|

බෙදුණු එජාපය එක්කල මෙහෙයුම ; චන්දය දිනන හැටි ; කොන්දේසි කතාව ගැන ඇත්ත

එජාප අපේක්ෂකයා තේරීම දිනෙන් දින කල් යන බවත් එය අභ්‍යන්තර ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවටත් විවිධ විෂම ජනමාධ්‍ය හා සමාජ ජාලා ප්‍රවෘත්ති මෙන්ම කටකතා පැතිර ගියද අපේක්ෂකත්වයට අදාලව එජාප අභ්‍යන්තරය තුල පැවැතියේ සන්සුන්කාරී පරිසරයකි. අගමැති රනිල් සහ සජිත් පාර්ෂව අතර සාකච්ඡා සම්මුති මෙන්ම එකඟතාද දිනෙන් දින ඇතිවෙමින් තිබිණ. දෙපාර්ශවයේ දේශපාලඥයන් විවිධ න්‍යාය පත්‍ර මත මීට අදාලව ක්‍රියා කරන පසුබිමක රනිල් සහ සජිත් දෙදෙනාටම ඉතා සමීප මාධ්‍යකරුවන්ද පටු න්‍යායපත්‍ර වලින් තොරව සියල්ල ගොඩින් බේරාගැනීමේ මෙහෙයුමක නිරත විය. අවසානයේ වඩාත් සාර්ථකත්වයට පැමිණියේ මාධ්‍යකරුවන්ගේ අවංක සහ අපක්ෂපාතී මැදිහත්වීම බව මේ වනවිට සියළු පාර්ශව පිළිගන්නා පසුබිමක් පවතී.

පසුගිය අගහරුවාදා එජාප නායක, සභානායක ලක්ෂමන් කිරිඇල්ල, සභාපති කබීර් හෂීම්, මලික්, මද්දුමබණ්ඩාර, රවී, නවීන් ඇමතිවරු අරලියගහ මැදුරේදී සවස 5:00 ට හමුවූයේ එකී තීරණාත්මක තීන්දුව ලබාගැනීමටය.

“අපේක්ෂකයා තේරීම අද ඉවරකරමු. රටට ගියපු චිත්‍රයට වඩා අප අතර දැන් විශාල අවබෝධයක් තිබෙනවා නේද?” ලක්ෂමන් කිරිඇල්ල කීවේය.

“ඔව්. අපි සජිත්ට අපේක්ෂකත්වය දෙමු. සියළුදෙනා එකතුවෙලා මේ ඡන්දය දිනමු. මේක දිනන්න පුළුවන් ඡන්දයක්. මොකද ආණ්ඩුව ඇතුලෙන් හා පිටින් දේශපාලනිකවත් ඊට අමතරව ජනමාධ්‍යත් කොච්චර කකුලෙන් ඇද්දත් මේ ආණ්ඩුව තරම් රටට වැඩ කළ පිරිසක් තවත් නෑ. කෝටි දහස් ගණන් රාජපක්ෂලාගේ ණය කන්දක් ගෙවමිනුයි අපි මේ ප්‍රාතිහාර්‍ය කළේ. ඒ විතරක්ද, ආණ්ඩු විරෝධය කෘතිමව ඇතිකළ ජනමාධ්‍ය හෝ සමාජ ජාලා වල කිසී කෙනෙකුගේ මයිල් ගහකටවත් හානියක් වුණේ නෑ. ඒ තරමටම අපි නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කළා. මට ඒ ඇති. අවශ්‍යනම් මම දේශපාලනයෙනුත් සමුගන්නම්” අගමැතිවරයා සිය ස්ථාවරය දීර්ඝ ලෙස පැහැදිලි කළේය.

“නෑ නෑ ඔබතුමා යන්න එපා. අගමැතිකම මෙන්ම පක්ෂ නායකත්වයේත් ඔබතුමා දිගටම රැඳී ඉදීම වැදගත්. ඒ අත්දැකීම් වටිනවා.” කබීර්, මලික් මෙන්ම රංජිත් මද්දුමබණ්ඩාරද කීවේ එකම මතයකි.

“හොදයි. එහෙනම් සජිත් අපේ අපේක්ෂකයා ලෙස තීන්දුයිනෙ. අද රෑට මටනම් හොඳට නින්ද යාවි.” ලක්ෂමන් කිරිඇල්ල අවසානයේ කීවේ කාගේත් සිනා සහ සුබපැතුම් මැදය.

මෙම තීන්දුව ගැනීමත් සමග එය සමාජ ජාලා වල ප්‍රචාරය වූයේ ඉතා විකෘති චිත්‍රයක් රටට ලබාදෙමිනි. දැවැන්ත කොන්දේසි මාලාවකින් සජිත් ගැටගසා ඔහු තරගයට දැමීමට එජාප නායකයා සූක්ෂමව ක්‍රියාකොට ඇති බවත්. සජිත් පෙන්වා රනිල් බලය ගැනීමේ වැඩපිළිවෙළක් දියත්කොට ඇති බවත් ය. ඒ හරහා සජිත් ප්‍රේමදාස පත්වූයේ දැඩි අපහසුතාවයකටය.

බදාදා සවස සජිත් පිළිගැනීමේ සිව්වන දැවැන්ත රැළිය මතුගමදී පැවැති අතර ඔහු එහිදී දැවැන්ත ප්‍රහාරයක් තමා බැඳදැමූවා යැයි කියන කොන්දේසි වලට එරෙහිව එල්ලකළේය.

“මම කාගේවත් කොන්දේසි වලට යටවෙලා වැඩකරන්නෙ නෑ. මම රූකඩයක් නෙවෙයි. කොන්දේසි එක්ක සක්විති රජකමවත් එපා…” සජිත් මතුගමදී කීවේ එවැන්නකි.

බ්‍රහස්පතින්දා අගමැතිවරයා සුපුරුදු ලෙස අරලියගහ මැදුරේදී මැති ඇමතිවරු මෙන්ම මාධ්‍යකරුවන් හමුවිය.

“ඊයේ සජිත් මතුගමදී කරපු කතාව ටිකක් සැර වැඩියි කියලයි සමහරු කියන්නේ. ඒත් ඒ ගැන අපි මේට වඩා ගැඹුරින් විග්‍රහ කරගන්න ඕනෑ. ඔහු උත්තර දුන්නේ අගමැති හෝ පක්ෂට වඩා බොරු ප්‍රවෘත්ති පැතිවරවූ ජනමාධ්‍ය හා සමාජ ජාලා වලට විය හැකියි.” නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු කාගේත් දැඩි අවධානයට යොමුවිය.

“ඒක ඇත්ත. ජනාධිපතිවරණෙකට එන අපේක්ෂකයාගෙ කකුල් අතපය බැඳල දාල කියන එකයි රටට ගියපු වැරදි චිත්‍රය වුණේ. ඒක නිවැරදි කරන්නයි සජිත් එතනදි ක්‍රියා කළේ. ඒක හරි” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේය.

“අපේ අපේක්ෂකයට කිසිම කොන්දේසියක් දාන්නෙ නෑ. කිසි කෙනෙක් කොන්දේසි වලට යටත් විය යුතුත් නෑ. පක්ෂ ස්ථාවර අනුව මේ ජනපතිවරණයේදීත් ඉදිරියට ගෙන යා යුතු අපේ ප්‍රතිපත්ති තියනවා. ඒ නිසා එම එකඟතා අපිට පහසුවෙන් බේරගන්න පුලුවන්. කොන්දේසි කියන වචනය සම්පූර්ණයෙන්ම එජාපය තුල ගැටුම් ඇතිකරන්න විපක්ෂයට හිතවත් අය කරපු කුමන්ත්‍රණයක්” අගමැතිවරයා පැහැදිලි කළේය.

“විධායක ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම, පවතින ව්‍යවස්ථාව ඉදිරියට ගෙන යාම හෝ කාටත් පිළිගත හැකි නව ව්‍යවස්ථාවක් ගැන සලකා බැලීම එජාප ස්ථාවරය බව අමුතුවෙන් කියන්න ඕන නෑ.” කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති උපාලි පියසෝම කී දේ එහි සිටි සියළුදෙනාම අනුමත කළහ.

“කොහොම නමුත් ආණ්ඩුව ඇතුලෙ ඉන්න 106 හෝ 107 දෙනා එක මිටකට ඉදිරියට යන්න ඕනෑ. එහෙම නොවුණොත් අවාසිය අපේ පක්ෂයට මෙන්ම වසර හතර හමාරක් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳපු ජනතාවටයි” මහාචාර්‍ය ආශු මාරසිංහ කීවේය.

“කෘත්‍යාධිකාරියේ ඡන්ද ගැන නම් හිතන්න එපා. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක්” චමින්ද විජේසිරි කී දේ සියළුදෙනාම අනුමත කළහ.

“නෑ ඡන්දෙකට යමු කියල මම කොහේදීවත් කියල නෑ. සියල්ල කතාබහ කරල බේරගන්න බැරිනම් ඡන්දය අවසන් විකල්පය කියල මම ඔය කබීර්ලට මලික්ලට එහෙම නිකමට කියල තියනවා. එච්චරයි. මම සියල්ල ඇතෑරලා පක්ෂය දිනවන්නයි හදන්නේ. එපා නම් මම යන්න වුණත් සූදානම්.” අගමැතිවරයා කීවේය.

“දකුණෙන් විතරක් ඡන්ද දිනන්න බෑ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු, නැගෙනහිර පලාත් ගැනත් අපේ දැඩි අවධානය යොමුවෙන්න ඕනෑ.” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“සියළු පාර්ශව එකඟතාවලට ආවත් කොළඹ, ගම්පහ, කෑගල්ල, මාතර, රත්නපුර, ගාල්ල කුරුණෑගල වගේ තැන්වල සමහරු වෙනමම ජනපතිවරණ සටන ගෙනියන්න උත්සාහ කරනව කියල ආරංචියක් තියනවා. එහෙම සුළු හරි බෙදීමක් තියෙන්න බෑ.” දිනේෂ් වීරක්කොඩි කීවේ එවැන්නකි.

“ඒක ඇත්ත. අගමැතිතුමා, රවීල නැතුව කොළඹයි, කිරිඇල්ල ඇමතිතුමා මම නැතුව මධ්‍යම පලාතයි, වජිරල නැතුව ගාල්ලෙයි අපිට වාසි ගන්න පුළුවන්ද? උතුරු නැගෙනිහිර කොහොමත් අපිට වාසියි. ඒත් ඒ මිනිස්සු උදේම කූද්දල ඡන්ද පොලට යවන්න ඕනෑ. ඒක වැඩිපුරම කරන්න පුළුවන් අගමැතිතුමාටයි” නවීන් දිසානායක කීවේය.

“සජිත් හම්බන්තොට හිරවෙලාම බෑ. රට පුරාම යන්න වෙනවා. ජනපතිවරණ සටනකදී හම්බන්තොට යන්තම් නෙවෙයි අපි උඩින්ම දිනන්න ඕනෑ. සජිත්ට ඒක අමාරු නෑ.” උපාලි පියසෝමගේ මතය සියළු දෙනා අනුමත කළහ.

“සජිත් අවංක ඉතා හොඳ යමක් පළල්ව දැකිය හැකි කෙනෙක්. ඒත් සමහරුන් හිතනවා ඔහු පහසුවෙන් එයාලට හසුරවන්න පුළුවන් කෙනෙක් කියලා. ඒක ලොකු මිත්‍යාවක්.” අගමැති රනිල් සජිත් ගැන මෙතෙක් කළ තීරණාත්මකම විග්‍රහය එයය.

“ගෝඨාබය ගැන ඉතා දැඩි චෝදනා සහිත බී වාර්තාවක් ගැන අද උදේ මට අළුත්ම ආරංචියක් ආවා. ඒ ගැන හොයල බලන්න ඕනෑ. ගෝඨාභයගෙ සියල්ල විසඳෙන්න එයා මේ රටේ පුරවැසියෙක්ද නැද්ද කියන එක මතයි” එජාප නීති උපදේශකයෙකු කීවේ ඔහුට ඒ අවස්ථාවේ ලැබුණු දුරකතන ඇමතුමක් මත පදනම් වෙමිණි.

“මේ වර්ජන රැල්ල ඉතා අසාධාරණ ජනතාව අපහසුතාවයට මෙන්ම කුපිත කරන එකක්. රටේ ආර්ථිකයටත් විශාල හානියක්. මේ පිටුපස්සෙ පටු දේශපාලන අවස්ථාවාදීන් ඉන්නවා කියන එකයි සල්ලි යොදවනවා කියන එකයි බුද්ධි අංශත් වාර්තා කරනවා. ප්‍රශ්නයක් විසඳුවහම තවත් ප්‍රශ්න අල්ලගෙන වර්ජන දිගටම කිරීමෙන් මේ අවස්ථාවාදීකම පැහැදිලි වෙනවා.” දිනේෂ් වීරක්ක්කොඩිගෙ විග්‍රහය එය විය.

“වර්ජකයන්ගෙ සාධාරණ හා යුක්ති සහගත ඉල්ලිම් අපි ඉෂ්ඨ කළා. ඒ වගේම ඉටු කරනවා. රුපියල් 10,000 ක් 2500 ක් ලෙස දෙවරක් පඩි වැඩි කළා. ලබන ජනවාරියේ තවත් විශාල පඩි වැඩිවීමක් අපි කරනවා. රාජපක්ෂලා වර්ජකයෝ වෙඩිතියලා මරල, අතුරුදහන් කරලා හෝ අතපය කඩල මර්දනය කළා මිසෙක කිසිම ඉල්ලීමක් ඉෂ්ඨකළේ නෑ. ඒක නිසානේ තාමත් රණවිරුවො මහපාරෙ ඉන්නේ. ඉතින් මේ පහත් පෙළේ වර්ජන මෙහෙයවන්නන්ට ජනතාව ඡන්ද වලදී මෙන්ම මහපාරෙදීත් උත්තර දේවි කියලයි මට හිතෙන්නේ. මේ වර්ජකයො ගැන මම ඉතා කණගාටු වෙනවා.” අගමැතිවරයා කීවේ ඉතා හැඟීම්බරවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *