රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම වැරදියි. ඒක ඒකාධිපතිපති වාදය මිසක් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි – සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

සේරම එකතැනකට ගන්න එක ඒකාධිපතිපති වාදය මිසක් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම වැරදියි. සදාචාරාත්මක නෑ. ඒ නිසා ඒක නැවත ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනව. සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම් කරු සමන් රත්නප්‍රිය මහතා එසේ පැවසුවේ, රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම හා වත්මන් දේශපාලන තත්ත්වය ගැන මාධ්‍ය ඔස්සේ ජනතාවට කරුණු හෙළි කිරීමට ජනමාධ්‍ය හමුවක් අද (12) හවස රාජගිරියේ දී පැවැති අවස්ථාවේ දී ය. එහි දී වැඩිදරටත් අදහස් දක්වමින් සමන්රත්නප්‍රිය මහතා මෙසේ ද පැවසීය,

රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට ජනාධිපතිවරයා විසින් පවර ගත්තා. ජනාධිපති ධුරයට තියෙන බලය යටතේ, ඔහුට හෝ ඔහු යටතේ තියෙන ආරක්ෂක අමාත්‍යාංශයට යම් ආයතනයක් පවරා ගැනීමේ යම්  ගැනීමේ බලය තියෙනව. ඒ නීත්‍යානුකූල අයිතිය තමයි ඔහු ක්‍රියාත්මක කරල තියෙන්නෙ. මේක හරිද? වැරදිද? සදාචාරාත්මකද? කියන කාරණය දිහා බැලුවම මේක වැරදි සහගත තීරණයක් කියන එක ඉතා පැහැදිලිවම කියන්න ඕනැ.

රූපවාහිනී සංස්ථාව කියන්නේ මාධ්‍ය ආයතනයක්. ප්‍රධානම රාජ්‍ය මාධ්‍ය ආයතනය. මේ මාධ්‍ය ආයතනය බාරව ඇමැති වරයෙක් ඉන්නව. විෂයක් තියෙනව. ඒක තමයි ජනමාධ්‍ය විෂය. ජනමාධ්‍ය ඇමතිවරයෙක් ඉන්නව. කැබිනට් නොවන ඇමතිවරයෙක් ඉන්නව ජනමාධ්‍ය විෂයට. ජනමාධ්‍ය විෂයට අදාල යම් යම් ආයතන සහ විවිධ ක්ෂේත්‍රවල බලය ක්‍රියාත්මක කිරීමේ අයිතියත් ඔහුට පවරල තියෙනව. ඒ පවරපු එක ආයතනයක් වන ජාතික රූපවාහිනිය තමයි ජනාධිපතිවරයා විසින් මේ හදිසියේම තමන්ගේ යටතට ගන්නෙ. ඇයි මේක ගන්නෙ? මොකක් ද හේතුව? ජනමාධ්‍ය අමාත්‍යාංශයක් තමන් යටතට පවරා ගන්නනම් අති විශේෂ තත්ත්වයක් රටේ තියෙන්න ඕනෙ. එහෙම අති විශේෂ තත්ත්වයක් මේවන විට මේ රටේ නෑ. ජනමාධ්‍ය ඇමතිවරයට මේක කරන්න බැරි වෙන්න ඕනෙ. රටේ තියෙන තත්ත්වය හමුවේ රූපවාහිනියට අයත් කාර්යභාරය නොකෙරෙනව වෙන්න ඕනෙ. ඒ තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා යම් ප්‍රකාශයක් කරල, මේ වගේ තත්ත්වයක් තියෙනව, මේ වගේ දෙයක් කරන්න වෙනව. ඒ වගේ අදහසක්වත් කියන්න ඕනෙ. ඒ මොකුත් නෑ. මේක පවර ගන්නව.

යුද්ධ කාලෙත් ජනමාධ්‍ය තිබුණේ ජනමාධ්‍ය විෂය යටතේ. මේ රටේ ඊට එහා ගිය ව්‍යවසනයක් ඇතිවුණේ නැහැ. දශක තුනක් තිස්සේ ඇති කරපු යුද්ධය තමයි මේ රටේ බරපතළම ව්‍යවසනය. ඒ කාලෙවත් ජනමාධ්‍ය විෂයෙන් බැහැරට ජාතික රූපවාහිනිය හෝ රාජ්‍ය ජනමාධ්‍ය ආයතන පවරාගැනීමක් සිද්ධ වුණේ නෑ. එය ඉතාම පැහැදිලියි. අමාත්‍යාංශ පවරගෙන තියෙනව. විෂයට අදාලව ආයතන පවරා ගැනීමක් සිද්ධ වෙලා නෑ. මේක නොකළ යුතු දෙයක් කියල තමයි ඉතාම පැහැදිලිව අපිට කියන්න තියෙන්නෙ. යුද්ධය කාලෙවත් අනිත් අතින් සුනාමි ව්‍යවසනය කාලෙවත් මේ ආයතන එහෙම වෙනස්කමකට භාජනය වුනේ නෑ. සාමාන්‍ය විදිහට තිබුණා රාජ්‍ය ප්‍රවෘත්ති දාගන්න ඕනෙ නම් ඒවට අවශ්‍ය මැදිහත් වීම් කළා. හැබැයි ආයතනපිටින් පවරගෙන ජනමාධ්‍ය නිදහස නැති කරන්න, අවුල් කරන්න මේ රටේ පාලකයෝ ක්‍රියාත්මක වුනේ නෑ. ඒ නිසා මේකට අපිට එකඟ වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමේ තියෙන්නේ.

ජාතික රූපවාහිනි හැදෙන්නේ 1982 පාර්ලිමේන්තු පනතක් එක්ක. ඒ පනතට අනුව ජාතික රූපවාහිනිය පමණක් නොවේ ඒ පනතේ අනික් රූපවාහිනී වලට අයි.ටී.එන්. වෙන්න පුළුවන්, සිරස වෙන්න පුළුවන්, ටී.එන්.ඒ. වෙන්න පුළුවන් ඒ හැම ආයතනයකටම ලැයිසන් එක දෙන්නේ මේ පනතට අනුව. ලැයිසන් එක රිනිව් කරන්නෙත් මේ පනත හරහා. මේ පනතට අනුව තමයි විදුලි සංදේ‍ශ නියාමන කොමිසන් සභාව හැදෙන්නේ. සංඛ්‍යාත දීමේ අයිතිය තියෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට.

ජනාධිපතිවරයා කලින්ම විෂයන් ගැසට් කරනකොට, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තමන් යටතට පවරා ගත්තා. ඒක පවරගෙන ඒකෙ විවිධ කාරණා කරමින් හිටියා. ඒක සමහර අය ප්‍රශ්න කළා. ඊට පස්සෙ තමයි ඊළඟ තීරණය ක්‍රියාත්මක කරන්නේ, ජාතික රූපවාහිනිය පවරා ගැනීමත් එක්ක. සංඛ්‍යාත දීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයට. රූපවාහිනී ආයතනවලට ලයිසන් දීමේ බලය තියෙන්නෙත් ජනාධිපතිවරයට. මේ බලය ක්‍රියාත්මක කරනකොට යම් යම් බලපෑම් ක්‍රියාත්මක කරන්නත් පුලුවන්. ඉතිහාසයේ එහෙම සිද්ධ වෙලා තියෙනව.

ළඟදි ඡන්දයක් එනවා. තව මාස දෙකකින්. ඒ ඡන්දයේ දී මාධ්‍ය ආයතන තමන්ට කැමති විදිහට හසුරුවන්නද මේ වෙනස කරන්නේ කියන කාරණය අපිට ප්‍රශ්නයක්. එහෙම නම් මේ රටට ඇමති මණ්ඩලයක් ඕනෙ නෑ. ජනාධිපති වරයා විතරක් හිටියම ඇති සියලු අමාත්‍යංශ පාළනය කරන්න. සියලුම ආයතන පාළනය කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ජනපති වරයෙක් ඉන්නවා. අගමැතිවරයෙක් ඉන්නව. ඇමතිවරු ඉන්නවා, රාජ්‍ය ඇමතිවරු ඉන්නවා, නියෝජ්‍ය ඇමතිවරු ඉන්නවා, පළාත් සභා ක්‍රමයක් තියෙනව, පළාත් පාලන ක්‍රමයක් තියෙනව ඒ බලය බෙදුන ස්වාභාවයක නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි මේ රට ඇතුළෙ ක්‍රියාත්මක වෙන්නේ. විවිධ ආයතන වලට බලයක් තියෙනව. වගකීම් තියෙනව. ආමාත්‍යංශ වලටත් එහෙම තියෙනව. මේ ටික ඔයා කරන්න, මේ ටික ඔයා කරන්න, මේවා ඔයගොල්ල කරන්න. සේරම එකතැනකට ගන්න එක ඒකාධිපතිපති වාදය. ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම, වැරදියි, සදාචාරාත්මක නෑ. ඒක නිසා එක නැවත ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනව.

පූජ්‍ය දඹර අමිල හිමි, රාජා උස්වැටකෙයියාව, සමන් සෙනෙවිරත්න, පාලිත ලිහිණියකුමාර යන මහත්වරුද මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූහ. 

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *