ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන පක්ෂ ස්ථාවරය ජනතාව ඉල්ලනවා – අගමැති රනිල්

සෑම දේශපාලන පක්ෂයකටම ඉදිරියේදී විධායක ජනාධිපතිධූරය තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? පිළිබඳවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදෙනවාද? නැද්ද? යන්න පිළිබඳවත් ජනතාව ඉදිරියට ගොස් සෘජුවම අදහස් ප්‍රකාශ කිරීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරගනිමින් ජාතික සමඟිය සංවර්ධනය තිරසාරව ගොඩනඟා ගැනීමට කළයුතු මේ ප්‍රතිසංස්කරණ දෙක පිළිබඳව දේශපාලන පක්ෂ පැහැදිලි ස්ථාවරය එළැඹෙන මැතිවරණ සමයේදී රටේ ජනතාව බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කෙළේය.

රටේ ජනතාවගේ ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමට කිසිඳු දේශපාලන පක්ෂයකට ඉඩක් ලැබේයැයි තමා නොසිතන බවද අගමැතිවරයා කීය.

අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නංවන ළඟම පාසැල – හොඳම පාසැල ලෙස නවීකරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම මැතිවරණ කොට්ඨාසයේ පස්යාල, කල්එළිය බෝලාන දන්සල්වත්ත ඉදිකිරීමට යෝජිත දොන් ස්ටීවන් ත්‍රෛයිභාෂා මිශ්‍ර පාසැලට මුල්ගල තැබීමේ උත්සවයට ඊයේ (20) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මීරිගම පස්යාලේ රුපියල් මිලියන 1142ක වියදමින් ඉදිකරන ශ්‍රී ලංකාවේ ත්‍රෛයි භාෂා අධ්‍යාපනය සහිත දොන් ස්ටීවන් විද්‍යාලය සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඊයේ(20) පෙරවරුවේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කළ අයුරු මෙහි දැක්වේ. මෙම අවස්ථාවට කතා නායක කරූ ජයසූරිය සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුද සහභාගී වුහ.

රුපියල් මිලියන 142ක් තරම් වූ අතිවිශාල මුදලක් ආයෝජනය කර ඉදිකිරීමට මේ යෝජිත පාසැල මීරිගම මැතිවරණ කොට්ඨාසයේ පිහිටි දෙවැනි ජාතික පාසැල බවට පත්වන බවද මෙහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරයා කීය.

ජාතියේ පියා යන විරුදාවලිය ලැබූ ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් එදා මීරිගමට ජාතික පාසැල් 02ක් ලබාදුන් බව සිහිපත් කළ අගමැතිවරයා , ඉන් එකක් මීරිගම ඩී. එස්. සේනානායක මධ්‍ය විද්‍යාලය ලෙස තවමත් මීරිගම තිබෙන බවත්, දෙවැන්න වූ වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය මේ වන විට අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයට ලැබී ඇති බවත් කීය. ඒ අනුව මීරිගමට ජාතික පාසල් දෙකක් ලැබීමේ අවස්ථාව අද මුල්ගල තැබූ පාසැලත් සමඟ නැවැත හිමිවන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ උත්සවයට සහභාගි වී සිටි පිරිසගේ අත්පොලසන් හඬ මධ්‍යයේය.

රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි දියුණුවට විශාලතම මුදලක් ආයෝජනය කළ නිදහසින් පසු එකම ආණ්ඩුව මේ ආණ්ඩුව බවද අගමැතිවරයා අවධාරණය කළේය. වසර 2015 – 2019 කාලය තුළ අතිවිශාල මුදලක් ආයෝජනය කළේ රටේ දරු සම්ප‍ෙත් අගය හා රටේ අනාගතය ඔවුන් බව මනාව ආණ්ඩුව හඳුනාගෙන තිබෙන නිසා බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

එදා මහාමාත්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් නව පාසැල් ආරම්භ කළ බවත්, ඒවා බොහෝමයක් එතුමාගේ ඉඩම්වල ඇරඹූ බවත්, ඒ නිසා ඒවායේ නමත්, ඉඩම්වල නමත් සියල්ලම එතුමාගේ ම වන බවත් අගමැතිවරයා කීය.

කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම් මත මේ විශාල ව්‍යාපෘතිය මීරිගම ජනතාවට හිමි වී තිබේ. මෙම ව්‍යාපෘති ඉක්මනින් ජනතා අයිතියට පත් කිරීමට ක්‍රියාකරන බවද අගමැතිවරයා කීය.

එළැඹෙන මැතිවරණ සමයේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍ය බලගැන්වෙන දේශපාලන බලවේග සමඟ එක්වනු ඇතැයි ජනතාවට ඒවා පිළිබඳව සිතා තීරණයක් ගැනීමට විවෘත ඉඩ විවර වී ඇතැයිද අගමැතිවරයා සඳහන් කළේය.

අධ්‍යාපන ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම්, මීරිගම සංවර්ධන කමිටු සභාපති උදේනි විජේරත්න , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ , ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ පාලක ලේකම් චමින්ද ගමගේ යන මහත්වරුද මෙහි දී කතා කළහ.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා, දේශපාලන නායකයින්, රජයේ නිලධාරිහු, අධ්‍යාපනඥයින්, ගුරුභවතුන්, දූදරුවන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ජයසිරි මුණසිංහ, කොටදෙණියාව සමූහ 
පල්ලේවෙල සමූහ සහ එම්. පී. සරත්

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *