මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය – පුණ්‍යා සමරකෝන්

“වනේ ගිජිදාය දුටුවොත් වනසාය, ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය, අතකින් කර වැලකි, අතෙකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය.”

සජිත් ප්‍රෙමදාසගේ ජනාධිපති කතාන්තරයත් මෙවැනි භයානක පැණි කෑමක් වැනිය. අතෙකින් කිලී මහරාජාය, අනෙක් අතින් තමා උසිගන්වමින් ගොඩයෑමට දගලන සගයින්ය. ඔක්කොටම හපන් දෙයනම්, ආපසු හැරෙන්නට ඇති ලජ්ජාවය. ඒ හැමදේම ගැන හිතන විට දැන් ඉතින් පැණි කනවා හැර වෙන කරන්නට දෙයක් නැතැයි සිතා සජිත් ප්‍රේමදාස මහතා පැණි කන්නට සිතන්නේය. එහි ගුණ අගුණ හේ නොදන්නවා වෙන්නට බැරිය. එහෙත් ඇත්ත වශයෙන්ම ඔහුට මේ උගුලෙන් ගැලවීමට මගක් නොමැත්තේද? 

80 දශකය අග බාගයේදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම අනුගමනය කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමය හමුවේ කළකිරුණු එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයින් වන ගාමිණී දිසානායක හා ලලිත් ඇතුළත්මුදලි රාජාලියා ලකුණින් වෙනම පක්ෂයක් නිර්මාණය කරගත්හ. ඔවුන් සමග ආර්. ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ විවේචනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අති බහුතරයක් එක්ව සිටියත් පක්ෂයෙන් කැඩී ගොස් වෙනම පක්ෂයක් හැදීමේ කාර්යයට ඒ බහුතරයේ සහයෝගය බලාපොරොත්තු වූ ආකාරයෙන් ලැබුනේ නැත. ගාමීණී දිසානායක හා ලලිත් ඇතුළත්මුදලි වැනි දැවැන්ත ප්‍රතිරූප වලට පවා පක්ෂය සෙලවීම අපහසු විය. ඒ එක්සත් ජාතික පක්ෂයේ හැටිය. එම පාඩම් සජිත් අවබෝධයෙන් කියවාගන්නේනම් ගාමිණීට හෝ ලලිත්ටවත් බැරි උන දේවල් කිරීමට තබා ඒ ගැන සිහිනෙකින් හෝ සිතන්නේද නැත. 

රට පුරා දුවමින් රැළි පිට රැළි නැංවුවත් පක්ෂය සෙලවීම සජිත් මහතා හිතන තරම් ලේසි නැත. පසුගියදා ලක්ෂ්මන් යාපා අබේවර්ධන එක්සත් ජාතික​ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගැන අපූරු හැඳින්වීමක් කලේය. 

“ගැටුම්කාරී තැන්වලදී රනිල් යට යනවා. තත්ත්වය​ සමනය වුනාම රනිල් උඩ එනවා. රනිල් කියන්නෙ හරි සංකීර්ණ චරිතයක්. ඒ නිසා රනිල් එක්ක හැප්පෙන එක සජිත් හිතන තරන් සරල නෑ.” 

ආපු දුර කොතෙක් වුවත් ඉදිරියෙන් ඇත්තේ ප්‍රපාතයක් නම් ආපසු හැරී යනවා හැර වෙනත් මගක් නැත. සජිත් සතුව දැන් විකල්ප තුනක් ඇත. 

එක, සජිත් ප්‍රේමදාස කෙසේ හෝ පක්ෂයේ ආශිර්වාදය ඇතිව ජනාධිපති අපේක්ෂකකම ගත යුතුය. එහෙත් කිලී මහරාජා හා එක්ව රනිල්ට විරුද්ධව ගෙන යන අරගලය සජිත්ට සුභවාදී නැත. රනිල්ගෙන් හොඳින් මිස, නරකින් යමක් දිනාගැනීම පහසු නැත. එක කාලයක් රනිල් එළවන දිනය ගැණ ගැණ සිරස කවුන්ට් ඩවුන් පවා දැම්මේය. එයින් සිරස ඩවුන් වී රනිල් අප් විය. දැනුත් සිරස එවැනිම උත්සාහයක් දරමින් සිටී. සජිත් සියතින්ම ගැසුවාට නම් කම් නැත. ඒත් ලවා ගස්සවනවාට නම් රනිල් කොහොමවත් කැමති නැත. 

දෙක, පක්ෂයෙන් සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුනොත් පක්ෂයෙන් කැඩී ගොස් ස්වාධීනව ඉදිරිපත් විය යුතුයි. ඔහු සමග ඒ ගමනට කී දෙනෙක් එකතු වේදැයි සිතිය නොහැකිය. රාජාලියාගේ පාඩමට අනුවනම් එය ඉතා සුලු පිරිසකි. ඒ පිරිසත් සමග වෙනම ගොස් රටේ ජනාධිපති වීමට සජිත් සිතන්නේ නම් එය විහිළුවකි. දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමකි. අඩුම තරමින් ඉදිරි වසර 10 කට 15 කට සජිත් ප්‍රේමදාසට ජාතික දේශපාලන වේදිකාවටනම් ගොඩවීමට නොලැබෙනු ඇත. ඒ නිසා සජිත් එක්ක ඒ ගමන යන්නට ඔහුගේ ආර්යාවවත් ඒ දැයි සැකය. 

තුන, පක්ෂයෙන් කැඩී ගොස් තනිව ඉල්ලීම නොකර වෙනත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග ගිවිසුම් ගසාගැනීම සජිත් සතු අවසන් විකල්පයයි. ඒත් දැන් පොහොට්ටුව සිය ජනාධිපති හා අගමැති අපේක්ෂකයින් නම් කර හමාරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම පක්ෂයම නියොජනය කරන අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව නිල වශයෙන් දන්වා ඇත. (සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමජිකත්වය ගනු ඇතැයිද, ඔහුට එය දෙනු ඇතැයිද ලේඛකයාට නොසිතේ.)  

ජනතා විමුක්ති පෙරමුණ ද සිය අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත. දැන් ඉතිරිව ඇත්තේ තවමත් සිය සහාය කාටදැයි නොදන්වා සිටින දෙමළ සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය හා සිවිල් සංවිධාන කිහිපයකි. සිරිසේන ජනාධිපතිවරයාගේ අපේක්ෂක දිවුරුම ප්‍රකාරව වැරදිකරුවන් වහාම එල්ලා මැරීම ඇතුලු සජිත් නියෝජනය කරන සමාජ දේශපාලන හා සංස්කෘතික ප්‍රතිපත්ති මෙන්ම ඔහුගේ උග්‍ර ජාතිවාදී හා ආගම්වාදී ක්‍රියාකලාපය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා  මානව හමිකම් ගරුකරන කිසිදු සිවිල් කණ්ඩායමක් හෝ සුලු ජාතික පක්ෂයක් සජිත් ප්‍රේමදාසට සහාය දක්වතැයි සිතිය නොහැකිය. 

උන් වහන්සේලාට ගොන් වහන්සේලායැයි කියූ මංගල හා මංගලම කියන පරිදි අන්තවාදී යැයි චෝදනා ලැබ සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන් සජිත් සමග සිටින නිසා සිංහල බෞද්ධ සහායද සජිත් ට අහිමි වී ඇත. 

මේ අනුව පෙනී යන්නේ මෙම එක විකල්පයක් හෝ සජිත්ට වාසිදායක නොවන බවයි. ඒ නිසා තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීමටනම් සජිත් ආපසු හැරීම ගැන සිතා බැලිය යුතුය. එය එක් අතකින් සජිත් ප්‍රේමදාසගේ අනාගත පැවැත්මද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ජයග්‍රණයද යන දෙකම තීරණය කරනු ලබන්නේය. 

ඊයේ සිය 50 වන විය ඉක්මවූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක කීවේ, එක්සත් ජාතික පක්ෂයට එකත් දෙකත් දෙකම ඕනෑ වන බවයි. එකට හෝ දෙකට තනිව යාමට නොහැකි බවයි. ඒ නිසා සියලු දෙනා මේ මොහොතේ කටයුතු කළ යුත්තේ එකත් දෙකත් එක් කිරීමට මිස වෙන්කිරීමට නොවන බව ඔහු පෙන්වා දුන්නේය. 

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් වෙනම හෝ ජනාධිපතිවරණයට එන බව නිතර කියන කතාවකි. ඔහු පමණක් නොව ඔහුට සහය දක්වන බව කියන කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, සුජීව සේරසිංහ යන අයද එම කතාව නිතරම පාහේ කියති. ඒ නිසා තනිව තරඟ කිරීමේ සැලසුමක් සජිත් පිල සතුව ඇතිවා හෝ එලෙස සැලසුමක් ඇති බව කියා සෙස්සන් කුලප්පු කරවීමට හෝ ඔවුන් සිතා සිටිනවා ඇත.

මේ නාට්‍ය දෙස බලා සිටින මට​ තවම මුද්‍රණය නොකළ කතාන්තරයක කොටසක් මෙහි සටහන් කිරීමට සිතේ.

“මා දැන් සිටින්නේ ලෝකාන්තයේ අගම අගය. නිල්වන් අහස දීප්තිමත්ය, එදෙස බලා සිටිමි. හිරිගඩු පිපෙන සීතල සුලගක් ගත හිරිවට්ටවා හමා යනු දැනේ. මා ඉදිරියෙන් පහත්වී සිටින සුදෝ සුදු වළාකුළු පුලුන් රොදක මිහිර සිහිපත් කරයි. මේ වලා තීරයෙන් එපිට මගේ විමුක්තිය, මගේ සිහිනය, මගේ අනාගතය මා එන තුරු බලා සිටී.  දැන් මම තදින් දෑස් පියාගමි.”

පය ලිස්සා ගියොත් ස්වභාවික අනතුරකි. පැන්නොත් අස්වාභාවික අනතුරකි. ඒ දෙකෙන් කෝක වුනත්​ සිදුවන්නේ අතතුරකි. 

පුණ්‍යා සමරකෝන්

colombo telegraph

Leave a Reply

Your email address will not be published. Required fields are marked *