ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති කෝටි දෙකක් අල්ලස් ඉල්ලූ බව අල්ලස් කොමිසමට පැමිණිලි කළේ අගමැතිගේ උපදෙස් මතයි – සමාගමේ ප්‍රධානි කේ. නාගරාජා

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති කෝටි දෙකක් අල්ලස් ඉල්ලූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට  දැනුම්දුන් පසු, අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න ‘එය ඔබේ ව්‍යාපෘතියට පමණක් නොවේ රටටම හොඳක්’ කියා කී බව එම්.ජී.ෂුගර් ලංකා සමාගමේ ප්‍රධානී කේ. නාගරාජා මහතා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් හෙළි කළේය. මේ බව හෙළිදරවු වුයේ අදාල නඩුව පසුගියදා විභාගයට ගත් අවස්ථාවේදීය .

කන්තලේ සිනී සමාගමට අයත්ව තිබූ යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා රුපියල් මිලියන 20ක  අල්ලසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ මහානාම හා හිටපු දැව සංස්ථා සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් තමාගෙන් ඉල්ලා සිටි බවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අගමැතිවරයා හමුවී ඉකුත් 2018.02.09 දින දැනුම් දුන් බවට පැමිණිලිකාර එම්.ජී.ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධානී කේ. නාගරාජා මහතා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පසුගිය දා ප්‍රකාශ කර සිටියේය.

සියලු කාරණා විමසා සිටි අග්‍රාමාත්‍යවරයා මේ සිද්ධිය පිළිබදව අල්ලස් කොමිසම වෙතට පැමිණිලි කරන ලෙසට තමාට දන්වා සිටි බවද අල්ලස් කොමිසමේ අවංක නිලධාරින් සිටින බවද තමා විසින් පැමිණිල්ල සිදුකරනු ලැබුවහොත්, එයින් එම ව්‍යාපෘතියට පමණක් නොව රටටම හොඳක් වන බවද පැවසූ බව කේ. නාගරාජා මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේය.

එදින සවස තමාගේ ජංගම දුරකථනයට මගහැරුණු ඇමතුම් ගණනාවක් ලැබී තිබූ බවත්, එම අංකයට ඇමතූ විට අල්ලස් කොමිසමේ සහකාර පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා ඇමතුමට සම්බන්ධ වු බවත්, තමා මුණගැහීමට අවශ්‍ය බව ඒ මොහොතේ ප්‍රකාශ කළ බවත්, ඒ අනුව ඔහු මුණගැසුණු බවත්, ඒ අවස්ථාවේ දී අල්ලස් කොමිසමට සාක්ෂි ලබා දී එයට සහාය දැක්වීමට පුළුවන්කමක් ඇත්නම් මේ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණ ලිඛිත පැමිණිල්ලක් ලබාදෙන ලෙසත් රුවන් කුමාර මහතා දන්වා සිටි බව කේ. නාගරාජා මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් පැවසීය.

ඒ අනුව 2018 පෙබරවාරි 15 වන දින අල්ලස් කොමිසමට ගොස් මේ පිලිබඳව ලිඛිත පැමිණිල්ලක් කළ බවත්, මෙම චූදිතයන් දෙදෙනා විසින් මෙම කටයුත්ත ඉටු කර දීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3ක මුදලක් ඉල්ලා සිටි බවද එම පැමිණිල්ලේ විස්තරාත්මකව සටහන් කළ බව ද සාක්ෂිකාර කේ. නාගරාජා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අල්ලස් කොමිසමෙන් ලද උපදෙස් අනුව සාක්ෂි රැස්කර ගැනීම සඳහා කටයුතු කළ බවත්. ඒ අනුව මෙම අල්ලස් මුදල් ඉල්ලීම පිළිබදව මෙම චූදිතයන් සමග සිදු කළ සාකච්ඡා තමාගේ ජංගම දුරකථනවල පටිගත කරගත් බවත්, නාගරාජා මහතා සාක්ෂි ලබාදෙමින් කීවේය. ඒ අනුව ඒ හඬපට සාක්ෂි අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සම්පත් අබේකොන්, සම්පත් විජයරත්න, චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ ඊයේ දෙවෙනි දිනටත් සාක්ෂි විභාගය පැවැත්විණි.

පැමිණිලි පක්ෂය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙයවනු ලැබීය.

පසුගිය 2018 වසරේ පෙබරවාරී 09 වැනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී.ෂුගර් පෞද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා එය රුපියල් මිලියන 100 දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20ක් ලබාගත් බවට නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම චූදිගයන්ට එරෙහිව නඩු පවරා ඇත.    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *