විධායක ආලය – සම්පත් අමරසිංහ

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ආණ්ඩුවේ යෝජනාවක් ලෙසින් විවාදයට ගැනීමට පසුගිය 19 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත් එය තීන්දුවකින් තොරව අවසන් වී ඇත්තේ ඇමැතිවරුන් කීප දෙනෙකු ගේ විරෝධය හේතුවෙන් බව කියනු ලැබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම් සඳහා වන යෝජනාව පසුගිය වර්ෂයේ පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූයේ ජනතාව විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රීයෝජනාවක් වශයෙනි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් අත ළඟම පැමිණෙන තුරු එම යෝජනාව පිළිබඳ ඉදිරි කටයුතු ඉටු කිරීමට එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, හෝ පොදු ජන පෙරමුණට, අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට උනන්දුවක් තිබුණු බවක් පෙනුණේ නැත. එම මන්දෝත්සාහී බවට හේතුව වශයෙන් සැලකිය හැක්කේ 2020 ජනාධිපති වරණයේදී තමන්ට තම පක්ෂයට ජනාධිපති ධූරය ලබා ගැනීමට තිබුණු වුවමනාව යැයි සිතන්නට පුළුවන.

ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වූයේ ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත්වී ඇති බැවින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම මේ මොහොතේ අත්හිටවූ බවයි. බොහෝ විට විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඊළඟ ජනාධිපතිවරයාට සහ ඊළඟ ආණ්ඩුවට පැවරෙන කාර්යයක් වනු ඇති බවට ලකුණු මේ වනවිටත් පහල වී තිබේ.

ජනතාව විසින් මේ මොහොතේ බරපතළ ආකාරයෙන් සාකච්ඡාවට ගත යුතු ප්‍රශ්නයක් ව පවතින්නේ ඊළඟ ජනාධිපතිවරයා යටතේ විධායක ජනාධිපතිධුරය සම්බන්ධව කවරක් සිදු වනු ඇති ද යන ප්‍රශ්නයයි. ඒ ඒ ජනාධිපති අපේක්ෂකයන් විධායකය සම්බන්ධයෙන් මේ මොහොතේ හැසිරෙන ආකාරය අනුව විධායකය අහෝසිය ඒ ඒ තැනැත්තාගේ පාලනයක් තුළ කෙසේ වනු ඇද්දැයි යන නිගමනයට එළඹෙන්නට ජනතාවට පුළුවන.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගනු ලබන්නේ නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් ගැන කෙසේවත් බලාපොරොත්තු තැබිය නොහැකි වනු ඇත. විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම සම්බන්ධ මාතෘකාව පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ වැඩපිළිවෙළට අදාලම නොවන කටයුත්තකි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු වෙනුවට, යම් හෙයකින් පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය විජයග්‍රහණය කළ හොත් සිදු වනු ඇත්තේ ජනාධිපති ධුරය ද දහනවවැනි සංශෝධනයෙන් පත්කර ඇති තත්ත්වයටත් වඩා ශක්තිමත් කරන්නට කටයුතු කිරීම බවට සැකයක් නැත.

පොදු පෙරමුණෙහි නායක මහින්ද රාජපක්ෂ මහතා, උදය ගම්මන්පිල වැන්නන්ගේ ප්‍රකාශ අනුව ඒ බව නිගමනය කරන්නට පුළුවන. මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වුවහොත් විධායකයට දැනට පවතින බලතල ප්‍රශ්නයක් කර නොගනු ඇති බව ය. විධායකයේ බලය ඉක්මවා ඔහු කටයුතු කරනු ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන බව ඒ ප්‍රකාශය අනුව පෙනේ. ජනාධිපතිවරයාට බලතල ඉක්මවා ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන්නට ඉඩ සැලසීම පිළිබඳ වැදගත් අත්දැකීමක් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස විසින් පසුගිය වසරේ ලබා දෙනු ලැබුණි. එය නම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇරයුම අනුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය බාර ගැනීමයි. ඒ අවස්ථාවේ එම දේශපාලන කුමන්ත්‍රණය වැලකී ගියේ විශේෂයෙන්ම අධිකරණයත් , පාර්ලිමේන්තුවත් ස්වාධීනව හා ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කළ බැවිනි.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, උදය ගම්මන්පිල වැන්නන් විධායකය, ව්‍යවස්ථාදායකයේ බලය හසුරුවනු ලබන වටපිටාවක ඔක්තෝබර් කුමන්ත්‍රණය සිදු වූයේ නම් එය අවසන් වන්නට තිබුණේ මේ ආකාරයෙන් නොවේ. එසේ වූයේනම් ඔවුන් ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවේ සහය විවිධ වරදාන මගින් කුමන්ත්‍රණය සාර්ථක කරගැනීම සඳහා ලබාගෙන කුමන්ත්‍රණයට නීත්‍යානුකූල බවක් ලබා දෙන්නට කටයුතු කරනු ඇත. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපතිධූරය යාවජීව කරගැනීම සඳහා ඔවුන් අනුගමනය කරනු ලැබුවේ ද එවැනි ප්‍රතිපත්තියකි.

දෙවනුව ගෝඨාභය, මහින්ද, බැසිල්, ගම්මන්පිල පාලනයක් යටතේ අධිකරණය මගින් ඔක්තෝම්බර් කුමන්ත්‍රණයේදී එවැනි තීන්දුවක් දෙනු ලැබූයේ නම් එම නියෝගයට හිස නමන්නට ඔවුන් කිසිසේත්ම සූදානම් නොවන බවට සැකයක් නැත. එසේ වූයේ නම් ඔවුන් නිශ්චිතවම අනුගමනය කරනු ලබන පිළිවෙත වන්නේ ඔවුන්ගේ රෙජීමය සමයේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධව අනුගමනය කරනු ලැබූ පිළිවෙතම බව නිසැකය.

උදය ගම්මන්පිලට වැන්නන්ගේ ප්‍රකාශ අනුව ගම්‍ය වන්නේ අවශ්‍ය අවම වශයෙන් ඔවුන් දහනව වැනි සංශෝධනය යටතේ ජනාධිපති ධුරයේ බලතල සීමා කර ඇති බව පිළිගන්නට සූදානම් නැති බවය. මේ සියල්ල අනුව පෙනී යන්නේ පොදුජන පෙරමුණ යටතේ සිදුවීමට නියමිත විධායකය අහෝසිය වෙනුවට අනියෙන් හෝ මනියෙන් විධායකය තහවුරු වීම සහ සීමාවද ඉක්මවා විධායකය ක්‍රියාත්මක වීම බවය.

සජිත් ප්‍රේමදාස මහතා විධායකය සම්බන්ධයෙන් දරන අදහස වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් හෝ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු වී නැති බවයි. ඒ අනුව ඒ මහතා මේ මොහොතේ විධායකය අහෝසි කිරීම හෝ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හෝ පසුවන්නේ වැනෙන සුලු ප්‍රතිපත්තියක බව පෙනේ. එම වැනෙන සුළු බව එක්තරා ආකාරයක දේශපාලන තුරුම්පුවක්. එනම් විධායකය අවශ්‍යය යැයි සිතන සුළුතර පක්ෂ වල අනුග්‍රහය දිනා ගැනීමේ පිළිවෙතක් යැයි සිතන්නට පුළුවන. එහෙත් මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ විධායකය සම්බන්ධව දෙපැත්තට වැනෙන නායකයෙකු නොවේ. ඒ සම්බන්ධව තම මතය ඉඳුරා ප්‍රකාශ කර ඒ මතය වෙනුවෙන් සෘජුව ක්‍රියාකරන නායකයෙකි . දෙවනුව සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් ප්‍රකාශ කරමින් සිටින්නේ තමා ජනාධිපති ධූරයට පත්වූ පසුව සිය ධුර කාල දෙක තුළ කරන කටයුතු පිළිබඳවය. එහි යටි අරුත සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් වුවහොත් පවතින විධායකයේ වෙනසක් සිදු නොකරනු ඇති බව සහ ඔහු ද මෙතෙක් පත් වූ සියලුම ජනාධිපතිවරුන් මෙන් ධුර කාල දෙක ම අල්ලාගෙන ඉන්නට උත්සාහ කරනු ඇති බවයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා යටතේ විධායකය අහෝසි යක් ජනතාවට බලාපොරොත්තු විය නොහැකිය.

විධායකය සම්බන්ධයෙන් විද්‍යාත්මක සමීක්ෂණයක් ඉල්ලා සිටීමද සජිත් ප්‍රේමදාස සජිත් මහතාගේ කූඨ උපක්‍රමයකි. විධායකයේ හොඳ නරක පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ කරන ආකාරය මුලින්ම සජිත් මහතා ජනතාවට පැහැදිලි කළ යුතුය අනෙක විධායකයේ හොඳ නරක මේ වනවිට උවමනාවටත් වඩා ප්‍රායෝගික තලයේදී ඔප්පුවී හමාරය. 18 වැනි සංශෝධනය මගින් මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපතිධූරය යාවජීව කර ගැනීම එයට එක් නිදර්ශනයකි .

ජනවාරි වරුන් විසින් එම කූට වැඩපිළිවෙළ 2015 වසරේ පරාජයට පත් නොකළේ නම් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉරණම මේ වනවිට ලියැවී තිබෙන්නේ ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වීමට නොව මහරජාණන් කෙනෙකු යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන්නටය.

ජාතික ජන බලවේගය ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විධායක අහෝසිය වෙනුවෙන් පෙනී සිටි නමුත් පවතින තත්වය යටතේ ඒ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. එහෙයින් ඒ මහතා මඟින් විධායකය අහෝසි කර ගැනීම පවතින්නේ අඩමාන තත්ත්වයකය.

පවතින සංවාද මගින් පැහැදිලි වන කරුණක් වන්නේ විධායකය අහෝසි යන සටන් පාඨය තවමත් ශ්‍රී ලාංකික සමාජයේ වලංගුබවය. කරු ජයසූරිය මහතාගේ අදහස වන්නේ විධායකය අහෝසි ය යන කරුණ සඳහා තමන් ජනාධිපති ධූර අපේක්ෂකත්වය භාර ගැනීමට සූදානම් බව ය. නමුත් ඒ මහතාගේ එම අභිප්‍රාය ඉටුකර ගැනීමට එක්සත් ජාතික පක්ෂයෙන් හෝ එක්සත් ජාතික පෙරමුණෙන් දැක්වෙන අනුකූලතාව තවමත් ප්‍රශ්නකාරීය.

එවන් වටපිටාවක මෙරට ජනතාවට දැනට ඇති එකම විකල්පය ලෙස පෙනෙන්නේ ජය පරාජය කුමක් වුවත් තම විධායක විරෝධය අනුර කුමාර මහතාට මනාපය පලකිරීම මගින් ප්‍රදර්ශනය කිරීමය. එවැන්නක් එජාප ජනාධිපතිවරණ සටනට මාරාන්තික වීම වැලළැක්විය නොහැකිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *