ගෝඨාභයට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නෑ! ව්‍යාජ ලේඛන හදා ඇති බවට තොරුතුරු

ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකොට ඇති ආගමන විගමන වැරදි අතර ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය ද පෙර දාතම දමා පසුව සකස් කර ඇති ලියැවිල්ලක් බව හෙළිදරව් වී ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි. මේ බව හෙළි වී ඇත්තේ එම ද්විත්ව පුරවැසිභාවය ලබාගත් බවට සදහන් දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එම සහතික ලබාදිය හැකි බලයලත් නිලධාරියකු නොසිටි බවට ලැබුණු පැමිණිල්ලක් අනුව කරන ලද පරීක්ෂණයේ දී ය.

ගාමිණී වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර මහත්වරුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයක දී මෙම තොරතුරු හෙළි වී තිබේ. ඒ අනුව හෙළිදරව් වී ඇත්තේ ලියාපදිංචිය සටහන් කරන ලෙජර් පොතට අලුතින් කොළයක් අලවා එම දියන යොදා ලිපි සකස්කොට ඇති බවයි. එම සියලු පොත් පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් භාරයට ගෙන ඇති බවද කියති.

මෙම කාර්යයට සම්බන්ධ නිලධාරින්ගෙන්ද මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුවන බව වාර්තාවෙයි. එම ප්‍රශ්න කිරීම් වලදී හෙළිවන තොරතුරු අනුව නිලධාරින් වැඩ තහනම් වීමටත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් සිදුවනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ප්‍රකාශ කොට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා කියන පරිදි ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත්නම් හා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පුරමැසියකු නොවන්නේ නම් ඔහු දැන් රටක් නැති අයකු (Stateless) බවට පත්ව ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිවිරෝධීව පෙර දාතම යොදා ලබාගෙන ඇති බව කියන “ද්විත්ව පුරවැසි” සහතිකයට අත්සන් තබා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

මේ කරුණු තහවුරු වුවහොත් ඇමෙරිකානු පුරවැසියකු වීම නිසා නොව මෙරට පුරවැසිභාවයක් නැති නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි වනු ඇත.    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *