|

මුහුණු දෙකක පරතරය – නිශාන්ත කමලදාස

එක වේදිකාවක ඉන්නේ වංචාව හා දූෂණය මැඩලන්නට අඩි හප්පා පොරොන්දු දෙන අපේක්ෂකයෙකි. බලය තිබුණු කාලයේ ඔහු අල්ලාගත් වංචාවක් දූෂණයක් නැත. අඩි හප්පා පොරොන්දු දෙන මුහුණත් වංචා දුෂණ සම්බන්ධයෙන් කිසිත් නොකර මග හැර ගිය මුහුණත් එකක් නොව දෙකකි. බලයේ සිටි කාලයේ ඒ වෙනුවෙන් කළ කිසිත් නැති නිසා මිනිසුන් ඒ ගැන විමසුවොත් දෙන්න උත්තර ද කප්පරක් තිබේ.

මහ බඹාට මුහුණු දෙකක් තිබේ. එසේ කීවාට මුහුණු දෙකක් ඇත්තේ මහ බඹාට පමණක් නොවේ. අපට ද මුහුණු දෙකක් තිබේ. එකක් පිටට පෙන්වන්නට ය. අනෙක අපේ සැබෑ මුහුණ ය. පිට පෙන්වන මුහුණ පවුඩර් උලා අප විසින් මහන්සියෙන් නඩත්තු කරන එකකි. ඒ බොහෝමයක විසූක දස්සන පිරිලා ය. සැබෑ මුහුණේ එවැනි ආලවට්ටම් නැත.

පිටට පෙන්වන මුහුණ සෙස්සන්ගේ අනුමැතිය සඳහා ය. සැබෑ මුහුණ අපට ය.

මේ මුහුණු දෙක අතර පරතරය වැඩි වන විට මනසට අප්සෙට් ය. ජීවිතයට ද අප්සෙට් ය. ඒ සැබෑ මුහුණ යම් දිනක අප නොසිතන මොහොතක පවුඩර් අස්සෙන් එලියට පැනිය හැකි නිසා ය. එවිට පිට කෙනකුට දරා ගන්නට බැරි පරතරයක් පෙනී යන නිසා ය. එය ඔවුන්ගේ මනස අවුල් කිරීමෙන් නොනැවතී අපේ ජීවිතය ද අවුලට පත් කරන නිසා ය. ඒ අපට ය. ඇතැමුන්ට ඒ ගැන ගාණක් නැත. එහෙම තැනක බොරුවක් කියා සමාවට කාරණාවක් කියා මාරු වෙන කලාව ඔවුන් විසින් ප්‍රගුණ කර ඇති නිසා ය.

සමහර අයට මුහුණු දෙකකට වැඩියෙන් තිබෙන්නේ ය. ඒ කතරගම දෙවියන්ට වගේ මුහුණු සයක් නොව දුසිම් දෙක තුනක් ය. ඒ එක් එක් තාලේ අයට, ඒ අය වඩාත් ආසා කරන මුහුණ පෙන්වන්නට ය. අම්මාට එකකුත් කෙල්ලට තව එකකුත් පෙන්වන්නට ය. අම්මාට පෙන්නීමට සකස් කර ගෙන තිබෙන්නේ සුපේක්ෂීලි විනීත මුහුණ කි. කෙල්ලට පෙන්වන්නට හදා වඩා ගෙන තිබෙන්නේ සෙල්ලක්කාර සරාගී මුහුණ කි. තාත්තාට විනය ගරුක වගකීම් දරණ මුහුණක් පෙන්වන විට යහළුවන්ට පෙන්වන්නේ දඩබ්බර විප්ලවකාරී මුහුණකි.

හාමුදුරුවන් ඉදිරියේ භය පක්ෂපාත උපාසක මුහුණකුත් හොර අඹුව ඉදිරියේ අතිශය කාමුක වැඩ කාරයකුගේ මුහුණකුත් පෙන්වීමට ඇතැම් අයට සිදුව තිබේ.

හාමුදුරුවන්ට පවා මෙයින් ගැලවී යා නොහැකි ය. ඒ සාමනේරයන්ට පෙන්වන මුහුණ දායක සභාවට පෙන්විය නොහැකි වීමේ පාපය නිසා ය. දානය දෙන වෙලාවට එතෙක් පැවති සිල් මුහුණ ඉවත් කර පොර කුකුළන් වීමට සිල් ගත් උපාසික උපාසිකාවන්ට ඇතැම් පන්සලක සිදු වෙන්නේ ය. ඒ හරි හැටි දන් බෙදන්නට සංවිධායකයන්ට බැරි වුණු වෙලාවට ය.

මුස්ලිම් හා දෙමළ අයට සහජීවනය ප්‍රකාශ වන මුහුණකුත් සිංහල බෞද්ධ අයට දේශප්‍රේමය සහිත මුහුණකුත් පෙන්වන්නට ඇතැම් අය කටයුතු කරන්නේ ද එක් එක් යක්ෂයාට එක් එක් මන්තරය යන පැරණි පිරුළ මතක් කර ගනිමිනි.

අමාරු සෙල්ලමක්

මෙය පහසු රාජකාරියක් නොවේ ය. හදිසියේ එක මුහුණක් පෙන්විය යුතු අයට තව මුහුණක් ද ඒ සමග දැක ගන්නට ලැබීමෙන් සියල්ල අංජ බජල් වන නිසා ය. ගෙදර ඇත්තන්ට එකකුත් පිට ඇත්තන්ට තව එකකුත් වශයෙන් මුහුණු දෙකක් හදා ගත්තහම ගෙදර අයට දෙවැනි මුහුණ අසුවුණුදාක අහගන්නට ලැබෙන්නේ ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ යන උපහැරණය ය.

එතකොට කියන්නට අපූරු සමාවට කාරණයක් ද තිබේ. ඒ තමන්ගේ ඇත්ත මුහුණ පෙන්වන්නේ අහවල් අයට බවත් ඉතිරි සියල්ල අවස්ථාවේ හැටියට කළ යුතු නිසා කරන බවත් ය. ඒ දේ ම සෙසු අයටත් කීමටත් ඒ නිසා සැවොම ඉදිරියේ සුදනා වීමටත් වග බලා ගැනෙන්නේ ය.

උදාහරණයක් ගත්තොත් ඒ මෙසේ ය. සිංහල අයට කියන්නේ මුස්ලිම් අයට සහජීවනය නොපෙන්වා ඒ ඡන්ද ගන්නට බැරි බව ය. ඒ නිසා පෙන්වනවා මිසක හිතේ තියෙන්නේ ලැබුණ මුල්ම අවස්ථාවේ උන් තොලොංචි කරලා දමන්නට බව ය. මොනවා කිව්වත් කරත් තමා තවමත් සැබෑ දේශප්‍රේමියෙක් බව ය. ඒ බව විශ්වාස කරන ලෙස ය. මුස්ලිම් අයට කියන්නේ දේශප්‍රේමී නොවී සිංහල ඡන්ද ගන්නට බැරි නිසා කියනවා මිසක හදවතින් තමා සහජීවනය වෙනුවෙන් පෙනී සිටින බව ය. ඒ නිසා තමා ව විශ්වාස කරන ලෙස ය. බලය ලැබුණු පසු කරන කියන දෙයින් තමා ගැන තීන්දුවක් ගන්නා ලෙස ය. එතෙක් ඉවසන ලෙස ය.

අපට පෙන්නන මුහුණ කියන්නේ බලයට පත් වූ පසු බලය අත් හරින බව ය. ඒ වුනාට බලයට ආවට පසු බැරි වන්නේත් එය අත් හැරීම ය. සොයන්නේ තවත් වාරයක් නොව හැකි නම් සදාකාලයට ඉන්නට ය. ඒ සැබෑ මුහුණ ය. කොකාගේ සුද පේන්නේ ඉගිලෙන විට ය. සැබෑ මුහුණ පේන්නේ බලය ලැබුණු පසු ය.

සිහි බුද්ධිය පාවිච්චි කිරීම

එක වේදිකාවක ඉන්නේ වංචාව හා දූෂණය මැඩලන්නට අඩි හප්පා පොරොන්දු දෙන අපේක්ෂකයෙකි. බලය තිබුණු කාලයේ ඔහු අල්ලාගත් වංචාවක් දූෂණයක් නැත. අඩි හප්පා පොරොන්දු දෙන මුහුණත් වංචා දුෂණ සම්බන්ධයෙන් කිසිත් නොකර මග හැර ගිය මුහුණත් එකක් නොව දෙකකි. බලයේ සිටි කාලයේ ඒ වෙනුවෙන් කළ කිසිත් නැති නිසා මිනිසුන් ඒ ගැන විමසුවොත් දෙන්න උත්තර ද කප්පරක් තිබේ. ඒ තමන් උත්සහ කළ නමුත් සෙසු මිනිසුන් කකුලින් ඇද්ද නිසා එය කරගන්නට බැරි වූ බව ය. මේ ගමන ඒවාට සූදානම් වී තමන් පැමිණෙන බව ය. අලුත් බෝතලයක දැමූ පරණ වයින් අපට හමුවන්නේත් අප ඒවා මිලදී ගන්නේත් ඒ අනුව ය.

බැරිවෙලාවත් ඔබතුමා තවම ඉන්නේ හැසිරෙන්නේ හොරුන් සමග නොවේදැයි ඇසුවොත් ඒත් උත්තර තිබේ. ඒ මේ සියල්ල කරන්නේ ඡන්දය ඉවර වෙනකම් බව ය. ඊට පසු හොරුන්ට දෙන්නේ හොම්බෙන් යන්නට ය. එහෙම කීවාට ඇතැම් විට හොම්බෙන් යන්නට දෙනු ඇත්තේ හොරකම් ගැන කතා කරන මිනිසුන්ට ය. බලයට එන්න දඟලන මුහුණු බලයට පත් වූ පසු ඉවත් කර වෙනත් මුහුණු පළඳින බව අපේ අත්දැකීම ය.

ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය හා විනය සම්බන්ධයෙන් නම් ඒත් එහෙම ය. එක මුහුණක විනය පිහිටුවීමට ගොරවන සිංහයෙකුගේ ය. තව මුහුණක තපස් රකින සියල්ලට සවන් දෙන්නට සූදානම් හැම දෙනකුගේ ම අදහස් එකතු කරගෙන ගමනක් යන්නට සූදානම් විද්වත් බස්සකුගේ ය.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු යැයි කියන්නේ මේ නිසා ය. ඉදිරියට එන මැතිවරණ සමයේ විවිධ මුහුණු සබයට පැමිණෙන්නට නියමිත ය. එක ම අය ද විවිධ වෙසින් පැමිණීමට නියමිත ය. අපට මතක තිබෙන්නේ සති දෙකක් නිසා මේ සියලු පට්ට ගැසූ නළුවන් සහිත පරණ නාඩගම පෙනෙනු ඇත්තේ අලුත් නාටකයක් ලෙස ය.

මේ මුහුණු විශ්වාස කරන්නට බැරි තරම් සුන්දර නිසාත් ඒවායින් අසන්නට ලැබෙන සුරංගනා කතා කුඩා කල අසා ඇති සුරංගනා කතාවල තිබෙන අරුමය පුදුමය ඉක්මවන නිසාත් මේ මුහුණු ද ඒවායින් කියන කතා ද පිළිගන්නට මිනිසුන් මැළිය. ඒ නිසා මේ මුහුණුවලට සහතික දෙන්නට තව මුහුණු ඉදිරිපත් වෙනු ඇත්තේ ය. ඒවා ද මේ මුහුණු තරමටම මුහුණු ය.

විවිධ ආහාර වර්ගවලට සහතික දෙන ක්‍රිකට් ක්‍රීඩකයන් තරමට ම දේශපාලන මුහුණුවලට සහතික දෙන හත්දින්නත් තරු ද ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්නා ඒවා ය. ඔවුන් කරනුයේ විශ්වාස කරන්නට මැළි වන අපට තල්ලුවක් දී විශ්වාස කරන්නන්ගේ ගොඩට අපව තල්ලු කිරීම ය. තරු පිළිබඳ අප තබා ඇති විශ්වාසය මෙසේ ඔවුන් විසින් අලෙවි කරනුයේ මුදලට හෝ බලයට ය.

තව නොබෝ දිනකින් තාප්ප පුරා මුහුණු ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඒ ඇතැම් විටක එක මුහුණක් පෙන්නා තව මුහුණකට ලකුණු දා ගැනීමට ය. නංගි පෙන්නා ඒ මාර්ගයෙන් අක්කා දීමට ය. අපේ මිනිසුන් එවැනි දෑ කරන්නට ද දක්ෂ ය. රාත්‍රියේ ඒවා ට හසු වී, පසු දින දවල් කාලයේත් ඒ විදිහට ම අසුවෙන තරමට මෝඩ ය.

ඇස්බැන්දුම් දේව ප්‍රතිහාර්යයන් සේ සලකන්නට හුරු පුරුදු වූ මනසකට ඕනෑම දෙයක් විශ්වාස කළ හැකි ය. අවශ්‍යවන්නේ තමන්ගේ උපාධි පට්ටම් ටික ඉහළ මිලකට අලෙවි කිරීමට පසු බට නොවන ඊනියා විද්වතකුගේ සහතිකයක් පමණ ය. ගුප්ත විද්‍යාවක් නැතහොත් ගැලවිජ්ජාවක් වහෙන් ඔරෝ නැතිව “සැබෑ“ විද්‍යාවක් බවට පත් කර ගැනීමේ රහස ඇත්තේ ඒ සහතික තුළ ය. මේ මෑතකදී එම්බීබීඑස් උපාධිය ලබාගෙන පසුව විශේෂඥයෙකු ද වී සිටින වෛද්‍යවරයකු එවන් සහතිකයක් කොහේදෝ ඉන්නා ගොඩ වෙදෙකුට ප්‍රදානය කරනු අප බලාගෙන ය. එසේ තිබිය දි බලයට පත්වීමට නියමිත හෝ බලයේ සිටින දේශපාලනඥයන් වෙනුවෙන් එසේ නොකරතැයි අපට විශ්වාස කළ හැකි ද? විද්වත් සංගම් දුසිම් ගණනින් බිහිවෙමින් තිබෙන්නේ මේ කියන මුහුණු පූජාවට අත ගසන්නට ය. මෙතෙක් කල් ඔබලා නිදි වැද සිටියේ ඇයි දැයි අසන්නට අපේ දිවවල් නොනැමෙන නිසා ඔවුන් හිරිකිතයකින් තොරව ඊට අත ගසනු ඇත්තේ ය.

මේ ඉදිරිපත් වන අපේක්ෂකයන් බහුතරය ඇඳගෙන ඉන්නේ සුදු ය. සුදෝ සුදට දිලිහෙන ඇඟම වැසෙන සේ සකස් කර ගත් ඇඳුම් ය. ඒ කළු වැහෙන්න ය. ඇඟ පුරා දිවෙන කළුව වැහෙන්නට ය. අපේ ඇස් නිලංකාර වෙන්නේ ඒ මතුපිටින් පෙනෙන සුදට ය. තියෙන එක වෙනුවට නැති එක පෙන්නන මේ සෙප්පඩ විජ්ජාවට කියන නම මැතිවරණ දේශපාලනය ය.

ජනමාධ්‍යයේ වගකීම

මිනිසුන් වෙනුවෙන් මේ මුහුණුවලින් ප්‍රශ්න අසා මුහුණු නිරාවරණය කර ගැනීමේ වගකීම තියෙන්නේ ජනමාධ්‍යවලට ය. මාධ්‍යවේදීන්ට ය. එහෙත් ඔවුන් එවැනි ප්‍රශ්න අසන්නේ නැත. අසන්නේ සරල ප්‍රශ්න විතර ය. ඒ ද බොහෝ විට ගැලවී යා හැකි මාර්ගයක් තමන් ම විවෘත කර දෙමින් ය. අඩු වශයෙන් ඒ සූදානම ඇතුව ය.

එසේ නොකරන අය එලවා දමා තම මුහුණු ගලවා ගැනීමට දැන් ඇතැම් මුහුණු සූදානම් වන බවක් පෙනෙන්නට තිබෙන්නේ ය. ඒ අනවශ්‍ය ප්‍රශ්න නොඅසන ලෙස කල් ඇතුව දැනුම් දීම හරහා ය. උන් අහන්නේත් නැතිනම් උන්ට අහන්නට දෙන්නේත් නැතිනම් ප්‍රශ්න මිනිසුන් විසින් වත් ඇසිය යුතුව තිබෙන්නේ ය.

මිනිසුන් විසින් මුහුණට මුහුණ තබා ප්‍රශ්න නොකරනතාක් මේ සෙල්ලම ඉදිරියට යනු ඇත්තේ ය. පන්සලේ ද පල්ලියේ ද කෝවිලේ ද ආශිර්වාදය මැද මේ බොරුව ඉදිරියට යනු ඇත්තේ ය. බොරුවට පිරුවට අන්දන මාධ්‍ය ජාලයන්ගේ ද මාධ්‍යවේදීන්ගේ ද සරණ ඇතිව, ඔවුන් නගන මොන්ටිසෝරි ප්‍රශ්නවලට පමණක් පිළිතුරු දෙමින්, එය ඉදිරියට යනු ඇත්තේ ය. අරක්කු බෝතලයට බත් පැකැට්ටුවට හා රුපියල් දහසකට විකිණෙන දුප්පත් ආත්මයන්ගේ කර පිටින් ම ඉදිරියට යනු ඇත්තේ ය. මුහුණු දෙක තුන තිබෙන්නේ දේශපාලනඥයන්ට පමණක් නොවන හෙයින් එසේ මුහුණු දෙක තුන ඇති තමන්ගේ ස්වාර්ථ සාධනය පමණක් සලසා ගන්නට සැදී පැහැදී ඉන්නා මිනිසුන්ගේ ම අනුමැතිය අනුදැනුම ද ඇතිව මෙය ඉදිරියට යනු ඇත්තේ ය. තමන්ට කෙළවන්නට බලා ගෙන ඉන්නා යැයි හිතන බාහිර බලවේගයන්ගෙන් ආරක්ෂාව පතන අසරණ මිනිසුන්ගේ බියගුළු භාවයට පින් සිදු වන්නට මේ “කරත්තය“ ඉදිරියට ඇදෙනු ඇත්තේ ය.

පාට වර්ග ආගම් භේදයක් නොමැතිවම හැම කඳවුරක් ම භාවිතා කිරීමට කැමති පොදු මුහුණු ද තිබේ. එකක් මෛත්‍රියේ කරුණාවේ දයාවේ ප්‍රේමයේ මුහුණ ය. කාට කාටත් එය ආඩම්බරයෙන් පැළඳිය හැකි එකකි. ඊට ප්‍රතිපක්ෂ පොදුවේ භාවිතා වන තව ජනප්‍රිය මුහුණක් ද තිබේ. ඒ වෛරයේ හිංසනයේ හා නෙරපා හැරීමේ මුහුණ ය. පළිගැනීමේ මුහුණ ය. ආඩම්බරයෙන් පැළඳිය නොහැකි මුත් ආගමේ ජාතියේ රටේ නාමයෙන් ඔතා ගත් විට එය ද වීරත්වයෙන් දැරිය හැකි මුහුණකි.

මුහුණට ම ගැළපෙන හැසිරීම

පළමු මුහුණ පැළඳගත් විට වාචික හා කායික සංවරය ඉහළින් ම ප්‍රදර්ශනය වන්නේ ය. ශාන්ත සුවය විඳින සෞම්‍ය මුහුණක් අපට එවිට දැක ගත හැකි ය.

දෙවැනි මුහුණ පැළඳගත් විට පරල වුණු යකෙක් වැනි ය. අහල පහළ ඉන්නා අය ද භය බිරාන්ත කරන අමනුස්සයකු වැනි ය. කියන්නේ කුමක් ද කරන්නේ කුමක් දැයි පිළිබඳ සිහියක් ඇතැයි පෙනෙන්නේ නැත.

කරුණා සිතින් සත වෙත මෛත්‍රිය කරන පුද්ගලයා ම වෛරී භාෂාවෙන් සිංහලයන්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන සිංහලයන්ගේ ම අත් කපා දමන බවට වීරාභිවාදනයන් කරන්නේ ය. මිනිසුන් වෙත දයාව කරුණාව දක්වන පුද්ගලයාම මුස්ලිම් ආගමට ද්‍රෝහී වන මුස්ලිම් මිනිසුන්ගේ බෙල්ල කපා දමන බවට තර්ජනය කරන්නේ ය. විවිධ ආගම් වලට අයත් වුව ද මේ ප්‍රතිපක්ෂය එක ම ය. “එක වල්ලේ පොල්“ ය. මේ ප්‍රතිවිරුද්ධ මුහුණු දෙක දෙවියන්ගේ නාමයෙන් ආගමේ නාමයෙන් ජාතියේ නාමයෙන් ඒවායේ භක්තිකයින් විසින් ඉවසනු ලබන්නේ ය. දරා ගනු ලබන්නේ ය. පුදුම ය. ඒත් ඇත්ත ය.

එක මුහුණක් අනිත් මුහුණට මුලිච්චි වන්නේ නැත. මුණ ගැහෙන්නේ නැත. ඒ දෙක වෙන වෙනම තිබේ. එකක් බණ කියන වෙලාවට ය. දෙවියන් නමදින වෙලාවට ය. අනෙක ඉන් බැහැර වූ විට ය. ඒ නිසා ඒ දෙකේ හමුවීමක් නැත.

එකක් කාපු බීපු වෙලාවට ය. අනික හොඳ සිහියෙන් ඉන්නා වෙලාවට ය. ප්‍රශ්නය කාපු බීපු වෙලාව කුමක් ද හොඳ සිහියෙන් ඉන්නා වෙලාව කුමක් දැයි දන්නේ උඩ ඉන්නා තමන්ගේ ම දෙවියන් පමණක් වීම ය. ඒ නිසා ම බලා සිටින සෙසු අය අතරමං වීම ය.

ලෝකයට සාමය පොරොන්දු වූ ආගම ම ඊට ප්‍රතිපක්ෂව යුද්ධය ගෙනෙන්නේ ඇයි දැයි සොයන කෙනකුට මේ මුහුණු දෙකේ පරස්පරය තුළ උත්තර ඇත්තේ ය. ප්‍රශ්නය දේශපාලනඥයන් ප්‍රශ්න නොකරන ජනතාව ආගම ද එහි පූජකයන් ද ප්‍රශ්න නොකිරීම ය. මේ මුහුණු සෙල්ලම දිගටම කර ගෙන යෑමට දේශපාලනඥයන්ට පමණක් නොව ආගමට ද එහි පූජකයන්ට ද හැකි ව තිබෙන්නේ ඒ නිසා ය.

අප ප්‍රශ්න නොකරන තාක් විවිධ මුහුණු මෙසේ අප සමග හැංගිමුත්තන් කරමින් පසු වෙනු ඇත. අප වෙස් මුහුණුවලින් ආතල් ලබන පුංචි ළමුන් ලෙස ඒ මුහුණු දරන්නන් විසින් සලකනවා ඇත. මේ අවදිවන්නට කාලය යි. ප්‍රශ්න ඇසීමට කාලය යි. එසේ නොකළොත් සිදු වන්නේ දිගටම කට පියා ගෙන සිටීමට ය. මුහුණු නෙයියාඩමෙන් ආතල් ගෙන, දෙන දෙයක් කාලා, කියන දෙයක් අහගෙන, ඉන්නට ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *