අභිමානයක් නැති ආබාධිත සෙබළු – අනුර සූරිය බණ්ඩාර

ආබාධිතසෙබළුන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත ව සිටිති. ඒ තමන්ට විශ්‍රාම වයස පසුවූ පසුවත් විශ්‍රාම වැටුප වෙනුවට සම්පූර්ණ වැටුපම ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඔවුන්ගේ එම ඉල්ලීම සාධාරණීකරණය කරමින් කතා කළ එක් තැනැත්තෙකු විමසා සිටින පෙනුනේ ආබාධිත සෙබළුන්ට විශ්‍රාම වයසින් පසුව ගෙවනු ලබන්නේ වැටුපෙන් අඩක් පමණක් නම් විශ්‍රාම යාමෙන් පසුව ආබාධිත සෙබළුන් ආහාර ගත යුත්තේ බඩෙන් බාගයක් ද ඔවුන්ගේ දරුවන්ට ඔවුන් ඉගැන්විය යුත්තේ භාගයට ද මව්පියන්ට සැලකිය යුත්තේ භාගයට ද ආදී වශයෙනි.

ඒ වනාහී අමුතු තර්කයකි. බැලූ බැල්මට එය ඉතා සාධාරණ තර්කයක් මෙන් පෙනෙන බවත් සත්‍යයකි. නමුත් සාධාරණව කල්පනා කරන විට එහි කිසිම සාධාරණත්වයක් නැත. හමුදා සෙබළුන් යනු ද රජයේ සේවක කොටසකි. ඕනෑම රජයේ සේවකයකුට විශ්‍රාම යාමෙන් පසුව වැටුප් ගෙවනු ලබන පිළිගත් සම්මත ක්‍රමයක් තිබේ. හමුදා සෙබළුන්ට ද එය අදාළය.

හමුදා සෙබළුන්ට විශ්‍රාම යාමෙන් පසුව වැටුප අඩුවන බැවින් ඔවුන්ට කුසෙන් අඩක් කන්නට බාගෙට උගන්වන්නට සිදුවන්නේ නම් විශ්‍රාම ලබන අනෙකුත් රජයේ සේවකයන්ට ද ඒ තත්ත්වයම උදාවිය යුතුය. එපමණක් නොවේ ආබාධිත නොවන හමුදා සෙබළුන්ට ද විශ්‍රාම යාමෙන් පසුව එම තත්ත්වයම උදාවිය යුතුය. එහෙත් මෙතෙක් කිසිම රජයේ සේවකයෙක් විශ්‍රාම යාමෙන් පසුවත් තමන්ට සම්පූර්ණ වැටුප් ලබා දිය යුතුය යැයි උපවාස, උද්ඝෝෂණ කර නැත.

විශ්‍රාම යාමෙන් පසුව රජයේ සේවකයෙකුට රාජකාරියේ යෙදී සිටියදී ලැබුණු වැටුප නොලැබෙන බව සියලූ රාජ්‍ය සේවකයින් ම දන්නා කරුණකි. හමුදා සෙබළුන් ද සේවයට බැඳෙන්නේ අනෙකුත් රාජ්‍ය සේවකයන් මෙන්ම තමන්ටද විශ්‍රාම යාමෙන් පසුව සේවයේ යෙදී සිටිය දී ලැබෙන මුළු වැටුපම ලැබෙන්නේ නැති බව දැනගෙනය.

ආබාධිත භාවයට පත්වීම යනු හමුදා සෙබළුන්ගේ වෘත්තියේ ස්වභාවයයි . යම් තැනැත්තෙකු හමුදා සේවයට එක් වන්නේ තමාට යුද්ධයට යාමට සිදුවන බව දැනගෙනය. යුද්ධයට යාමේදී හමුදා සෙබළෙකුට ආබාධිත වීම, මියයාම, අතුරුදහන්වීම, යුද සිරකරුවෙකු බවට පත්වීම වැනි දේවල් වලට මුහුණ දෙන්නට සිදුවේ. ඔවුන් හමුදා සේවයට එක්වන්නේ ඒ බව නොදැන නොවේ.

ආබාධිත බවට පත් වුවහොත් ඔවුනට ජීවිතාන්තය දක්වා සම්පූර්ණ වැටුප් ගෙවන බවට හෝ මිය ගිය හොත් ඔහුගේ යැපෙන්නන්ට මිය යනතුරුම වැටුප් ගෙවන බවට හෝ බැඳීමකට ආණ්ඩුව ඔවුන් හමුදා සේවයට බඳවා ගන්නට පෙර යටත් ව සිටියේ නම් ආබාධිත සෙබළුන් අද කරන ඉල්ලීම යම් ආකාරයකට සාධාරණ වන්නට පුළුවන. එහෙත් එවැන්නක් නැත.

හමුදා සේවයේදී ආබාධිත වීමට, මිය යාමට ඉඩ ඇති බව හමුදා සේවයේට එක්ව වන්නට පෙර ඔවුන් දැන් සිටි බැවින් ඔවුන්ට හමුදා සේවයට එක් නොවී ඉන්නට හොඳහැටි ඉඩතිබුණි. ලංකාවේ කිසිවෙකු මෙතෙක් බලහත්කාරීව හමුදා සේවයට බඳවාගෙන නැති බැවිනි.

අද රට බේරාගැනීමට යුද්ධයට ගිය කතාවක් ඉස්මතු කරගෙන බොරු පුරසාරම් දෙඩුව ද ඔවුන්ගේ හැසිරීම අනුව පෙනෙන්නේ සාමාන්‍ය සිවිල් රාජ්‍ය සේවකයෙකුට ඇති අභිමානය වත් රණවිරුවන් යැයි කියාගන්නා මේ තැනැත්තන්ට ඇත්තේ නැති බව පැහැදිලිය. වීරත්වයක් තබා අභිමානයක් වත් තිබුණේ නම් මේ පිරිස අතපය ගලවා තබා පාරේ වාඩි වන්නේ නැත.

යුද්ධය වෙනුවෙන් කැපකිරීම් කළ එකම පිරිස සොල්දාදුවන් පමණක් නොවේ. මායිම් ගම්මාන වශයෙන් එදා හැඳින්වුණු ගම්වල ජීවත් වු පිරිස ආබාධිත වීමෙන් පමණක් නොව සමූලඝාතන වලට ලක්වීමෙන් පවා ඉමහත් කැපකිරීමක් යුද්ධය වෙනුවෙන් කළහ.

එල්ටීටීඊ සමූහ ඝාතන වලට අමතර අනුරාධපුරය, කැබිතිගොල්ලෑව,කොළඹ, බදුල්ල ආදී ප්‍රදේශවල දී ලක් වූ තැනැත්තන්ට, බස් බෝම්බ, දුම්රිය බෝම්බ වලට ලක් වූ තැනැත්තන්ට වන්දි ලබාදෙන ලෙස උද්ඝෝෂණ කරන්නට පටන්ගතහොත් වන්දි ගෙවීම හැර අන් යමක් කරන්නට ආණ්ඩුවට නොහැකි වනු ඇත. විශේෂයෙන්ම එකල මායිම් ගම්මානවල ජනතාව එල්ටීටීඊ තර්ජන වලට බියෙන් ගම්බිම් අතහැර ආවේ නම් කොටි සංවිධානය බිහි කරන්නට උත්සාහ කළ ඊළාම් රාජ්‍යය ඉබේම බිහි වනු ඇත. එම ගම්මානවල ජනතාව ජීවත් නොවූයේ නම් හමුදාවටද එල්ටීටීඊයට විරුද්ධව යුද්ධය තවත් අසීරු වන්නට තිබුණි.

හමුදා සෙබළුන් යනු තම රාජකාරි ජීවිතයේ දී වෙනත් රාජ්‍ය සේවකයන් නොලැබූ විශේෂ වරප්‍රසාද රැසක් ලබා ගත් පිරිසක් බවද මෙහිදී අමතක කළයුතු නැත. ඔවුන්ගේ පවුල් වලට සමෘද්ධි සහනාධාරය ලබා දෙනු ලැබුණි. සමෘද්ධි සහනාධාරය යනු මෙරට දිළිඳුකම ජනකොටසට ලබාදෙන සුභසාධනයකී. විදේශ ගෘහ සේවයෙන් උපයා ගත් මුදලින් නිවෙසක් තනා ගත් අයටවත් එම සහනාධාරයට හිමිකම් කීමේ හැකියාවක් තිබුනේ නැත. ඇඟලුම් කම්හල් සේවිකාවන් ටත් නැත. නමුත් හමුදා සෙබළුන්ගේ පවුල් වලට සමෘද්ධිය ලැබුණි. ඒ ඔවුන් ඉහළ වැටුප් දීමනා ආදිය ද ලබමින් සිටියදීය.

ඊට අමතරව දරුවන් පාසල් වලට ඇතුලත් කරවා ගැනීම් ආදී දේ දී ද ඔවුනට විශේෂ වරප්‍රසාද ලබා දී තිබුණි. අනෙක වසර 25ක සේවා කාලයකින් පසුව විශ්‍රාම යාමට අවස්ථාව ලැබීමය. එය වෙනත් රජයේ සේවකයෙකුට නොලැබෙන අවස්ථාවකි. එපමණක් නොව ආබාධිත බවට ක්‍රියාන්විත රාජකාරියට වශයෙන් ඔවුන් විශේෂ වරප්‍රසාද රැසක් සිය සේවය වෙනුවෙන් භුක්තිවිදින පිරිසකි.

දෙවන ලෝක යුද්ධයේදී ආබාධිතවූ රුසියානු සෙබළුන් ආබාධිත බව නිසා යුද පිටියෙන් ඉවත් කළ විට ගොවිපල වලට ගොස් බර වැඩ කරමින් යුද්ධයට වක්‍රව උපකාර කළහ. රට ආර්ථික වශයෙන් නොවැටී පවත්වාගෙන යාමට උපකාර කළහ. ඔවුන්ද ශ්‍රී ලංකාවේ වත්මන් සෙබළුන් මෙන් ආබාධිත අපට වැටුප් ගෙවනු කියා අතපය ගලවා පාරේ ඉඳගත්තේ නම් සෝවියට් දේශය යුද්ධයෙන් පරාජය වී හිට්ලර් ලෝකයේ බලය අල්ලනු ඇත.

ආබාධිත සෙබළුන්ට ද රටේ සල්ලි වලින් යැපෙන්නට බලා හිඳිනු වෙනුවට කළ හැකි බොහෝ දේ තිබේ. ආබාධිත තත්ත්වයේ පසු වෙමින් රටට සේවය කරන පිරිස් රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් කොතෙකුත් සිටිති. ඔවුන් සහ සෙබළුන් අතර වෙනස සෙබළුන් පිං පඩි ඉල්ලන අය වීම පමණි. රැකියාව කරන අතර අනතුරට ලක්ව ආබාධිත වන බස් රියදුරා පවා රැකියාව හේතුවෙන් ආබාධිත වන්නෙකි. හමුදා සෙබළාත් ඔහුත් අතර වෙනස සෙබලා අනතුර ගැන අවදානමක් ඇති බව දැන රැකියාවට යාම ය. එහෙත් රියදුරාට වන්දිය හැර යමක් ලැබෙන්නෙ නැත.

ආබාධිත සෙබළුන් මෙසේ පාරේ වාඩිවී හිදින්නේ තමන්ට නීතියෙන් හෝ සදාචාරයෙන් හිමි නැති යමක් උදෙසා බව ඒ අනුව පැහැදිලිය. ඔවුන්ටද තිබුණේ අනෙකුත් රජයේ සේවකයන් මෙන් විශ්‍රාම ගිය පසු ලැබෙන වැටුප ගැන දැනුවත්ව ජීවිතය සැලසුම් කර ගැනීමය. ප්‍රධාන ගැටලූවද එය නොවේ. මේ උද්ඝෝෂණ කරන පිරිස පොහොට්ටුවෙ ඉත්තන් පිරිසක් බව මේ වන විටත් පැහැදිලි වෙමින් තිබීමය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *