එජාප ජනාධිපති අපේක්ෂක තේරීම; කෘත්‍යාධිකාරියෙන් පිට අයගේ ඡන්ද ගත්තොත් නීතිමය ගැටළුවක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්මුතියකින් තොරාගත නොහැකි වුවහොත් එය කළ හැක්කේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමසීමකින් පමණක් බවත් එයට පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හවුල් කර ගතහොත් අපේක්ෂකයාට නීතිමය අභියෝගයක් එල්ලවිය හැකි බවත් එජාප ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ ජනාධිපති අපේක්ෂකයා තේරීම ගැන නිශ්චිත විධිවිධාන පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන නිසාය. ඊට වෙනස් ක්‍රමයකට අපේක්ෂකයා තෝරාගත හොත් එය නීති විරෝධිබව පෙන්වා දෙමින් ඕනෑම පාක්ෂිකයකුට අධිකරණයට ගොස් අපේක්ෂකයාට එරෙහිව තහනම් නියෝගයක් ගැනීමේ අවස්ථාව උදාවෙයි. එහිදී නීතිමය තර්කය වන්නේ පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන ඇති වබයි. එය අවලංගු කොට ව්‍යවස්ථාව අනුව අපේක්ෂකයකු තෝරාගන්නා ලෙසත් එසේ කරන තෙක් තෝරාගත් අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය තහනම් කරන අතුරු තහනමක් නිකුත් කරන ලෙසත් එක්සත් ජාතික පාක්ෂිකයකුට අධිකරණයෙන් ඉල්ලීමක් කළ හැකිය.

මෙය බැලූ බැල්මට පෙනෙන නීතිමය ගැටළුවක් වන නිසා අධිකරණයෙන් එබඳු තහනම් නියෝගයක් නිකුත් කිරීමට හොඳටම ඉඩ ඇති බව තතුදත් නීතිඥයෝ කියති.

ජනාධිපති අපේක්ෂකයා තේරීම කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එජාප මන්ත්‍රී කණ්ඩායමේ ඡන්දයෙන් සිදුකළ යුතු බව සජිත් පිලේ ඉල්ලීමයි. ජාතික හෙළ උරුමය ඉල්ලා ඇත්තේ, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායමේ ඡන්දයකින් අපේක්ෂකයා තෝරන ලෙසයි. එසේ වුවද එම ඉල්ලීම් දෙකම එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිය. එජාප ව්‍යවස්ථාවේ සදහන් වන්නේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතු බවයි. එබැවින් ඉහත කී වෙනත් ක්‍රියාමාර්ගයක් ගතහොත් එය නීතිමය ගැටලුවක් බවට පත්වීමට ඉඩ ඇත.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මත ගැටුමක් පවතින නිසා මෙම ප්‍රශ්නය නීතිමය ක්‍රියාවලියකට යොමුවීමේ විශාල ඉඩකඩක් ඇති බව එජාපයට සම්බන්ධ නීතිඥයන් කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *