර තිබුනි. එසේ වන්නේ විධිමත් ප්‍රවේශයක් මේ විෂයට නොමැති නිසා ය. ඒවා ඉතාමත් සිල්ලර දේවල් ලෙස සැළකිය හැක. මේ අනුව ව්‍යකූල තත්ත්වයක අපි සිටිය බව මෙයින් පැහැදිළිකරගත හැක. ඒ ලක්ෂණ නැතිවාම නොවන නමුත් සාපේක්ෂව මේ අයවැයේ ඊට වඩා මූලිකව ප්‍රතිපත්ති පිළිබඳ පැත්තට බරතබා ඇතිබවක් පෙනේ.

උදාහරණයක් ලෙස ගතහොත් ඉතා සාවද්‍ය ලෙස අපි සියලුම දෙනා ලංකාව කෘෂිකාර්මික රටක් යැයි කියමු. මේක අපේ ජනාධිපතිතුමාගේ ආදරණිය කියමනකි. නමුත් මෙය සාවද්‍ය අදහසකි. ඒක අතීතය පිළිබඳ රොමෑන්තික අදහසක් යැයි කිවහැක. ඇත්ත වශයෙන්ම අපේ ආර්ථිකයෙන් 12%ක් පමණ සුලු කොටසක් තමයි කෘෂිකර්මයට අයිති වන්නේ. අපේ වැඩකරන පංතියේ ජනතාවගේ පැත්තෙන් ගත්තත් කෘෂිකර්මයේ 50%ක්වත් යෙදී නැත. ආණ්ඩුවේ නිලවාර්තා අනුව එම සංඛ්‍යාව 30% ගණනකි. ඒ අයත් සමහර විට තවත් රක්ෂාවක් කරති. මේ අනුව කෘෂිකර්මය ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන දෙය නොවන බව ඉතා පැහැදිළි ය. කෘෂිකර්මය ප්‍රධාන නොවන බව මෙසේ පැහැදිළිව පෙනෙන්නට තිබිය දී අපේ නායකයින් එය ප්‍රධාන බව පවසන්නේ ඇයි ද යන්න අපි බලමු. නායකයින් පමණක් නොව කොළඹ සිටින ප්‍රභූ පංතියත් මේ දේම කියති. ඒක එක් අතකින් අතීතය පිළිබඳ රොමෑන්තික අදහසකි. ගම, තමත, කඹුරුයාය, වෙල්යාය, ඉපනැල්ල යනාදිය අපේ සිංදුවල, අපේ නව කථාවල හා චිත්‍රපටිවල තියෙන දේවල් ය. අනික් පැත්තෙන් කෘෂිකර්මය ලංකාවේ දුක් සහිතම ක්ෂේත්‍රය නොවූවත් දුක් සහිත ක්ෂේත්‍රයකි. අපගේ දුක් සහිතම ක්ෂේත්‍රය වන්නේ වැවිලි කර්මාන්ත ක්ෂෙත්‍රය වේ. මිනිසුන්ගේ ආදායම අඩු, ආහාර ඌනතාවය තිබෙන, සෞඛ්‍ය පහසුකම් නැත්තේ ද එතැන ය.

ගොවි ජනතාවට පොහොර සහනාධාරය දීමෙන් ඒ අයගේ ජීවන තත්ත්වය දියුණු වුනේ නැත. ඒ අය බලාපොරොත්තු වන දේවල්වත් ලැබෙන්නේ නැත. පොහොර සහනාධාරය වෙනුවෙන් පෝලිමේ සිටින්නට අවශ්‍ය ය. 2007 දී පමණ අප කළ සමික්ෂණයක දී පෙණුනු දෙයක් තමයි පෝර එනවා ද? කවදා ද එන්නේ ? යනාදි ලෙස ඔවුනට ඒ සම්බන්ධ ප්‍රශ්න රාශියක් තිබෙන බව. ඒක මෙහි එක පැත්තකි. තිබෙන සහනාධාරය ඉවත් කිරීමට ඔවුන් අකැමැති ය. එහෙත් මේ සහනාධාරයෙන් සහනයක් ලැබුණා ද යන්න ද පැහැදිලි නැත. අනික් පැත්තෙන් කොළඹ පාරිභෝගිකයා ද සතුටකින් නැත. මෙයින් පෙනී යන්නේ නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාද සිටින්නේ අසතුටෙනි. මෙ නිසා අපිට හැමදාම ඉලක්ක වන්නේ අතර මැදියා ය. මුවහමට තඩිබානවා මෙන් කාලයක් තිස්සේ අපි අතර මැදියාට බැණිමට පුරුදු වී සිටිමු. එහෙත් අතර මැදියාට ද ඔය කියන තරමේ වාසියක් අත්වී නොමැත. මේ අනුව පෙනි යන්නේ මේ ක්ෂේත්‍රය ඉතාම ගැටලු සහගත ක්ෂේත්‍රයක් බව ය. මේක විසඳා ගැනීමට කරුණු දෙකක් ඉදිරිපත් කළ හැක.

එකක් වන්නේ ඵලදායිතාවය ඉහළ නැංවීම ය. මේ ඵලදායිතාවය කියන සංකල්පය මෙතනදී ඉතාම වැදගත් ය. පැරණි අයවැය ලේඛණවල ඔය ඵලදායිතාවය කියන වචනය සඳහන් වී තිබෙනවා ද යන්න මට මතකයක් නැත. නමුත් අය වැය සකස් කරන කාලයට ඒ නිළධාරීන් සමග මා සාකච්ඡාකර තිබේ. ඒ අය අතර ඔය ඵලදායිතාවය කියන සංකල්පය ගැන එතරම් සාකච්ඡාවක් තිබුණේ නැත.

ග්‍රාමීය ආර්ථිකය ගැන කථාකරන විට මේ අය වැයේ තේමාවක් හැටියට ඵලදායිත්වය කියන වචනය තිබේ. ඒ නිසා ඒක ගැන අපි ටිකක් විග්‍රහකර බලමු. අනික් සාධකය තමයි ගෝලීය සැපයුම්දාම කියන වැදගත් සංකල්පයක් ද ඒ සමග ඇත. මේ ගෝලීය සැපයුම්දාම වලට ලංකාවේ කෘෂි ආර්ථිකය සම්බන්ධ කළ යුතුය යන මතයේ මේ ආණ්ඩුව සිටින බව මේ අය වැය ලේඛණයෙන් අගවා තිබේ. නමුත් ඒකට සම්බන්ධවීමට මේ අය වැයෙන් යමක් කෙරී නැත. උදාහරණයක් හැටියට තුළ ඒ ගැන පැහැදිළි සඳහනක් ඇත. එහි ඔය සැපයුම්දාම ගැන මෙන්ම ශීත ගබඩාගැන සඳහනක් ද ඇත. මේ සංකල්ප දෙක ඉතා වැදගත් ය. කෘෂිකාර්මික ඵලදාව මෙනත් නිෂ්පාදන මෙන් නොව බොහෝ දුරට නරක්වන ගතියක් තිබේ. මේ නිසා ගොවියා දැඩි පීඩනයකට ලක්වේ. උදාහරණයක් ලෙස දඹුල්ලේ එළවලු අලින්ට කන්නට දාන්න සිදුවීමෙන් ඒ බව පැහැදිළි වේ. නමුත් ඒ අතරම සමහර කාල වලට මිල ඉහළ යැමෙන් පීඩාවට පත්වන්නේ පාරිභෝගිකයා ය. එතන දී මේ පීඩනය අඩු කරගැනීමේ ක්‍රමයක් ලෙස මේ ශීත කාමර සැපයුම් දාමය හදාගැනීම ඉතා වැදගත් ය.

1990 ගණන්වල අන්ද්‍රා ප්‍රදේශයේ ඒ දිනවල සිටි මහ ඇමති චන්ද්‍රබාබු නෛදු මහතා ඔය ශිත කාමර දාමය ගැන කථා කළේ ය. ඔය ශිත කාමර දාමය ගැන අපේ රටේ මා පළමු වතාවට ඇසුවේ ඔය එජාප මැතිවරණ ප්‍රකාශනයේ ය. ඒක හොඳ දෙයකි. නමුත් මැතිවරණ ප්‍රකාශනයේ තිබූ ඒ දේ මේ අයවැයේ නැත. ආණ්ඩුවක් වුනාම මංගල අය වැයේ දීම ඒක තිබිය යුතු බවට නියමයක් නැත. සමහර විට එය 2වැනි නැතිනම් 3වැනි අවුරුද්දේ කළ හැක. මම කියන්නේ මේ අය වැයේ ඒක නැති එක අඩුවක් බව ය. කෙසේ නමුත් කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාවය මෙන්ම කාර්යක්ෂමතාවය ඉහළ දැමිය යුතුම ය. ඒ පිළිබඳව මී ලග කොටසේ දී අපි සාකච්ඡා කරමු.

සාකච්චා සටහන – මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *