විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න සජිත් බෑ කියයි

බලයට පත් වී මාස හයක් ඇතුළත විධායක ජනාධිපතික්‍රමය අහොසි කරන බවට වන ප්‍රධාන කොන්දේසිය හා තවත් කොන්දේසි කිහිපයක් යටතේ එකසත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමති වී ඇතත් එම කොන්දේසිය පිළිගැනීමට සජිත් ප්‍රේමදාස මහතා කැමති වී නැත.  

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවයි. ඇතැම් පිරිස් විරුද්ධ වීම නිසා එය සම්පූර්ණයෙන් ඉටු කළ නොහැකි වූ නමුත් ඉදිරි ජනාධිපතිවරයා එතරම් බලයක් ඇති අයකු නොවන බව කියති. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ, සිවිල් සමාජ කණ්ඩායම්වල හා ජනතා විමුක්ති පෙරමුණේ සහය එජාප අපේක්ෂකයාට ලබාගැනීමට නම් විධායකය අහෝසි කිරීමේ ප්‍රධාන සටන්පාඨය පිළිගෙන ඒ අනුව මැතිවරණය මෙහෙය විය යුතුය.

ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානයේ අදහස වී ඇත්තේ විධායකය ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වුවද බලයට පත් වු පසුව කිසිවකු එය ඉටු නොකරන නිසා මැතිවරණයට පෙර ඒ සදහා පාර්ලිමේන්තු යෝජනා සම්මත කළ යුතු බවයි. පසුගිය දා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවන ලද්දේ ඒ සඳහාය. එයට දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රිවරයා මූලිකත්වය ගෙන ක්‍රියා කළ බවත්, ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් සහාය එයට ලැබුණු බවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා හෙළිදරව් කළේය. 

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම මේ අදහසට විරුද්ධ වී සිටිති. ඔහුන් හිතන්නේ එජාපයට සහය දීම මිස දෙමළ ජාතික සන්ධණායට හෝ සිවිල් සමාජ කණ්ඩායම්වලට වෙනත් මාවතක් නැති බවය. එම නිසා එජාප අපේක්ෂකයා තෝරාගෙන ඔහුට සහය දෙන ලෙස වෙනත් පක්ෂවලින් ඉල්ලීම ඔවුන්ගේ උපාය වී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇත්තේ බෙදී සිටින යහපාලන බලවේග එක්සත් කර මැතිවරණයට මුහුණදීම අවශ්‍ය බවයි. ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය අවශ්‍ය බව වික්‍රමසිංහ මහතා කියයි. ඒ සඳහා සජිත්ට අපේක්ෂකත්වය දීමට වුවද රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වුවද සජිත් එය භාරගෙන නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *