සිවුරේ පොලිස් බලය – සිරිසේන රාජපක්ෂ

බුදුන්ගේ මුහුණු යයි සැලකෙන රුප සහිත සාරියක් හැද සිටි කාන්තාවකට භික්ෂුවක් පොලිස් නිලධාරීන් ඉදිරියේ තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දින වල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුනි. ඉහත කි භික්ෂුව අදාල කාන්තාවට තර්ජනය කරන්නේ ” ඇඳගෙන ආවනම් කට වහගෙන හිටපන් ඉන්දියාවෙන් හරි තුත්තු කුඩියෙන් හරි. උඹලට ඕවා ලංකාවේ අඳින්න බැ.ගැනියෙක් නිසා නිකන් ඉන්නේ පිරිමියෙක් වුනා නම් උස්සලා පොළොවේ ගහනවා.”ආදී වශයෙන් කියමිනි.

භික්ෂුවකට වේවා අන් කවර තැනැත්තෙකුට වේවා ඒ ආකාරයට තවත් තැනැත්තෙකුට එසේ මහා මගදී ප්‍රසිද්ධියේ බැන තර්ජනය කරන්නට ඇති අයිතිය සහ හැකියාව කුමක්ද? යන්න මෙහිදී පළමුවෙන්ම ප්‍රශ්න කල යුතුය. එහිදී එම භික්ෂුව භාවිතා කරන්නේ සිවුරේ ශක්තියයි.භික්ෂුවක් නොවන වෙනත් තැනැත්තෙකු ඒ ආකාරයට හැසිරුනේ නම් අර කාන්තාවට භික්ෂුව බැන වදිද්දී නිහඩව බලා සිටින පොලි නිලධාරීන් දෙදෙනා එසේ නිහඩව නොසිටිනවට සැකයක් නැත.ඒ අනුව පොලිසිය කටයුතු කරන ආකාරයේ පැහැදිලිවම වරදක් ඇති බව පිළිගත යුතුය.භික්ෂුවක් වූ පමණින් තවත් අයෙකුගේ මානව හිමිකම් නිදහසේ සිමා උල්ලංඝනය කරමින් හැසිරෙන්නට අයිතියක් නැත.කාන්තාව ඇඳසිටි ඇඳුමේ වරදක් ඇතැයි භික්ෂුවට සැකයක් තිබුනේ නම් ඔහු කල යුතුව තිබුනේ ඒ ගැන පොලිසියට හෝ නිතිය ක්‍රියාත්මක කරන වෙනත් ආයතනයකට දැනුම් දීමයි.එසේ නොමැතිව නිතිය අතට ගෙන තවත් පුද්ගලයෙකුට එරෙහිව අපහාස කරන්නට හෝ තර්ජනය කරන්නට භික්ෂුවට අයිතියක් නැත.විශේෂයෙන්ම කනතාවකට හිංසාවක් සිදුවන ආකාරයෙන් භික්ෂුව හැසිරෙන බව පැහැදිලිය.

ඉහත සිද්දියේදී ත්‍රිකුණාමලය හැසිරී ඇත්තේද දෙපාර්ශවයට සාධාරණ අයුරින් නොව භික්ෂුවට අවශ්‍ය පරිදි බව පෙනෙන්නේ ත්‍රිකුණාමලය පොලිසිය අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිසිය තුලදී වෙනත් සාරියක් අන්දවා නිදහස් කර ඇති බව කියවෙන බැවිනි.

මෙයට පෙර වතාවකදී බුද්ධාගමට අපහස වන ආකාරයේ කෙටි කතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කළේය යන චෝදනාව මත ශක්තික සත්කුමාර නමැති ලේඛකයෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනුනේ සාමාන්‍ය නීතිය යටතේ වත් නොව iccpr පණත යටතේය.එම අත්අඩංගුවට ගැනීම පිටුපස තිබුනේද සිවුරේ බලය සහ බෞද්ධ බලයි.

තවත් වතාවක දී හසලක ප්‍රදේශයේ ධර්ම චක්‍රය සහිත ඇඳුම්ක් ඇඳ සිටිම යන චෝදනාව මත කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබිණ. ඇයට ද චෝදනා එල්ල කරනු ලැබුණේ ICCPR පනත යටතේය. නමුත් ඇත්ත වශයෙන්ම ඇගේ ඇඳුමේ මුද්‍රණය කර තිබුණේ ධර්ම චක්‍රයක් නොව නැවක සුක්කානමකි.

මෙරට භික්ෂූන් ඇතුළු බෞද්ධයන් කවරාකාර ආගමික උමතුවකින් යුතු මෝඩයින් පිරිසක් ද යන්න ඉහත සිද්ධිය අනුව ම පෙනේ. අවම වශයෙන් ඔවුන් ධර්ම චක්‍රය සහ නැවේ සුක්කානම අතර වෙනස දන්නේවත් නැත. ඒ අනුව මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ නැවේ සුක්කානම ඇඳ සිටි කාන්තාව නොව නැවේ සුක්කානම ධර්මචක්‍රය යැයි කියා ධර්ම චක්‍රයට අපහාස කළ බෞද්ධයන් යැයි කියාගන්නා මෝඩයින් රැලයි

ඊළඟ ප්‍රශ්නය වන්නේ පොලීසියේ ක්‍රියාකාරීත්වයයි. හසලක ප්‍රදේශයේ දී ධර්මචක්‍රය සහිත ඇඳුමක් ඇඳ සිටි බවට චෝදනා කර අත්අඩංගුවට ගැනුණු කතගේ ඇඳුමේ ඇත්තේ තමන්ගේ උරහිසෙහි ඇති ධර්ම චක්‍රය නොව අන්යමක් බව වටහා ගන්නට පොලීසියට ද බුද්ධියක් නොතිබුණු බව කිව යුතුය. තමන් නිතර අඳින නිළ ඇඳුමේ ඇති ධර්ම චක්‍රය නොදන්නා තැනැත්තන් අතින් නීතිය සාධාරණව ක්‍රියාත්මක වීමක් අපේක්ෂා කළ හැකිද? අනිත් කාරණය වන්නේ මෙරට ධර්ම චක්‍රය පිළිබඳ ඒකමිතියක් නොමැති වීමයි. අනුන්ගේ රෙදි ගලවන්නට ඉක්මන් වනවා වෙනුවට භික්ෂුව කළ යුතුව ඇත්තේ ධර්ම චක්‍රයට ප්‍රමිතියක් ඇති කරන්නට කටයුතු කිරීමයි.

නැව් සුක්කානම් ඇඳ සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාව තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසා වන්දි ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම්ක් ගොනු කර ඇති බව දැන්ගන්නට ලැබීේ. එම නඩුව ඔප්පු වුවහොත් අනුන්ගේ මෝඩ චුන් වලට ගොංපාට් රඟපෑ පොලිසියට ඒ වෙනුවට වන්දි ගෙවන්නට සිදුවනු ඇත

බුදුරුවක අනුරුවක් සහිත පච්චයක් බාහුවේ කොටා ගෙන සිටි වරදට අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව විසින්ද මෙයට පෙර වන්දි නඩුවක් පැවරූ අතර, ඇයට වන්දි ගෙවන්නට පොලිසියට සිදුවිය.

පොලිසිය අධිකරණයට කීවේ මහජනතාව කුපිත කිරීමට හේතු විය හැකි බැවින් කාන්තාව අත්අඩංගුවට ගත් බවයි. කාන්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසුවේ බෞද්ධයකු වන තමන්, බාහුවේ බුදුරුවක් කොටා ගත්තේ බුදුන් කෙරෙහි ඇති තමන්ගේ ඇති ගෞරවය නිසා බවයි. තමා එම පච්චය ඇතිව නේපාලය තායිලන්තය යන රටවලට ගිය නමුත් එම රටවල්දී ප්‍රශ්නයක් නොවූ බවද කීවාය. ඇගේ තර්කය වන්නේ බුදුන්ගේ පච්චයක් ඉනට ඉහලින් තිබීම බුදුරදුන්ට අපහාසයක් නොවන බවයි. ඇය කියන්නේ තමාගේ පච්චය කකුලක තිබුණේ නම් එයින් බුදුන්ට අපහාසයක් සිදු වනු ඇති බව තමන් පිළිගන්නා බවයි

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ ප්‍රකාශයට අනුව නේපාලයේ හෝ තායිලන්තයේ හෝ බෞද්ධයන්ට වඩා අපි බෞද්ධාගම කාරයින්ය කියා අප සතුටු විය යුතුය යුතුද? සතුටු වීමට කැමති අයට එසේ සතුටු වන්නට පුළුවන. එහෙත් ඒ අය මතක තබා ගත යුතු කරුණක් තිබේ. එනම් මේ තත්ත්වය තවත් මුහුකුරා ගියහොත් අම්මා බුදු වේවා කියා පපුවේ පච්ච කොටාගත් තැනැත්තකුටත් මේ අන්‍යාගමික භික්ෂූන්ගෙන් සහ අන්‍යාගමික බෞද්ධයන් ගෙන් බේරී ඉන්නට පුළුවන් නොවනු ඇති බවයි.

වඩාත්ම බරපතල කරුණ වන්නේ මේ සියල්ල හමුවේ දේශපාලකයන් දක්වන ඇල්මැරුණු ප්‍රතිපදාවයි. හේතුව දේශපාලකයන්ද සිවුර උපයෝගීකරගෙන බලයට කුරුමානම් අල්ලන පිරිසක් වීමයි. එහෙත් බෞද්ධ ජනතාව තේරුම් ගත යුත්තේ මේ තත්ත්වය වහාම මැඩ පැවැත්වූයේ නැත්නම් අනාගතයේ මෙරට බිහි වනු ඇත්තේ තලේබාන් ආකාරයේ බුද්ධාගමක් බවයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *