|

ගින්න හා දුම – නිශාන්ත කමලදාස

සිද්ධියක් ඇති කිරීමට හේතු සාධක එක පැත්තක ය. ඒ සිද්ධිය වූ පසු එයින් ඵල ප්‍රයෝජන ලබන්නට එන අයගේ මැදිහත් විම් තව පැත්තක ය. මේවා වෙන් කර ගැනීමට නොහැකි ලෙස එකට මිශ්‍ර වීම නිසා මුල් හේතු සොයන්නා අතරමං වන්නේ ය. එකක් නම් පැහැදිලි ය. මේ සිද්ධිය ඇති කළ හේතු විවිධ ය. එය පැතිර ගිය හේතු ද විවිධ ය. එය යුද්ධයක් දක්වා පරිවර්තනය කළ හේතු ද විවිධ ය. බහු විධ ය.

ජනපතිවරණයේ උණුසුම ඉහළ යමින් පවතින්නේ ය. එය ම ගින්නකට හේතු විය හැකි ය. ඒ නිසා ගින්න හා දුම ගැන විමසීම කාලෝචිත ය.

ගින්නක් නැතිව දුමක් නොනඟී. මේ අප අසා ඇති, අපට හුරුපුරුදු, පැරැණි කියමනකි. මෙයින් කියවෙන්නේ යම් ඵලයක් ඇති වීමට නම් හේතුවක් තිබිය යුතු බව ය. බුදු දහමේ හේතුඵලවාදයෙන් ද සනාථ කරන්නේ මේ මූලධර්මයම ය.

මේ හේතුඵල සම්බන්ධය අපට වැදගත් වන්නේ පළමුව නරක ඵලයන් ඉවත් කිරීම සඳහා ය. එහෙත් ඵලය පමණක් ඉවත් කර මදි ය. හේතුව තිබෙනතාක් එය නැවත නැවතත් උත්පාදනය වන බැවිනි. ඒ නිසා හේතුව ද මුළිනුපුටා දැමිය යුතු ය. දෙවනුව එය වැදගත් වන්නේ යහපත් ඵලයක් ඇති කිරීමට දායක වන හේතුව දැනගත හැකි නම්, ඒ ඵලය නැවත නැවතත් ලබා ගැනීමට ද ඒ හේතුව ම යොදා ගතහැකි වීම නිසා ය.

ඒ නිසා බොහෝ දෙනකු යමකට හේතුව සොයන්නට උත්සුක වෙති. අප්‍රමාද වෙති.

ගැහැනියක බුදුරුව සහිත සාරිය ඇන්දේ බුදුරුවට නිගරු කිරීම උදෙසා ය. ඒ නිසා ඇය පිරිමියකු වූයේ නම් පොළොවේ ගැසිය යුතු ය. ඒ ද ඵලය හා හේතුව අතර සම්බන්ධය කියවෙන කාරණයකි. ඵලය සාරිය ඇඳීම වන විට හේතුව නිගරු කිරීමේ අදහස ය. මේ බෞද්ධ රටේ බුදුන්ට නිගරු කිරීමට ඉඩ දිය නොහැකි ය. ඒ අනුව තාර්කික උත්තරය සාරිය ඇඳ සිටින තැනැත්තා පිරිමියකු නම් ඔසවා පොළොවේ ගැසීම ය. ගැහැනියක නම් පොලීසියට බාර දීම ය. එතැන සිටි කවරකුටවත්, බාර දුන් පොලීසියටවත්, ඒ ඇරෙන්නට හේතුවක් හොයා ගන්නට බැරි විය.

අප්‍රමාදව හේතුව සොයන්නට යෑමෙන් ඇතිවන ප්‍රතිඵල භයානක විය හැකි ය. වඩා ප්‍රතිඵලදායක විදිහ නම් සංයමයකින් හේතුව සොයා ගැනීමට තත්පර වීම ය. කල් ගැනීම ය.

ඇතැම් තැනක ඵලයක් ඇති වීමට ඇත්තේ එක් හේතුවක් පමණක් නොවේ. හේතු කීපයක්, ඇතැම් විට ගණනාවක් ම, ඒ සඳහා තිබිය හැකි ය.

සාරිය සම්බන්ධයෙන් නම් එහි ඇති රුව බුදුරුවක් බව නොදැනීම ද හේතුවක් විය හැකි ය. අප කලින් ලිපියේ ද ඒ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දේ ලියා ඇති නිසා මේ සංවාදය සඳහා අපි වෙන කරුණක්, එතරම් ම විවාදජනක නොවන කරුණක්, තෝරා ගත්තෙමු. එය අපේ මාතෘකාව සමග ද ගැළපෙන්නේ ය.

කැලෑ ගිනි

ඒ කැලෑ ගිනි ගැනීම ය. කැලෑවක් ගිනි ගැනීමට ද හේතු ගණනාවක් තිබේ. එකක් නම් ලැව් ගිනි ය. ගස් දෙකක් ඇතිල්ලීමෙන් ඇති වන තාපය ගහේ කඳේ අඩංගු ද්‍රව්‍යයේ ජ්වලන (ගිනි ගන්නා) උෂ්ණත්වය ඉක්මවන්නට හේතු වූයේ නම් එතැන පුළිඟුවක් ඇති වන්නේ ය. අවට ගස් වැල් ද වියළි ස්වභාවයක් ගන්නා විට ඒ ගිනි පුළිඟුව පහසුවෙන් ගින්නක් බවට පෙරළෙන්නේ ය. ඇතැම් තැනක කැලෑ ගිනි ගන්නේ වියළි කාලගුණයකදී වදින අකුණක් නිසා ය. වැහි නැති හෙන නිසා ය. ඇතැම් තැනක මිනිසකු බී අවසන් කළ දුම්වැටියක් නිසා ය. තවත් තැනක පහසුවෙන් තම ඉඩමේ වල් පැළැටි ඉවත් කරගන්නට සිතූ මිනිසකු විසින් හිතා මතා ඇති කළ ගින්නක් නිසා ය. තවත් තැනක එය ගස් ටික කපාගන්නට යෙදූ උප්පර වැට්ටියක ප්‍රතිඵලයක් ද විය හැකි ය.

ඒ කුමක් වුව ද මේ සඳහා ප්‍රධාන සංඝටක කීපයක් තිබීම ද අත්‍යවශ්‍ය වෙයි. එකක් නම් ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් පැවතීම ය. කැලෑවක ශාක වියළි ඇති විටක වුවද පෙට්‍රල් තරම් ඉක්මනින් ගිනි ගන්නේ නැත. එහෙත් පෙට්‍රල් ෂෙඩ් ඕසෙට තිබුණ ද පෙට්‍රල් ටැංකි සහිත කාර් තිබුණ ද ඒවා එහෙම ලෙහෙසියකට ගිනිගන්නේ නැත. හේතුව ගින්නක් ඇති කිරීමට අමතර හේතුවක් අවශ්‍ය වීම ය. ඒ ගිනි පුළිඟුව ය. ගිනි පුළිඟුවක් හා ගිනි ගන්නා ද්‍රව්‍යයක් තිබූ පමණින් යමක් ගිනි ගන්නේ නම් දුම් බිබි ළිපකට පිඹින්නට ද ගෘහණියකට සිදු වන්නේ නැත. එසේ අවශ්‍ය වන්නේ ගින්නට අවශ්‍ය තරම් ඔක්සිජන් වායුව ද අවශ්‍ය නිසා ය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ යමක් හට ගැනීමට එක හේතුවක් නොව බොහෝ තන්හි හේතු ගණනාවක් සම්පූර්ණ වීම අවශ්‍ය බව ය.

හදවත්වල ගිනි

බොහෝ දෙනකුට මග හැරෙන්නේ මේ බහුවිධ හේතු තිබිය හැකි ය යන කාරණය ය. එකක් සමග ගනුදෙනු කිරීම පහසු නිසා ඇතැම් විට අප නොදැනුවත්වම එකක් තෝරාගන්නවා විය හැකි ය. ඒ බොහෝ තැනක මතුපිටට පෙනෙන අප දකින පළමු හේතුව ය. ඇතැම් තැනක තමන් ඉන්නා තැන අනුව, තමන් රඟන සමාජ භූමිකාව අනුව, තමන්ගේ පසුබිම අනුව, තමන් නියෝජනය කරන ජන කොට්ඨාසය අනුව, තමන්ගේ දැනුම හා අත්දැකීම් අනුව, තමන්ට වඩාත් පැහැදිලිව දිස්වන හේතුව ය. තවත් තැනක වඩාත් උද්වේගය ඇති කළ හැකි හේතුව ය. තවත් තැනක තමන්ගේ ව්‍යාපාරයට බල ව්‍යපෘතියට වඩාත් වාසිදායක හේතුව ය. තමන්ට වැඩි ලකුණු දාගත හැකි හේතුව ය.

අප කම්පනයට පත් කළ කැලෑ ගිනි දෙකක් ම මෑත කාලයේ අපි අත් දුටුවෙමු. එකක් බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගින්න ය. දෙවැන්න ලංකාවේ පතන කැලෑ ගින්න ය. ඒ අවස්ථා දෙකේ දී ද සිදු වූයේ මෙවැනි එක් හේතුවක් ඉදිරිපත් කරමින් එයම සනාථ කරන තැනකට සමාජයේ මත සකස් කරන්නන් පත්වීම ය. සෙසු බොහෝ දෙනකු කළේ ද නොවිමසාම මේ එක් “කරත්තයකට“ ගොඩ වීම ය.

ගින්දර ඇතිවන්නේ කැලෑවල හෝ ලිප්වල පමණක් නොවේ. ඇතැම් තැනක අපේ හදවත්වල ය. ඇතැම් විට සමාජයේ ජීවත් වන අහිංසක ම මිනිසුන්ගේ ජිවිතවල ය. ඒවා තේරුම් ගැනීම නිකම් ගින්නක් තේරුම් ගැනිමට වඩා අමාරු ය.

මගේ ජීවිත කාලය තුළ එවැනි අතිශය විනාශකාරී වූ ලොකුම ගින්න මා දුටුවේ අසූ තුනේ ජූලි මාසයේ දී ය. එසේ කීමෙන්, ඊට පසු යුද සමයේ දී නැගුණු ගිනිදැල් අඩු තක්සේරු කිරීමක් නොකෙරේ. එහෙත් යුද්ධය වෙනම විමසිය යුත්තකි. එහි වටපිටාව වෙනස් ය. එහි ගතිකයන් වෙනස් ය. එයට ද මේ සිද්ධිය අතිශය තීරණාත්මක බලපෑමක් කළේ ය. එහෙත් මේ ගින්න ඇවිලෙන්නේ යුද බිමේ නොව ඉන් බාහිරව ය. එක තැනක නොව මුළු රටම වෙලා ගනිමින් ය. යුද්ධයේ දී එකක් පසු පස එකක් වැටෙන නගරයන් මෙන් මේ සිද්ධියේ දී නගර ගම් දනව් එකක් පසු පස එකක් එක් වෙමින් මේ ඛේදවාචකය අවසානයේ මුළු රටම අනුක්‍රමයෙන් යටත් කර ගත්තේ ය. වෙන එකක් තබා දැඩිව රැකවල් ලා සිටි වැලිකඩ බන්ධනාගාරයවත් මේ ගින්නෙන් බේරුණේ නැත.

ඉන්පසු ව ද වරින් වර සමාන ගිනි ඇති වුණේ වුව ඒතරම් ම පැතිරීමක් නැතිවම ඒවා සමහන් වනු මම දුටුවෙමි. එහෙත් කවර මට්ටමෙන් හෝ එවන් ගිනි නැවත නැවතත් ඇති වීම පිටුපස තිබුණේ අපට අසූතුනේ ජූලි මාසයේ ඇති වූ ගින්න තේරුම් ගැනීමට තිබූ නොහැකියාව ය. යුද්ධය ද එහිම ප්‍රතිඵලයකි. ඒ නිසා ම ඒ දෙස නැවතත් බැලිය යුතු ය.

ආරම්භය සොල්දාදුවන් දහතුන් දෙනකුට මරු කැඳවමින් බෝම්බයක් පුපුරා යෑම ය. එය මේ ගිනි දැල් ඇවිල වූ ගිනි පුළිඟුව ය.

ගිනි ගන්නා සුළු ද්‍රව්‍යය තිබුණේ නම් සිදු විය හැකිව තිබුණේ ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කර වගකිවයුත්තන් සොයා දඬුවම් කිරීම ය. එසේ නම් ගිනි පුළිඟුව එහෙමට ගින්නක් ඇති නොකර නිවී යන්නේ ය. එහෙත් ඒ වනවිටත් ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයයන් ද තිබුණේ ය. ඒ නිසා ගින්න ඇවිලී ගියේ ය. අප සොයා යා යුත්තේ අන්න ඒ ද්‍රව්‍යයන් ගැන ය. ගිනි පුළිඟු ඇති වීම වළක්වාලිය නොහැකි ය. එහෙත් අප විමසිල්ලෙන් සිටිතොත් එයින් ගින්නක් ඇවිලී යෑම අපට නවත්වා ගත හැකි ය. ඒ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයන් ඈත් කර තැබීමෙනි.

ගින්න ඇවිල යෑමේ හේතු

සමහරු කියන්නේ අසූ තුනේ කළු ජූලිය සොල්දාදුවන් දහතුන් දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වූ සාධාරණ කෝපයේ ස්වභාවික ප්‍රතිඵලයක් බව ය. ඉවසා ඉවසා බැරි ම තැන පහර දීමට තීන්දු කළ සිංහලයාගේ කෝපය උතුරා ගිය අවස්ථාවක් ලෙස ය. වෙන එකක් තබා එවකට රාජ්‍ය පාලනය කළ ජේ ආර් ජයවර්ධන ද මේ ඉවසා බැරිව කළ වැඩක් බව කල් පසු වී ජාතිය අමතා කළ තම කතාවට ද ඇතුළත් කිරීමට වග බලා ගත්තේ ය.

ඇතැම්හු කීවේ මෙය ආණ්ඩුව විසින් සැලසුම් සහගත ලෙස මෙහෙයවන ලද්දක් බව ය. ගෘහමූලික ලයිස්තු සහිත ව තෝරමින් පහර දෙන විලාසයක් පහර දුන් අය විසින් ප්‍රදර්ශනය කළ බව ය. ආයුධ අතට ගැනීම ගැන ආණ්ඩුවේ පිළිතුර ඒ තුළ මොනවට කියන ලද බව ය.

සමහරු කීවේ මෙය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ නිරුවත් ප්‍රකාශනයක් වූ බව ය. සිංහල බෞද්ධ මනසේ ජාගරත්වය ලොවට දැක බලා ගත හැකි ලෙස ප්‍රදර්ශනය කරන ලද අවස්ථාවක් හැටියට ය. පහර දීමට කෙලින්ම සම්බන්ධ නොවූ සිංහල බෞද්ධ සැලකිය යුතු පිරිසක් ද නිශ්ශබ්දතාවයෙන් ද ඇතැම්හු වචනයෙන් ද මෙය අනුමත කළ බව ය. ඒ පිළිබඳව සතුටු වූ බව ය. යාපනය පුස්තකාලයට ගිනි තැබබීමෙන් සතුටට පත් වූයේ යම් සේ ද මේ හිංසනයෙන් ද ඔවුන් සතුටට පත් වී සිටි බව ය. මා දන්නා කියන දැන උගත් මිනිසුන් අතර ද හොඳ වැඩේ, ඔහොම කරල මදි උන්ට අමතක නොවන පාඩමක් උගන්නන්න ඕන යාපනේට ම පන්නල දාන්න ඕනෑ යයි කියූ මිනිසුන් ද සිටි බව මට ද මතක ය.

තවත් අය කීවේ මේ පිටුපස සිටියේ කොල්ල කෑමේ අභිලාශයෙන් පෙළුණු මැරයන් බව ය. රස්තියාදුකාරයන් බව ය. කඩ සාප්පු කොල්ල කෑමට ඉදිරිපත් වීමෙන් ඔවුන් සිය අභිලාශය මොනවට ප්‍රදර්ශනය කළ බව ය. දෙමළ මිනිසුන් සොයමින් ඔවුන්ට හිංසා කරන අතරේ, ඔවුන්ගේ දේපළ ගිනිබත් කරන අතරේ, කොල්ල කෑම ද හරි හරියට කෙරුණේ ය.

නිවාසවලට ද වඩා වැඩියෙන් ප්‍රහාරයන් එල්ල වූයේ ව්‍යාපාරික ස්ථාන වෙත ය. ඒ නිසා ම ඇතැම් අය කීවේ මේ පිටුපස සිටියේ තරගකාරී ව්‍යාපාරිකයන් බව ය. වෙළෙඳ පොළේ දී පරාජය කළ නොහැකි ප්‍රතිවාදීන් පරාජය කිරීමට මතු වූ තත්වය පාවිච්චි කළ ව්‍යාපාරිකයන් බව ය. ඉටු කර ගත්තේ ව්‍යාපාරික වුවමනාවන් බව ය. කොල්ල කෑමට සීමා නොවී අඟුරු අළු පමණක් ඉතිරිවන ලෙස පුච්චා දමන ලද්දේ ඒ නිසා බව ය.

මේ සිද්ධි නිසා අගතියට පත් තමන් දන්නා අඳුනන අය පමණක් නොව නොදන්නා අය පවා බේරා ගැනීමට, සිය දිවි නොතකා කටයුතු කළ මිනිසුන් ද දකුණේ සිටි බව කිව යුතු ය. එහෙත් එය අතලොස්සක් වූ අතර ඇති වූ ගින්න මැඩ පැවැත්වීමේහි ලා ප්‍රමාණවත් සාධකයක් ලෙස ක්‍රියාත්මක නොවී ය. එයට එක් හේතුවක් වූයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටි බල ඇණි ද එක්කෝ මේ මෘගත්වයට එක් වී හෝ ඊට අනුබල දෙමින් සිටින අතරතුර, එසේ නොවූ තැනක, අහක බලාගෙන සිටීමට තරම් අකාරුණික වූ නිසා ය. එයින් ද පෙනී ගියේ අප රටේ පැසවමින් පවතින අමනුස්සකමක් තිබෙන බව ය. අන්‍යයන් නුරුස්සන, තමන්ගේ නොවන අය, පරයන්, නොමිනිසුන් ලෙස සලකන, මානසිකත්වයකින් බහුතරය පෙළෙන බව ය.

එය සිංහල ද දෙමළ ද යන භේදයක් නැතිව ම ක්‍රියාත්මක වන බව පෙනුණේ එල්ටීටීය විසින් ඊට පසු ව එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයන් නිසා ය. මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් කිසිදු සම්බන්ධයක් නැති අහිංසක නිරායුධ මිනිසුන් මරා දැමීමට ඉදිරිපත් වූ නිසා ය. අනතුරුව ඇරඹි යුද සමයේ දෙපාර්ශවයම විසින් ඇහැට ඇහැක් ඉල්ලා සිටිනු ලැබුවේ ය. ඒ ඇවිළුණු ගින්න ඉතිරි කළ ගිනි පුළිඟු මිනිසුන්ගේ හදවත් තුළ ඉතිරි විය. උතුරේ යුද බිමේත් දකුණේ සාම බිමේත් වරින් වර ඒවා නැවත නැවතත් ඇවිල ගියේ ය.

අවසන් ප්‍රතිඵල ලේඛනය

අසූ තුනේ කළු ජූලිය එල්ටීටීයට අවශ්‍ය යුද භටයන් ද තනා දුන්නේ ය. සිංහල දකුණට එරෙහිව මෘගත්වය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෛරී මනස සපයා දුන්නේ ය. එපමණක් නොවේ. එල්ටීටීයට අවශ්‍ය අරමුදල් සපයා දිය හැකි ඩයස්පෝරාවක් ද එය හදා දුන්නේ ය. යුද්ධය වැඩුණේ ද කළු ජූලියේ හෙවනැල්ල යට ය. එහි ආශිර්වාදය ලබමින් ය. ඒ නිසා ම සමහරුන් එය දැක්කේ එල්ටීටීය විසින් සියල්ල හිතාමතා සැලසුම් කර දියත් කරන්නට ඇති බව ය. තමන්ට අවශ්‍ය යුද භටයන් සපයා ගැනීමට ද, අවශ්‍ය අරමුදල් ලබා ගැනීම උදෙසා ඩයස්පෝරාවක් බිහිකිරීමට ද, ප්‍රභාකරන් ඇටවූ සැලසුමක ප්‍රතිඵලය බව ය. එයට දකුණේ සිංහල බෞද්ධයින් මෝඩ ලෙස අසු වූ බව ය.

තවත් සමහරු කීවේ මේ බෝම්බ පිපිරවීම ඉන්දියන් රෝ ඔත්තු සේවය විසින් ලංකාවේ කටයුතුවලට ඉන්දියාවට මැදිහත් වීමට මගක් පාදා ගනු සඳහා ප්‍රභාකරන් ඉත්තකු ලෙස ගෙන සැලසුම් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵල බව ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ව්‍යාසනයක් ඇති වනු ඇතැයි ඔවුන් කල් තබා නිගමනය කරන්නට ඇති බව ය. 1978 දී හා 1981 දී ඇති වූ ජාතිවාදී හිංසනයන් සැලකිල්ලට ගනිමින් ඔවුන් ඒ තීරණයට එන්නට ඇති බව ය. ඒ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවට පස්ස පෙන්නා, බටහිර දෙසට හැරී තිබීම නිසා, ඉන්දියාව අපේ ආණ්ඩුව සම්බන්ධයෙන් උරණව සිටීම, මෙවැනි මැදිහත් වීමට අවස්ථාවක් පාදා ගැනීම සඳහා ඔවුන්ව පොළඹවන්නට ඇති බව ය.

තවත් සමහරු කීවේ මතුවෙමින් පැවතුණ හිංසනය හේතුවෙන් ආයුධ වෙළෙන්දන් මේ රට ආයුධ විකිණිය හැකි මට්ටමේ යුද්ධයක් ඇති කිරීම කරා තල්ලු කර දැමීමට ඇති ශාක්‍යතාවය දැන හැඳින එය ඉක්මන් කරනු සඳහා කරන ලද මැදිහත් වීමක් ලෙස ය.

තවත් කෙනකු කීවේ රටේ ඌන ආර්ථික සංවර්ධනයක් පැවතීම මේ සියල්ල පිටුපස තිබෙන බව ය. ඒ ආර්ථිකය විසින් ප්‍රමාණවත් තරමේ අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා හෝ ව්‍යාපාරික අවස්ථා ඇතිකර තිබුණේ නැත. ඒ මගින් ඇති කර තිබූ තරුණ අසහනය අවස්ථාවාදී බල ලෝභී දේශපාලකයන් විසින් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා භාවිතා කළ බව ය. ඒ උදෙසා එකිනෙකාට විරුද්ධව විවිධ වාර්ගිකයන් උසි ගැන්වීමේ එක් ප්‍රතිඵලයක් ලෙස ඔවුහු මේ කලකෝලාහල අර්ථ දැක්වූහ.

සිද්ධියක් ඇති කිරීමට හේතු සාධක එක පැත්තක ය. ඒ සිද්ධිය වූ පසු එයින් ඵල ප්‍රයෝජන ලබන්නට එන අයගේ මැදිහත් විම් තව පැත්තක ය. මේවා වෙන් කර ගැනීමට නොහැකි ලෙස එකට මිශ්‍ර වීම නිසා මුල් හේතු සොයන්නා අතරමං වන්නේ ය. එකක් නම් පැහැදිලි ය. මේ සිද්ධිය ඇති කළ හේතු විවිධ ය. එය පැතිර ගිය හේතු ද විවිධ ය. එය යුද්ධයක් දක්වා පරිවර්තනය කළ හේතු ද විවිධ ය. බහු විධ ය.

එහෙත් බොහෝ දෙනකු කැමති තමන්ගේ මතය සනාථ කරන හේතු මේ තුළින් දකින්නට ය. අනිත් සියල්ල අමතක කර දැමීමට ය. සමස්ත පින්තූරය, එහි සියළු පැතිකඩත් සමග, අනාවරණය කර ගැනීමට වෙහෙසීම වෙනුවට, ඔවුන් කරන්නේ තම මතයට අදාළ හේතු කාරණා ඉදිරිපත් කරමින්, ඒ තුළ ගැඹුරට යෑමට ය. ගැඹුරට දිගින් දිගට යන විට සිදු වන්නේ පළල තවදුරටත් අඩුවෙන් පෙනීම ය. සෙසු කරුණු නොපෙනී යෑම ය. අතුරු කාරණා මග හැරීම ය.

දුමට හේතුව ගින්නක් බවට විවාදයක් නැත. එහෙත් අපහසු ගින්න ඇති වී එය පැතිර ගියේ කෙසේ දැයි පිළිබඳ එකඟත්වයකට පැමිණීම ය. ඒ අපට, අප සිටින තැනින් මඳකට ඉවත් වී, ඒ ප්‍රශ්නය දෙස බැලීමට නොහැකි නිසා ය. ඒ නිසා ම අපට සිදු ව ඇත්තේ වැරදි ප්‍රතිකාර කරමින් තුවාලය පවත්වාගෙන යෑමට ය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් වැඩක් වන්නේ නැත. එහෙත් අතිමහත් භක්තියෙන් අපි එසේ කරගෙන යන්නෙමු.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *