සාමනේර ප්‍රශ්නය – අනුර සූරියබණ්ඩාර

හොරොව්පතාන ස්වර්ණතිලකාරාමයේ සාමනේර දෙනමකට එක්තරා පුද්ගලයකු විසින් සාහසික ලෙස පහරදෙනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග සමාජයේ මහත් කලබලයක් ඇතිවිය. බොහෝ අය ඒ සම්බන්ධයෙන් පිළිකුලෙන් යුතුවද කම්පනයෙන් යුතුවද කතා කරනු පෙනුණි. පහරදුන් තැනැත්තා ඒ අනුව අත්අඩංගුවට ගැනුණු අතර එම අත්අඩංගුවට ගැනීම නිසා සියල්ලන්ම මේ වනවිට තෘප්තියට පත් වී සිටිති. මේ වන විට එම ප්‍රහාරකයා පසුවෙන්නේ රක්ෂිත බණ්ධනාගාර ගතවය. පහරකෑමට ලක් වූ සාමනේර දෙනම අවුරුදු 11ත් 14ත් යන වයස්වල පසුවන බවද සදහන් විය.

පාස්කු ප්‍රහාරයත් සමග මෙරට මුස්ලිම් ළමා විවාහ පිළිබඳ මහත් ආන්දෝළනයක් ඇති විය. මුස්ලිම් ළමා විවාහ විරෝධයේ මුල්තැන ගෙන කටයුතු කළෝ මෙරට සිංහල බෞද්ධ මතවාද දරන්නන් සහ භික්ෂූන් බවද පෙනෙන්නට තිබුණි. ඊට අමතරව ළමා ශ්‍රමිකයන් ගැනත් ළමා සොල්දාදුවන් ගැනත් මහත්සේ කම්පනයෙන් යුතුව මෙරට ජනතාවත් ජනමාධ්‍යයත් කතාබස් සංවාද කරති. නමුත් කිසිවකු ළමා පැවිද්ද පිළිබඳ කතා නොකරන්නට පරිස්සම් වන බව පෙනේ.

ළමයින් විවාහ කරදීම වරදක් වශයෙන් ලොවපුරා පිළිගනු ලබන්නේ විවාහය යනු ජීවිතය සම්බන්ධ වැදගත් තීරණයක් වන බැවින් සහ එම තීරණය ළමයින් වෙනුවෙන් ගැනීමට මවුපියන්ට පවා සදාචාරාත්මක අයිතියක් නොපවතින නිසාය.  ළමා ශ්‍රමිකයන් ළමා සෙබළුන් ලෙස දරුවන් යෙදවීම සලකනු ලබන්නේ ළමා අයිතීන් උල්ලංඝණය කිරීමක් වශයෙනි. ළමා විවාහ සම්බන්ධ තත්ත්වයද එයමය. එවැනි වටපිටාවක ළමයින් මහණ කිරීම සම්බන්ධයෙන් මෙරට සමාජයේ පවතින නිහැඬියාව තේරුම්ගත නොහැකිය.

ළමයින් විවාහකරදීමෙන් ළමා අයිතිවාසිකම් කඩවේ. ළමයින් රැකියාවල යෙදවීමෙන් ද ළමයින්ගේ අයිතිවාසිකම් කඩවේ. එහෙත් ළමයින් මහණ කිරීමෙන් එසේ වන්නේ නැත. ළමයින් මහන කිරීමට වරදක් වෙනුවට පින්කමක් බවට පත් වී තිබේ. එමගින් ළමයාට පමණක් නොව මවුපියන් ඇතුළු හතරවරිගයට නිවන් යාමට හැකි බව ද කියනු ලැබේ. ඉන්පෙනෙන්නේ ළමයින් ශාසනයට පුදා මව්පියන් නිවන් යන බවද?

මෙරට දරුවන් මහණ කිරීම පිටුපස පවතින ඇත්ත කතාව වන්නේ, බුදු සසුන බැබළවීම හෝ දරුවන් සසුනට පූජාකර පින්පෙත් අනුමෝදන් කර ගැනීමද නොවේ. බොහෝවිට දරුවන් පන්සල්වලට බාරකරනු ලබන්නේ මවුපියන්ගේ දරිද්‍රතාව හේතුවෙනි. දරුවන්ට ආහාරපාන ඇඳුම් පැළඳුම් අධ්‍යාපනය ලබාදීමට මවුපියන්ට නොහැකි වු විට ඔවුන් පන්සලට බාර දෙනු ලබන්නේ කාබී ඇඳ පැලඳ අධ්‍යාපනය ලබා හොඳින් ජීවත් වනු ඇතිය යන විශ්වාසයෙන් යුතුවය.

ඇතැම් විටෙක පන්සල්වල අයිතිය පිට නොයා පවත්වා ගැනීමේ අරමුණ ඇතිවද දරුවන් පැවිදි බිමට ඇතුළත් කර ගනු ලැබේ. එසේ පැවිදි කරනු ලබන්නේ විහාරාධිපති භික්ෂුවගේ නෑදෑ පරපුරේ දරුවන්ය. පිරිවෙන්හි අධ්‍යාපනය ලබන දරුවන් සඳහා රජයෙන් දීමනාවක් ගෙවනු ලබන බැවින් පිරිවෙනෙහි ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම සඳහාද දරුවන් මහණ කරන බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ පිරිවෙන්හි සිවුරු හැර ගිය හිමිවරුන්ගේ නම් පවා නාම ලේඛනවලින් ඉවත්කර නොගෙන පවත්වාගෙන යනු ලබන බව කියැවේ.

සසුන්ගතව සිටින භික්ෂූන් සංධ්‍යාව ඉහළ දැමීම මගින් ම බුද්ධ ශාසනය රැකගත හැකි යැයි කවරකු හෝ සිතන්නේ නම් හෝ කියන්නේ නම් හෝ එය පැහැදිලි මුළාවකි. අද ඇතැම් භික්ෂුන් බුද්ධ ශාසනය රැක ගැනීමට යැයි කියමින් කරනු ලබන කටයුතු බලපානු ලබන්නේ සසුනේ චිරස්ථිතියට වඩා සසුනේ විනාශයටය. ප්‍රමාණාත්මක බවට වඩා ගුණාත්මක බවේ වර්ධනයක් සසුනට ලබා නොදෙන්නේ නම් භික්ෂුන්ගේ බහුලත්වයට ශානසයේ විනාශයට බලපානු ලැබීම වැළැක්විය නොහැකි වනු ඇත.

සිදුහත් තවුසාණන් ගිහි ගෙය හැරපියා මහණදම් පිරීමට අභිනික්මන් කළේ සසර දුක, ගිහි දිවියේ නිසරු බව වටහා ගැනීම හේතුවෙනි. නමුත් වර්තමානයේ මහණ කරනු ලබන කිරි දරුවන්ට වැටහෙන සසර දුකක් හෝ ඔවුනට ඇති ගිහි ජීවිතය ගැන කලකිරීමක් හෝ නැත. ඇතැම් දරුවකු සිපුරට, භික්ෂූත්වයට ළමා හැගීම් පෙරදැරිව කැමැත්තක් දක්වනවා වන්නට හැකි වුවත් එය සසුසුනට ඇති ඇල්මක් වශයෙන් සැලකිය හැකි වන්නේ නැත. ඇතැම් කුඩා දරුවෙක් බාල වයසේ දී වඩාත්ම කැමති වන්නේ ඩ්‍රයිවර් කෙනෙක් වීමට හෙවත් රියැදුරකු වන්නටය. එහෙත් කරුණු අවබෝධ වන විට
ඔවුන් එම අදහස් වෙනස් කර ගනිති. වැඩිහිටියන් අනුකරණය මිනිස් වර්ගයාගේ ආවේණික ලක්ෂණයක් බැවිනි. ගැහැනු ළමයින් අම්මලාගේ චරිතයත්, පිරිමි ළමයින් පියාත් අනුකරණය කරන්නේ එහෙයිනි. මහණකම සම්බන්ධයෙන් ද තත්ත්වය එයමය. බාලකාලයේ මහණ කරන වැඩි පිරිසක් තරුණ වයසේ දී සිවුරට සමුදෙන්නේ ඒකී හේතුව නිසාය.

පන්සලට කැදවා ගත් සැණින් සිවුරු පෙරවීම වෙනුවට මහණකමට පැවිදි දිවියට හුරු කර, දරුවන්ගේ කැමැත්ත අනුව මහණ කරන වැඩ පිළිවෙළක් ගැන භික්ෂු ප්‍රධානින්ගේ අවධානය යොමු විය යුතුය. කවර තත්ත්වයක් යටතේ වුවත් අවුරුදු 18ට අඩු ළමයින් මහණ කරවීම නොකිරීමට භික්ෂු කතිකාවතක් වහාම ඇතිකර ගත යුතුය. මහණකමට දොර විවර කළ යුතුවන්නේ පැවිදි දිවියේ සීමාකම් සහ වගකීම පිළිබඳ අවබෝධයෙන් යුතු දැනුවත් පිරිසකට මිස කිරිදරුවනට නොවේ.

හොරෝව්පතානේ සාමනේර දෙනම උටියාගෙන් ටොෆි චොක්ලට් හොරකම් කර ඇත්නම් ඒ ඔවුන්ගේ අනවබෝධය නිසාය. ඔවුන් සිවුරු දරාගෙන සිටියද තවමත් දරුවන් මිස සාමණේර හිමිවරුන් නොවන නිසාය. ටොෆි චොක්ලට් හොරකම මගින් පැහැදිලි වුයේ එම සාමනේර හිමිවරුන්ගේ ළමා ආශාවන්ගෙන් එකක් පමණි. ඒ හැර මහණකම විසින් ඔවුනට අහිමි වී ඇති ළමා ජීවිතයේ අංග තවත් බොහොමයක් තිබේ. අඩුම තරමින් නිදහසේ දුවපැන ඇවිද ළමා විය විඳීමේ අයිතිය පවා සියලු සාමණේරවරුන්ට නැත. ඇතැමුන් හිතන්නේ මින් ඉදිරියට කුඩා හිමිවරු සිටින පන්සල්වලට ටොෆි චොකලට් ගෙන ගොස් ප්‍රශ්නය නිරාකරණය කළ හැකිය කියාය. එසේ සිතන්නේ නම් එය ද වරදකි. ආණ්ඩුවත්, ළමා අයිතින් සම්බන්ධව වැඩ කරන ආයතනත් මේ ප්‍රශ්නයට වහා මැදියත් විය යුතුය.

අනුර සූරියබණ්ඩාර        

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *