හකීම් රනිල්ගෙන් ප්‍රසිද්ධියේම සමාව ගනී. සජිත් පිල එතැනත් ඇනගනී !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව විවේචනය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීම තමන් අතින් සිදුවූ වරදක් බවත් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් සමාව ගැනීමට තමන් සූදානම් බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පෙරේදා (20) දිනයේදීම දැනුම් දී තිබුණු බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු. 

ඒ අනුව ඊයේ (21) දිනයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර ඇති හකීම් අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ මහනුවර පැවති උත්සව කිහිපයකට ද සහභාගී වී තිබේ. 

රනිල් කියන්නේ ඉතාම කෘතහස්ත දේශපාලනඥයෙක් – හකීම්

ඊයේ මහනුවර පාතදුම්බර, දොරගමුව මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවේදී රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ තමන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුමක් ඇතැයි ඇතැමුන් ප්‍රචාරය කිරීමට උත්සාහ දැරුවත් එය අසත්‍යයක් බවයි. 

කැබිනට් මණ්ඩල රැස්වීම්වලදී ඇතැම් අවස්ථාවල වාදවිවාද ඇති වුණත් ඒවා ගැටුම් නොවන බවත් ඉතාම කෘතහස්ත දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ මහතා ඒ තත්වයන් මනාව අවබෝධ කරගන්නා බවත් හකීම් මහතා එහිදී ප්‍රකාශ කර තිබේ. 

එසේම තමන් ආවේගශීලී ලෙස හැසිරෙන අවස්ථාවලදී තමන්ව සන්සුන් කිරීමට පවා අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් වන බවත් අග්‍රාමාත්‍යවරයාව මහත් සේ ඇගයීමට ලක් කරමින් හකීම් මහතා සඳහන් කර ඇත. 

එක්සත් ජාතික පෙරමුණ තුළ ඇතිව ඇති අර්බුදය ලබන සතිය වනවිට විසඳාගෙන ජයග්‍රාහී ලෙස ඉදිරියට ගමන් කරන බවයි හකීම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. 

සජිත් පිල බලෙන් දෙන්න ගිහින් ඇනගනී 

කෙසේවෙතත් කැබිනට් රැස්වීමෙන් අනතුරුව හකීම් අමාත්‍යවරයා කර තිබුණු ප්‍රකාශ කැබිනට් සාමූහිකත්වය බිඳ දැමීමක් හෙයින් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ආශු මාරසිංහ මහතා පෙරේදා දිනයේදී ප්‍රකාශ කර තිබිණි. ඊට ප්‍රතිචාර ලෙස සජිත් පිල මංගල සමරවීර මහතාගේ නිවසේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී තලතා අතුකෝරාළ අමාත්‍යවරිය තරයේ අවධාරණය කළේ හකීම්ට අත තැබීමට තමන් ඉඩ නොදෙන බවත් හකීම් කළ ප්‍රකාශය සාධාරණ බවත්ය. 

එහෙත් හකීම් මහතා පසුදිනම තමන් කළ ප්‍රකාශය වැරදි බව පිළිගනිමින් ඊට සමාවගෙන තිබුණු හෙයින් සජිත් පිලේ මහන්සිය නිරපරාදේ අපතේ ගොස් ඇති අතර හකීමුත් වැරදි බව පිළිගන්නා ප්‍රකාශයකට සුදු හුණු ගෑමට ගොස් සජිත් පිල කොළේ ඉරාගෙන ඇඟේ හළාගෙන සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *